Main Logo

Wednesday 21 April 2021

පාස්කු ප්‍රහාරය පිටුපස

 

පාස්කු ප්‍රහාරය පිටුපස

 

අද අප්‍රේල් විසි එක්වැනි දා. එය අපට අමතක වීමට කාදිනල්තුමා ඉඩ දෙන්නේ නැහැ. එය ප්‍රශ්නයක් නො වෙයි. කාදිනල්තුමාට එදා මිය ගිය කතෝලික ජනතාව ගැන  ප්‍රශ්නයක් නැත්නම් තමයි ප්‍රශ්නය. අවුරුදු දෙකකට ඉහත අප්‍රේල් විසි එක පාස්කු ඉරිදා බවත් අප දන්නවා. ඒත් මට ප්‍රශ්න රාශියක් තියෙනවා. දළදා මාළිගාවට පහර දුන් දවස මතක කාට ද? ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල මිනී මැරූ දිනය මතක කාට ද? ඒ බෞද්ධ සිද්ධස්ථාන නිසා මතක තියා ගැනීම අනෙක් ආගමිකයන්ට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළ හැකි යැයි කියමු.

 

මා කාදිනල්තුමාගෙන් අහන්නෙ නැහැ ඒ දින කවදා ද කියල. මහානායක අනුනායක හිමිවරුන්ට ඒ දින මතක ද? ඒ දින මතක තබා ගැනීම මියන්මාහි ලංකා තානාපතිකම දැරීමට සුදුසුකමක් ද කියාත් මා අහන්නෙ නැහැ. මහානායක හිමිපාණන් වහන්සේට අනුව ඒ සඳහා මට වඩා සුදුසු බෞද්ධයන් ඉන්නවා. මගේ ශ්‍රද්ධාව ගැන උන්වහන්සේට ප්‍රශ්න තියෙනවා. ඔය ආගමික කතා පැත්තකින් තබමු. මහා බැංකුවට පහර දුන් දිනය කී දෙනකුට මතක ද? කාදිනල්තුමා නැත්නම් අප්‍රේල් විසිඑකත් අපට අමතක වෙලා. ඒත් කාදිනල්තුමා අනෙක් දිනත් මතක තබා ගත්තා නම් හොඳය කියා හිතෙනවා.

 

කාදිනල්තුමා අහන ප්‍රශ්නය තමයි ඔය පාස්කු ප්‍රහාරය පිටුපස හිටිය බලවේග මොනවා ද කියා. ඇතැමුන්ගේ බසින් නම් මහාමොළකරු කවුද කියා. ඒ ප්‍රශ්නත් හොඳයි. කොටි ප්‍රහාර පිටුපස හිටියෙ කවු ද? ජාත්‍යන්තර බලවේග තිබුණ ද තියෙනවා ද? පළාත් සභා පිටුපස ඉන්නෙ කවුද? ඒකට සුමන්තිරන් පිළිතුරක් දීල තිබුණා. ඔහු කියා තිබුණෙ තමන් ඉන්දියාවෙ පිහිට ලබාගෙන  පළාත් සභා රැක ගන්නවා කියා. කාදිනල්තුමාගෙ කතෝලික පල්ලියෙ පූජකවරුනුත් කොටි සමග කටයුතු කළා, නොයෙක් උපකරණ කොටින්ට ගිහින් දුන් කතෝලික පූජකවරුනුත් හිටියා. කාදිනල්තුමා හරි කතෝලික සභාව හරි ඔවුන්ට විරුද්ධ ව කිසියම් පියවරක් ගත්ත ද?

 

එකල ජෙහාන් පෙරේරා වැනි ක්‍රිස්තියානි සභාවල ප්‍රධානීන් අපට මතක් කර හිටියේ සාමයේ වැදගත්කම. යුද්ධයෙන් ජීවිත හානි වීම ගැන. දෙමළ කතෝලික ස්ටැන්ලි  තම්බයියා බුද්ධාගම පාවා දීම යනුවෙන් පොතක් පළ කළා. ඔහු කියා සිටියේ බෞද්ධයනට යුද්ධය අකැප කියායි. ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි යැයි කී යුද විශේෂඥයන් ද සිටියා. තම්බයියා ජීවතුන් අතර නැති වුවත් තවමත් ජෙහාන් පෙරේරාලා ඉන්නවා.

 

මා මේ කරුණු කියන්නේ තුවාල පෑරීමට නො වෙයි. අප මුල සිට ම මේ දේශපාලන ධාරාවල පසුබිම  කියා දුන්නා. කොටි ඇති කෙළෙත් තවමත් පවත්වාගෙන යන්නේත් ඉංගිරිසින්. ඒ සිංහල බෞද්ධ විරෝධි ධාරා ලෙස. විවිධ ක්‍රිස්තියානි සභාවල සහාය කොටින්ට ලබා දුන්නා. අදත් ලබා දෙනවා. ඒ මදිවාට ඉන්දියාවත් දෙමළ ජාතිවාදයට සහාය දෙනවා. සුමන්තිරන් කියන්නෙ දෙමළ මෙතෝදිස්ත බැතිමතෙක්. චෙල්වනායගම් දෙමළ ක්‍රිස්තියානි. ඔහු අයත් වූයේ මදුරාසි සභාවට. රාමනාදන්ලා අරුණාෂලම්ලා ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය. ඉංගිරිසින් මෙරට දෙමළ ජාතිවාදය පටන් ගත්තෙ දහනවවැනි සියවස මුල.

 

මේ සියල්ල අප හොඳින් අධ්‍යයනය කර තිබූ බැවින් අපට හා අපේ රණවිරුවන්ට කොටි පරාජය කිරීමට හැකි වුණා. ඒ පරාජය දරාගන්න බැරි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් අදත් ඊනියා මානව අයිතිවාසිකම් උල්ලංඝන ගැන කියවනවා. එංගලන්තය එසේ කරන්නේ ඇතැම් ලිය කියවිලි හංගමින්. මෙරට ඉන්න බටහිර උගතුන්ට තවමත් එංගලන්තයට විරුද්ධ ව යමක් කියන්න හිත හදාගන්න බැහැ. ඔවුන් හිතන්නෙ දෙමළ ජාතිවාදීන් එංගලන්තය මුළා කරනවා කියා. එහෙත් සිදුවන්නේ එහි අනෙක් පැත්ත. එංගලන්තය තමයි දෙමළ ජාතිවාදය හා විසුරුණු දෙමළ ජනයා නඩත්තු කරන්නෙ.

 

එමෙන් ම මෙරට සිටින සමහර ප්‍රාචීන උගතුන්ට ඉන්දියාවට විරුද්ධ වන්න හිත හදාගන්න බැහැ. පෙරදිග සංගීතය හැදෑරු සමහරුන්ටත් එසේමයි. මේ අතරට අපට චීන ගැත්තන් පිරිසක් ද අවශ්‍ය වන්නේ නැහැ. වරාය නගරයට හැකි තාක් චීන නොවන ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙත් ඒ සියල්ලට පළමුව වරාය නගරය ලංකා භූමියට ඇතුල් කර ගැනීමට ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය සංශෝධනය කරන්න ඕන. පස්වැනි වගන්තිය හා ඒ අනුව පනවන ලද පනත්වලට අනුව කළ හැක්කේ තිබෙන දිස්ත්‍රික්ක විසිපහ වෙනස් ආකාරවලට දිස්ත්‍රික්ක බවට පත් කිරීම පමණයි. වෙනත් ම භූමියක් එකතු කරන්න නම් පස්වැනි වගන්තිය සංශෝධනය කරන්න ඕන. 2019 දි වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් කර ගත්තේ ය කියන එක නීතියට එකඟ නැහැ. ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය නිවාඩු පාඩුවේ කියවා බලන්න.

 

වරාය නගරයට ජාතිකවාදීන් විරුද්ධ නැහැ. අසූගණන්වල කොළඹ විශ්වවිද්‍යාලයේ හිටි සුවාදීනයන් හා ජ වි පෙ  ම්ලෙච්ඡවාදීන් සිතා සිටියේ ජාතික චින්තනය යනූ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යැම කියා. ඔවුන් ජාතිකවාදීන් වරාය නගරයට විරුද්ධ යැයි සිතන්නේ එසේත් නැත්නම් විරුද්ධ වියයුතු යැයි සිතන්නේ ඒ අනුවයි. අද ඇත්තේ 2024 ජනාධිපති අපේක්‍ෂක තෝරා ගැනීමේ සටනක්. වරාය නගරයත් ඒ සඳහා යොදා ගැනෙනවා. විජයදාස රාජපක්‍ෂ පමණක් නොව චම්පක රණවකත් ඒ සටනේ ඉන්නචා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් වරාය නගරයේ බුද්ධාගම රැකෙන්නෙ නැහැ කියන්නෙ ඇඹිලිපිටියෙ රැක ගෙන නො වෙයි.

 

පාස්කු ප්‍රහාරය ගැන අප ඒ දිනවල ම කිවුවා. මෙයටත් චීන සේද මාර්ගය සම්බන්ධයි. චීන ආර්ථිකයට විරුද්ධ ව තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණෙ. ඒ දිනවලට ටිකක් කලින් චීන සේද මාර්ගයේ පිහිටි පිලිපීනයටත් ප්‍රහාරයක් එල්ල වුණා. පිලිපීනය කතෝලික රටක්. අවුරුදු දෙකකට පෙර ලංකාවට ප්‍රහාරය එල්ල  වුණෙත් සේද මාර්ගයේ පිහිටි රටක් වන නිසාත් එකල ඊනියා යහපාලන ආණ්ඩුව යටතේ රාජ්‍ය ආරක්‍ෂාව ඉතා පහත් අඩියක තිබුණ නිසාත්. ප්‍රහාරකයන්ගේ ඉලක්කය වුණෙ කතෝලික හා සාම්ප්‍රදායික පල්ලි.

 

මේ ප්‍රහාර පිටුපස බෝන් අගේන් පල්ලියත් ඉන්නවා. බෝන් අගේන් කියන්නෙ විසිඑක්වැනි සියවසේ ක්‍රිස්තියානි පල්ලිය. එය ඇති වෙලා ටිකක් කල්. එහෙත් ඒ පල්ලිය දැන් එක්සත් ජනපදයේ බලවත්. අද වන විට වහාබ්වාදයත් මෙහෙයවෙන්නෙ බටහිරින්. බටහිර අලුත් පල්ලියට පුළුවන් සාම්ප්‍රදායික කතෝලික හා ක්‍රිස්තියානි සභාවලට විරුද්ධ ව වහාබ්වාදීන් මෙහෙයවන්න. පාස්කු ප්‍රහාරය මේ ජාත්‍යන්තර බලවේගවල එකතුවකින් ද කෙරුණක්.

 

ලංකාවෙ වහාබ්වාදය දැන් කලකට සිට ක්‍රියාත්මකයි. සහාරාන් එහි නායකයකු මිස නායකයා නො වෙයි. මේ වහාබ්වාදීන් සමහර දේශපාලන පක්‍ෂවල ඉන්නවා. ඒ නැතත් සමහර මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් ආරක්‍ෂා කරනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව. මෙරට ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක්. එය පාර තොටේ තැන තැන ඉදිකෙරෙන මුස්ලිම් පල්ලි මගින් මෙන් ම ඇඳුම් පැළඳුම් මගින් ද ප්‍රදර්ශනය කෙරෙනවා. ඇතැම් ප්‍රදේශ රටඉඳි වැවීමෙන් අරාබි බසින් පාරවල් නම් කිරීමෙන් ආදියෙන් අරාබිකරණයකට ලක් කෙරෙනවා. මද්‍රාසා පාසල් යනු දහම් පාසල් පමණක් නො වෙයි. ඒ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය පතුරවන ආයතන. එහි දී අවි ආයුධත් යොදා ගැනෙන බවට තොරතුරු පැතිර යනවා. අර ඒ දවස්වල මුස්ලිම් පල්ලිවල  තණකොළ කපන්න ගෙනාපු කඩුවලට මොකද වුණේ?

 

වහාබ්වාදය බටහිරින් මෙහෙයවන බවක් මෙරට වහාබ්වාදීන් දන්නේ නැහැ. මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් ආරක්‍ෂා කරන අතර සිංහල දේශපාලනඥයන් මුස්ලිම් දේශපාලනඥයන් ආරක්‍ෂා කරනවා. ඒ තමයි ඩීල් දේශපාලනයේ ප්‍රතිඵල. මාවනැල්ලේ බුදු පිළිම කඩපු මුස්ලිම් අන්තවාදීන් (සමහර විට වහාබ්වාදීන්) අසත් අලි විසින් ආරක්‍ෂා කෙරුණු අතර අසත් අලි සිංහල දේශපාලනඥයන් විසින් ආරක්‍ෂා කෙරුණා.

 

සිංහල දේශපාලනඥයන් මුස්ලිම් දේශපාලනඥයන්ට යටවෙනවා. ඒ පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට/රඳවා ගැනීමට. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න සිංහල දේශපාලනඥයන් අකමැති ඒ නිසයි. මේ ඩීල් දේශපාලනය සිංහල දේශපාලනඥයන්ට සමහර විට තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. කාදිනල්තුමා විසිවැනි සංශෝධනය ගැන කියන කතාව හරි. පක්‍ෂයක නායකයා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙද්දි අනෙක් අය සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීල කිසිම විනය පරීක්‍ෂණයක් නැතිව අනේ සොරි කියල නිදහස් වෙන්නෙ ඩීල් අනුහසින්.

           

සාරංශයක් ලෙස කිවුවොත් පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර හා ජාතික දේශපාලනයේ සංකලනයක ප්‍රතිඵලයක්. බෝන් අගේන් පල්ලිය සාම්ප්‍රදායික පල්ලිවලට විරුද්ධවත් චීන සේද මාර්ගයට විරුද්ධවත් වහාබ්වාදීන් මෙහෙයවනවා. ලංකාවෙ මුස්ලිම් දේශපාලනඥයන් අතර වහාබ්වාදීන් ඉන්නවා. සමහරු වහාබ්වාදීන් ආරක්‍ෂා කරනවා. සිංහල දේශපාලනඥයන් ඩීල් දේශපාලනයේ යෙදෙමින් මුස්ලිම් දේශපාලනඥයන් ආරක්‍ෂා කරනවා. කොරේ පිට මරේ කීවාක් මෙන් 2019 අප්‍රේල් වන විට යහපාලන බෙදීම් නිසා  බුද්ධි අංශ හා රාජ්‍යාරක්‍ෂාව බින්දුවට බැහැල තිබුණෙ.

 

මේ අවසරයෙන් ද ඉන්දියාව මෙරට ඔත්තු සේවයක් පවත්වාගෙන යනවා. අර සාරා කියන කාන්තාව එවැනි ඔත්තුකාරිනියක් වෙන්න ඕන. ඇගේ මාර්ගයෙන් හරි වෙනත් ක්‍රමයකින් හරි ඉන්දියාව පාස්කු ප්‍රහාරය ගැන දැන සිට තියෙනවා. ඉන්දියාව අපේ බුද්ධි අංශවලට තොරතුරු ලබා දී ඇති නමුත් යහපාලන අසමගිය නිසා පලක් වෙලා නැහැ. ඉන්දියාවටත් බෝන් අගේන් මෙන් ම වහාබ්වාදයත් ප්‍රශ්නයක්. ඉන්දියාව හා බටහිර හැම විට ම එකට ක්‍රියා කරන බවක් උපකල්පනය කරන්න ඕන නැහැ.

 

2018 ඔක්තෝබර් විප්ලවය ආරක්‍ෂා කර ගන්න පුළුවන් වුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබුණා. එහෙත් එයත් ඩීල් දේශපාලනය නිසා වැළකුණා. අප මෛත්‍රිපාල –- මහින්ද ආණ්ඩුව රැකගත්තා නම් ජීවිත සිය ගණනක් රැකගන්න තිබුණා. අප ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගෙන මෙරට වහාබ්වාදය පරාජය කරන්න ඕන. එහි දී ඩීල් දේශපාලනය සම්පූර්ණයෙන් පිටු දකින්න ඕන. සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය පරාජය කිරීමට කතෝලිකයන් මෙන් ම හින්දූන් ද වහාබ් විරෝධී මුස්ලිමුන් ද එකතු වෙන්න ඕන. සිංහල බෞද්ධත්වය තහවුරු වන තරමට සියළු ජනකොටස්වලට ආරක්‍ෂාව සැපයේවි.