රාජකීය අපරාජිත ගමන නැවතෙයි; ශූරතාවය ජෝසප්වරුන්ට

වයස 19න් පහළ පළමු පෙළ Tier A තරගාවලිය 2020/21

234

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ Tier A කොටසේ අවසන් මහා තරගය අද (1) NCC පිටියේ දී පැවැත්වුනා. එහි දී අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි රාජකීය විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ ලකුණු 97කින් පරාජයට පත්වුනා.

පාසල් 18ක් තරග වැදුණු මේ 19න් පහළ පළමුපෙළ Tier A තරගාවලියේ මූලික වටය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වුනා. එහි දී “X” කාණ්ඩයෙන් රාජකීය විද්‍යාලය පළමු ස්ථානය ලබාගෙන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර “Y” කාණ්ඩයෙන් තරග කළ සාන්ත ජෝසප් විද්‍යාලය Tier A කොටසේ හොඳම තුන්වැනි කණ්ඩායම් අතර පළමු ස්ථානය දිනා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියා.

තවත් ක්‍රිකට් පුවත්

අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව තරග වටයේ දී කොළඹ මහානාම විද්‍යාලය පරාජය කරමින් රාජකීය විදුහල මෙවර තරගාවලියේ දී අපරාජිතව අවසන් මහා තරගයට  සුදුසුකම් ලබා ගන්නා විට, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙහි තිබෙන සුවිශේෂීත්වය වුනේ තරගාවලිය පුරා අපරාජිතව සිටි කොළඹ රාජකීය විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනෙහි තෙවැනි ස්ථානය ලබා දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූ සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ පරාජයට පත් වීමයි.

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහ රදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 287ක සටන්කාමී ලකුණක් ලබා ගත්තා. 

එහි දී ශෙවෝන් ඩැනියෙල් අගනා ලකුණු 146*ක් ලබා ගනිමින් නොදැවී පිතිකරණයේ නිරත වුනු අතර සදීෂ් ජයවර්ධන, ශෙරන් ෆොන්සේකා, දුනිත් වෙල්ලාලගේ සහ මිතිර තෙනුර පිතිකරණයෙන් ලකුණු අතරට පැමිණියේ ශෙවෝන් සකස් කළ අඩිතාලම සවියක් කරගෙනයි.

පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලයට එරෙහිව සැලසුම් සහගත ලෙස පන්දු යැවූ වේගපන්දු යවන ලහිරු අමරසේකර ඇතුළු සාන්ත ජෝසප් පන්දු යවන්නන් රාජකීය ඉනිම ලකුණු 190කට සීමා කළා. 

රාජකීය තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු පතිරත්න මැදපෙළ සවිමත් කරමින් ලකුණු 59ක් ලබා ගත් නමුත් එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ. සිනෙත් ලක්වන් ලකුණු 40ක් ලබා ගන්නා විට, රාජකීය විද්‍යාලයට තරගාවලියේ අපරාජිතව අවසන් තරගයට පැමිණීම සඳහා  පිත්තෙන් වැඩි බරක් ලබාගත් නායක අහන් වික්‍රමසිංහ ලකුණු 37කට දැවී ගියා.

ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය 2020/21 වසරේ එක්දින ශූරතාවය තමන් සතු කරගත්තේ නොකඩවා තෙවැනි වරටත් පාසල් ක්‍රිකට් තරගාවලි ශූරතාවයක් තමන් සතු කරගෙනයි. ඔවුන් මීට පෙර 2017/18 සහ 2018/19 තරගාවලිවල දී දෙදින ශූරයින් වුනා.

  • සාන්ත ජෝසප් විද්‍යාලය: පන්දුවාර 50ක දී කඩුලු 5ක් දැවී ලකුණු 287 – ශෙවෝන් ඩැනියෙල් 146*, ශෙරන් ෆොන්සේකා 38, දුනිත් වෙල්ලාලගේ 30, මිතිර තෙනුර 34, සදීෂ් ජයවර්ධන 25, ප්‍රශාන් කල්හාර 1/31, සොනාල් අමරසේකර 1/55.
  • රාජකීය විද්‍යාලය: පන්දුවාර 40.2 සියලු දෙනා දැවී ලකුණු 190 –  කවිඳු පතිරත්න 59, සිනෙත් ලක්වන් 40, අහන් වික්‍රමසිංහ 37, ලහිරු අමරසේකර 4/54, මිතිර තෙනුර 1/22.

සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 97ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<