Pandyaගේ පන්දු යැවීම ගැන මහේලගෙන් සහතිකයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

210

Mumbai Indians කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Hardik Pandya පළමු තරග තුනේ දී ම පන්දු යවා තිබුණේ නැහැ. ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. Mumbai Indians ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන ඒ පිළිබඳව පසුගිය දා අදහස් දක්වා සිටියා.

අද (20) පැවැත්වීමට නියමිත Delhi Capitals තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන පවසා සිටියේ Hardik Pandya ආබාධයකට පසුව කණ්ඩායම සමඟින් එක්වූ නිසා තවමත් පන්දු යැවීමට සූදානම් නොමැති බවයි.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර Hardik Pandya කොන්දේ ආබාධයකට ලක්වූ අතර එහි දී ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කර තිබුණා. පසුගිය තරගාවලියට පෙර ඔහු දීර්ඝ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියා. මේ නිසා එම තරගාවලියේ දී ඔහු කණ්ඩායම නියෝජනය කළේ පිතිකරුවෙකු ලෙස පමණයි. 

කෙසේ වෙතත් නිමා වූ ඉන්දීය ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ දී Hardik Pandya පන්දුවාර 5ක් ක්‍රියාත්මක කර තිබුණා. ඉන් අනතුරුව ඔහුගේ ආබාධයේ සුළු වර්ධනයක් ඇතිවීම නිසා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සඳහා ද ඔහු සහභාගී වුනේ නැහැ. ඕස්ට්‍රේලියා තරගාවලියට පසු පැවති එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ද Hardik Pandya නම් කර තිබුණේ නැහැ.

ඉන්දීය එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ දී Hardik Pandya පන්දුවාර කීපයක් ක්‍රියාත්මක කළා. ඉන් අනතුරුව පැවති එක්දින තරගාවලියේ මුල් තරග දෙක තුල දී ඔහු කිසිදු පන්දුවක් යවා තිබුණේ නැහැ. ඒ පිළිබඳව බොහෝ දෙනා අදහස් දක්වා සිටි අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරන Pandyගේ කාර්‍යභාරය එහි දී ප්‍රශ්න කර තිබුණා. කෙසේ වෙතත් අවසන් එක්දින තරගයේ දී ඔහු පන්දුවාර 9ක් ක්‍රියාත්මක කළා.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන් අනතුරුව ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරග 3 දී ද Hardik Pandya පන්දු යවා තිබුණේ නැහැ. එම තරග 3 දී පිතිකරුවෙකු ලෙස ද එතරම් සාර්ථක වීමට Pandya සමත්වුනේ නැහැ. එවන් වටපිටාවක් තුල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස Hardik Pandyaගේ කාර්‍යභාරය පිළිබඳව ක්‍රිකට් විචාරකයන් රැසක් අදහස් දක්වා සිටියා. කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත Delhi Capitals තරගයට පෙර මහේල ජයවර්ධන Hardik Pandya ගේ පන්දු යැවීම පිළිබඳව අදහස් දක්වා සිටියා.

“අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔහුට පන්දු යවන්න පුළුවන් වේවි කියලා. ඔහු පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙද්දී පන්දු යවන්න යෝග්‍ය මට්ටමක හිටියේ නැහැ. මේ වසරේ ඔහු පන්දු යවාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔහු අවසන් වරට ක්‍රීඩා කළ එංගලන්ත තරගයේ දී සුළු ආබාධයකට ලක්වුනා. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ගැන ඇගයීමක් කරන්නේ නැතිව අපිට අවදානමක් ගන්න බැහැ” මහේල ජයවර්ධන පවසා සිටියා.

“අපි තහවුරු කරගන්න ඕනේ ඔහු පන්දු යවන්න සුදුසු මට්ටමක ඉන්නවා කියලා. ඉදිරි සති කීපය තුල ඔහුගේ තත්ත්වය පරීක්ෂා කරලා ඔහුව යොදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔහුගේ සුළු ආබාධය සුව වෙලා පන්දු යවන්න පුළුවන් වේවි කියලා.” 

මෙවර තරගාවලිය ආරම්භ කරමින් Royal Challengers Bangalore සමඟින් පැවති පළමු තරගයේ දී Hardik Pandya වාර්තා කළේ ලකුණු 13ක් පමණයි. ඔහු Kolkata Kinght Riders තරගයේ දී ලකුණු 15ක් සහ Sunrises Hyderabad තරගයේ දී ලකුණු 7ක් පමණක් වාර්තා කළා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල තරග 83කට ක්‍රීඩා කර ඇති Hardik Pandya එහි දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 42ක්. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 31.26ක්.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයන් වූ Mumbai Indians මෙවර තරගාවලියේ තරග 13ක් අවසානයේ දී ලකුණු සටහනේ 3 වැනි ස්ථානය ලබාගෙන සිටිනවා. ඒ ඔවුන් සහභාගී වූ තරග 3න් 2ක් ජයග්‍රහණය කරමින්.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<