142 වැනි නිල් මහ සටනට සාඩම්බර අනුග්‍රහය Dialog විසින්

රාජකීය - සාන්ත තෝමස් 142වන නිල් මහා සටන

232

ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන සුප්‍රසිද්ධ නිල් මහ සටනේ 142 වැනි සංග්‍රාමය 2021 මැයි 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යම් යම් සීමාවලට යටත්ව ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව මෙවර නිල් මහ සටන පැවැත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියෝග කර ඇති මාර්ගෝපදේශ මෙන්ම ක්‍රීඩා කරන තත්වයන් පිළිබඳ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියාමනයන්ට ද යටත්ව සංග්‍රාමය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මස්ටෑන්ග් කුසලානය වෙනුවෙන් දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් සටන මෙවර විස්සයි විස්ස තරගයක් ලෙස 2021 මැයි 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර සංග්‍රාමයේ දී, තුන් ඉරියව් ක්‍රීඩක ශලින් ද මෙල් විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට නායකත්වය ලබා දෙන විට, සුපිරි පිතිකරු අහන් වික්‍රමසිංහ රාජකීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

ඉතිහාසයේපළමු වරට කොළඹින් බැහැර ක්‍රීඩාංගණයක දී මෙවර නිල් මහ සටන ක්‍රීඩා කරන්නේ උද්ගතව තිබෙන කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙනයි. මේ සඳහා සහභාගී වන කණ්ඩායම්, පුහුණුකරුවන්, සහාය කාර්ය මණ්ඩලය සමඟ විනිසුරුවරුන් සහ තරග නිලධාරීන් දකුණු පළාත් සහ හම්බන්තොට කලාප සෞඛ්‍ය සේවාවන්ගේ අධීක්ෂණය යටතේ කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුගතව ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio bubble) යටතේ තරගයට සහභාගී වීමට නියමිතයි.

රාජකීය-සාන්ත තෝමස් මහා තරගයට වසර 142ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයක් හිමි වෙනවා. ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලි අතර මෙය දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී සාන්ත පීතර විදුහල හා ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ්විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණයි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ආරම්භ වීමට එක් වසරකට පෙරයි. 

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය-සාන්ත තෝමස් වාර්ෂික මහා තරග ඇරඹුමෙන් දෙවසරකට පසුවයි.

මහත් විවාදයකට ලක්වූ 1885 තරගය සමඟ නිල් මහ සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 35 බැගින් වාර්තා කර තිබෙනවා.පළමු දිනයේ රාජකීය විදුහල ලකුණු 09කට සියලු දෙනා දැවී ගොස්, දෙවැනි දිනයේ ක්‍රීඩා නොකෙරුණු 1885 තරගය තමන් ජය ගත් තරගයක් ලෙස සාන්ත තෝමස් විදුහලේ වාර්තා අතර සටහන් වන අතර, එය ජය පැරදුමෙන් තොර වූ තරගයක් ලෙස රාජකීය විදුහලේ සමරු සටහන්වල දැක්වෙනවා. 

2019 වසරේ දී සිතාර හපුහින්නගේ නායකත්වය යටතේ සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට නිල් මහ සටනක් ජය ගත් අතර ඒ නිසාවෙන් අදාළ කුසලානය මේ වන විට පවතින්නේ සාන්ත තෝමස් විදුහල සතුවයි.

Photos: Royal vs S. Thomas’ | 142th Battle of the Blues – Press Conference

රාජකීය කණ්ඩායම අවසන් වරට නිල් මහ සටනක් ජය ගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේ දීයි.

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම විසින් මෙවරත් නිල් මහ සටනට අනුග්‍රාහකත්වය ලබා දෙනවා. සංග්‍රාමය සඳහා Dialog අනුග්‍රාහකත්වය දක්වන 13 වැනි වසර මෙයයි. 

මෙම තරගය ඇසුරින් Play for a Cause නම් සත්කාරක අරමුදලක් උදෙසා මුදලින් දායක වන්නට Dialog ආයතනය කටයුතු කරන අතර, ඒ අනුව මෙම තරගයේ දී රැස්කරනු ලබන එක් ලකුණක් වෙනුවෙන් රුපියල් 1,000ක් ද, දවා ගන්නා එක් කඩුල්ලක් වෙනුවෙන් රුපියල් 10,000ක් ද එම අරමුදලට බැර කිරීමට Dialog කටයුතු කරනවා. 

ඉකුත් වසරේ නිල් මහ සටන පාදක කරගනිමින් Dialog විසින් මෙම අරමුදල සඳහා පිරිනැමුණු මුදල රුපියල් 1,008,000ක්. රාජකීය විදුහලේ සහ සාන්ත තෝමස් විදුහලේ විදුහල්පතිවරුන්ගේ අනුදැනුම සහ උපදේශනය යටතේ උපකාර අවැසි පාසල්වලට සහාය දීම සහ ඒවා බලගැන්වීමට මෙම අරමුදල් යෙදවෙනවා. Play for a Cause අරමුදල මගින් මේ දක්වා රුපියල් 6,151,000ක් වටිනා ක්‍රිකට් ආම්පන්න ආධාර අවැසි පාසල් 10ක් වෙත ප්‍රදානය කර තිබෙනවා.

Dialog Axiata ආයතනය ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, අන්තර් සමාජ රග්බි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට ද කටයුතු කර තිබෙනවා.

142 වැනි නිල් මහ සටන, ‘Dialog ටෙලිවිෂන්’ නාලිකා අංක 72 ඔස්සේ මෙන්මThePapare.comවෙබ් අඩවිය සහ Dialog ViU App හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.මෙම තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<