අබුඩාබි T10 පස්වැනි අදියරට දින තීන්දුයි

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

186

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරග අදියර මේ වසරේ නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ බව ඔවුන් සිය නිල twitter ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කර සිටියා.

එහි සිව්වැනි අදියර මේ වසර ආරම්භයේ දී නිමා වූ අතර (2020 තරගාවලිය) එහි දී ශ්‍රී ලංකා තරුණ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කළ Northern Warriors එම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Delhi Bulls කණ්ඩායමයි.

එම තරග අදියර 2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් පෙර සැලසුම් කර ගත් පරිදි පැවැත්වීමට නොහැකි වුවත් ඔවුන් එය 2021 වසර ආරම්භයේ දීම පවත්වා අවසන් කිරීමට සමත් වුනා.

2017 වසරේ දී ආරම්භ වූ මේ නවතම T10 ක්‍රිකට් තරග ආකෘතිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.

අවසන් වරට පැවති අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් හට ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් ක්‍රීඩා කිරීමට තිබූ නිසාවෙන් ඔවුන්ට තරග වැදීමට නොහැකි වුවත්, මහීෂ් තීක්ෂණ (Northern Warriors), ධනංජය ලක්ෂාන් (Northern Warriors), මතීෂ පතිරණ (Bangla Tigers) සහ කෙවින් කොත්තිගොඩ (Maratha Arabians) යන යොවුන් ක්‍රීඩකයින් එම තරගාවලිය ක්‍රීඩා කරමින් ඉතාමත් සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළා.

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එදා සිට අද දක්වා බිහිවී තිබෙන ශූරයින්

2017 – Kerala Kings

2018 – Northern Warriors

2019 – Maratha Arabians

2021 (2020) – Northern Warriors

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<