නාඩගම්කාරයෝ : හාමුදුරුවෝ සහ S.K. සිරිසේන

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මගේ වැඩියෙන්ම සිත් ගත්ත චරිත දෙකක් තියෙනව.

පන්සලේ හාමුදුරුවො:

මුලින්ම මම හාමුදුරුවන්ගේ චරිතයට ආස වුනේ එක සිද්ධියක් නිසා.

සරා ඇතුළු ගැන්සිය තමන්ගේ වාඩියට ගිණිතිබ්බේ හාමුදුරුවන්‍ ය කියල හිතල පන්සලට ඇවිත් හාමුදුරුවන්ට බැනගෙන බැනගෙන යනව. හාමුදුරුවො ඒ ඔක්කොම උපේක්ෂාවෙන් අහන් ඉන්නව. පැත්තක හිටිය ලේකම් මහත්තයා අවලාද කියද්දි හාමුදුරුවො කියනව, ඒ අයගේ කේන්තිය මෙහෙම පිට වුන එක හොඳයි කියල. ඊට පස්සෙ පන්සලටම ඇවිත් තමාට බැනල යන සරාලට පොඩි හාමුදුරුවො කෙනෙක් අතේ පන්සලට දායකයො ගෙනත් දීපු බඩුමුට්ටු ටිකක් යවනව. සරාලා තක්බීර් වෙලා බලනව මොකක්ද යකෝ මේ වුනේ කියල. සරා ඇතුළු ගැන්සිය යහමඟට ගැනීමේ අරමුණේ වැඩියෙන්ම වැඩකරන්නේ හාමුදුරුවන්ගේ මේ කරුණාව සහ මාස්ටර්ගේ තේරුම් ගැනීම.

ඔය වගේ තමයි නාට්‍යය පුරාම හාමුදුරුවන්ගේ චරිතය ගොඬනැගෙන්නෙ.

මට නාට්‍යය බලද්දි හිතුනේ ඇත්තටම බුදුහාමුදුරුවො කියන්නෙ මේ වගේ කෙනෙක් වෙන්න ඇති නේද කියන දේ.

අපේ රටේ ගොඩක් ආගමිකයො බුදුන් දිහා බලන්නෙ සාමාන්‍යය මනුස්සයෙක් නොවන දෙවියෙක් ගානට. ඒ කාලේ බුදුන්වහන්සේ අහසින් වැඩල දුම් ගොඩක් මැද්දෙ දෝංකාරදෙන ස්ලෝ මෝෂන් කටහඬකින් බණ කියල අහසින්ම ආයේ අන්තරස්ධාන වෙන ලෙවල් එකක රූපයක් තමයි බුදුන් ගැන අපේ ඔලු වල නිර්මාණය වෙලා තියෙන්නෙ.

ඒකයි ගොඩක් දෙනෙක් තමාගේ අපරිනත හැඟීම් සහ හැසිරීම් සාධාරණීයකරනය කරන්න අර ප්‍රතිරූපය පාවිච්චි කරන්නෙ. ‘මෙහෙම කරන්න අපි බුදු වෙලා නැහැනෙ. අරෙහෙම නොකරන්න අපි රහත් වෙලා නැහැනෙ’ කියල.

ඒත් නාඩගම්කාරයෝ එකේ හාමුදුරුවන් විදියට හැසිරෙන්න රහත් වෙන්නවත් බුදුවෙන්නවත් ඕන නැහැ. තමාගේ මමත්වය, ඊගෝව පාලනය කරගන්න පරිනත බව සහ තේරුම් ගැනීම විතරයි අවශ්‍යය.

හාමුදුරුවන් කෙනෙක්ගේ භූමිකාව නිල නොලත් මැරයෙක්, චණ්ඩියෙක් ගාණට වැටිල තියෙන, සිවුරේ පැහැය ජාතිවාදයේ පැහැය හා සමපාත වන, බුදුන්ගේ වචනය අනුව යන්න අපි පො*න්නයොද අහන ආගමිකයන් ඉන්න සමාජයකට නාඩගම්කාරයෝ නිර්මාණකරුගේ පරිකල්පනය තුළින් බිහිවන පන්සලේ හාමුදුරු චරිතය බුදුන් හා සමාන හැසිරීමක් වර්තමාන සමාජ සන්ධර්භය මැද්දට ගෙනත් දාලා තමන්ගේ ආගමික කම් වල පරස්පරවිරෝධීතා ප්‍රශ්න කරවන්න පොළඹවනව.

හාමුදුරුවන්ගේ චරිතයට මම ආස ඒකයි. බුදු රහත් පට්ටම් එක්ක එකට ගැටගහල අපිට ළඟා වෙන්න බැරි මහ පොළවට උඩින් අහසෙ තැනක රන්දල ඒකට වැඳ වැඳ ඉන්න මිනිස්සුන්ට, ඒ මානුෂීය හැසිරීම් වල ප්‍රායෝගිකත්වය ඇස් පනා පිට පෙන්නල දෙනව මේ ටෙලිනාට්‍යයේ පන්සලේ හාමුදුරුවො.


S.K. සිරිසේන :

අනිවාර්‍යයක් විදියට තමාගේ ජීවිතයේ හැම අස්සකටම මුල්ලකටම රිංගන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වීම නිසා හැමෝගෙම විහිලුවටත් ගැරහුමටත් ලක් වෙන S.K. සිරිසේනට මම පට්ට ලව්.

සිරිසේන කියන්නේ රටේ එදිනෙදා සිදුවන වැදගත් දේශපාලනික සිදුවීම් වගේම දේශපාලන සංකල්ප ගැනත් අදහසක් තියෙන මනුස්සයෙක්. රටක දියුණුවට ඒ රටේ දේශපාලනික සවිඥ්ඥාණික ජනතාවක් සිටීමේ වැදගත්කම තේරුම් අරගෙන ඉන්න S.K. සිරිසේන එදිනෙදා මූණ දෙන්න සිදුවන කෙටිකාලීන ගැටළු ඇතුලේ හිර වෙලා ඉන්න මිනිස්සු ඉස්සරහ සමච්චලයට ලක් වෙනව.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලනික සංකල්පය ගත්තම ඒකේ මූලිකම වටිනාකමක් තමයි අදාල රටේ ජනතාව ඒ රට/ජනසමාජය ගැන ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වලට (තෝරාගන්නා ලද නියෝජිතයන් මාර්ගයෙන්) සම්බන්ධවිය යුතුයි කියන අදහස. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම වටිනාකම් ක්‍රියාත්මක නොවන, වික්ෘති සහගත සමාජ ක්‍රමයක ජීවත් වෙන මිනිස්සුන්ට තමන් තුළ බල රහිත බවක (powerless), අක්‍රිය බවක (passive) හැඟීම් නිසා ඔවුන් සක්‍රිය දේශපාලන තීන්දු තීරණ වලින් සම්පූර්ණයෙන්ම වගේ ඈත් වෙන්නයි නියමිත.

S.K. සිරිසේනට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙත් ඒ වගේ ඉච්ඡාභංගත්වයට පත් වුන පිරිසක් මැද.

නමුත් උත්සාහය අතනොහරින S.K. සිරිසේන, තමා වටේ ඉන්න අය වගේ අක්‍රිය ජීවියෙක් වෙලා ඔවුන්ගේ පිළිගැනීම ලබා ගන්නව වෙනුවට දිගින් දිගටම දේශපාලනික සවිඥ්ඥාණය වෙනුවෙන් පෙනී ඉඳිමින් ඔවුන්ගෙන් සමච්චලයට ලක් වෙනව.

ඒ අනුගත නොවීම මට නම් පට්ටම සිරා.

සිරිසේන වගේ යන යන තැන දේශපාලනය ගැන කියෙව්වෙ නැති වුනත් (නාට්‍යයේ සිරිසේනගේ චරිතය ඒ විදියට නිර්මාණය කරල තියෙන්නෙ හාස්‍යය රසය උදෙසා කියන එක පැහැදිලියි), මමත් මගේ ‘සාමාන්‍යය’ ජීවිත ගත කරන ‘සාමාන්‍යය’ ඔලු තියෙන මිතුරු මිතුරියන් හමුවුනාම දේශපාලන කරුණු ගැන ඔවුන් කියන දේ අහන් ඉන්නව. හැබැයි මම දන්නෙ නැහැ ඒවට ප්‍රතිචාර දක්වන හැටි.

වාහනය සර්විස් කරන්න ලාභම තැන්, දරුවාව දාගන්න හොඳම ඉස්කෝලය, හොඳම බඩු අඩුම ගාණට මිලදී ගන්න තියෙන කඩ, වගේ දේවල් ගැන පුදුම හිතෙන විදියේ දැනුමක් තිබුනත් ඔවුන්ට එදිනෙදා දේශපාලන සිදුවීම් ගැනවත් මූලික දේශපාලනික සංකල්ප ගැනවත් කිසිම දැනුමක්, අවබෝධයක් නැහැ.

ඔවුනුත් සිරිසේන වටේ ඉන්න පිරිස වගේ දේශපාලනික අර්ථයෙන් නිෂ්ක්‍රීය ජීවිත බවට පත් වෙලා. නමුත් ප්‍රශ්නය තමයි, දේශපාලනික මාත්ෘකා ගැන දැනුමක්වත් උනන්දුවක්වත් නොතිබුනාට මේ අයට දේශපාලනික අදහස් නම් තියෙනව. එදිනෙදා ජීවිතයෙදි ‘අපිට දේශපාලනය වැඩක් නෑ’ කිව්වට ඡන්දය දවසෙ උදෙන්ම ගිහින් කවුරුන් හෝ හරි නම් හිරේ ඉන්න ඕන හොර තඩි මැරයෙක්ට ඡන්දය නම් දාලා එනව. කට ඇරියොත් දේශපාලකයන්ට බැන්නට ජනාධිපතිතුමා හෝ ඇමති තුමා තමාගේ දරුවාගේ ඉස්කෝලෙට ඇවිත් තමන්ගෙ දරුවට තෑග්ගක් දෙන වෙලාවේ ගත්ත ෆොටෝ එකක් රාමු කරල ගෙදරට එන හැමෝටම පේන්න තියල නම් තියෙනව.

ගෙවල් හදන්නයි, වාහනයක් ගන්නයි, දරුවාව හොඳ ඉස්කෝලෙකට දාගන්නයි හදමින් ඉන් එහාට ලෝකයක් නැහැ වගේ ජීවත් වෙන ඔවුන් හැසිරෙන්නෙ ගේ හදන සිමෙන්ති කොට්ටයක ගාන, වාහනයක් ගද්දි ගෙවන ටැක්ස් එක, දරුවා ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න දේ ඉඳන් ආශ්වාස ප්‍රාශ්වාස කරන හුස්ම ටිකේ ස්වභාවය දක්වා තීරණය වෙන්නේ දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිපලයක් විදියට කියල නොදන්න ගානට.

‘අපිට ඔය දේශපාලනය වැඩක් නෑ’ කියල දේශපාලනයෙන් ඈත් වීම ගැන ආඩම්බරයෙන් කතා වෙන ඔවුන් දන්නෙ නැහැ අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ කියන්නත් දේශපාලනික ප්‍රකාශයක් බව. දේශපාලනයෙන් ඈත් වීම කරන්න නොහැකි දෙයක් බව.

ජනතාව දේශපාලනිකව නිෂ්ක්‍රීය චින්තනයකින් හෙබි වීමේ ස්ෘජු වාසිය ගන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

බල ලෝභීන් සහ මහජන සම්පත් කොල්ලකන හොරු එකතු වෙලා හදල දෙන වේදිකාවක කියන කියන විදියට නටන රූකඩ වගේ ඉඳගෙන S.K. සිරිසේනලාට ඇඟිල්ල දික් කර කර හිනාවෙනව.

ඒ අතින් බැලුවම සරාලා, කඩේ මුදලාලිලා, ලේකම් මහත්තයලා අතින් බයිට් වෙන S.K සිරිසේන දිහා බලාගෙන හිනා වෙන අපි නොදැනුවත්වම ඇත්තටම හිනා වෙන්නේ වෙනකාටවත් නෙමේ, අපිටමයි!


jamisbanda

ප/ලි – මෙය නාට්‍යයේ ගුණ අගුණ කතා කරන අදහසින් ලියූ පෝස්ට් එකක් නොවේ. එහි එන චරිත දෙකක් සහ ඒ චරිත දෙකෙන් හෙළිවන සමාජීය කරුණු ගැන සටහනකි. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මුල් කොටස් වල ස්වභාවය සහ අද එය පත්ව ඇති තත්වයට මුල් වූ කරුණු කාරණා යනු වෙනම කතා කල යුතු වෙනම මාතෘකාවකි. කලාව අද පත්ව ඇති තත්වයට නාඩගම්කාරයෝ පරිනාමය ඉතාම හොඳ උදාහරණයක් බව මගේ අදහසයි. ඒ ගැන සාකච්ඡා කිරීම පසුවට.

3 responses to “නාඩගම්කාරයෝ : හාමුදුරුවෝ සහ S.K. සිරිසේන”

  1. මෙවැනි එක් හිමි නමක් පිළිබඳ අත්දැකීමක් මට ද පවතී. දැනුදු අනෙක් සියලුම චරිත ගම්වල සිටියත් මෙවැනි හාමුදුරු චරිත බෙහෙවින්ම දුර්ලබයි. එස්.කේ සිරිසේනත් මාස්ටරුත් එවැනි දුර්ලභ චරිත අතරට ගැනෙනවා නොවේදයි මට සිතෙනවා. ඔබේ පසු සටහන මගේත් එකක් බව කියන්නට අවසර දෙන්න

    Liked by 1 person

  2. Ajith Dharma Avatar
    Ajith Dharma

    0බ දෙදෙනාම බලනවා කියන්නේ කතාව හොඳ ඇති . බලන්න හිතුන . මේ සටහන අගෙයි

    Liked by 1 person

    1. කතාවේ මුල් කොටස් ටික රසවත්. හැබැයි එකවර ලැබුන ලොකු ජනප්‍රියතාවය නිසාද මංදා ඒ ගුණාත්මක බව ක්‍රමයෙන් අඩු වුනා. දැන් මම බැලිල්ල අත ඇරල ඉන්නෙ.

      Like

ප්‍රතිචාර සඳහා: