මැදපෙළ අසාර්ථකත්වය ගැන Warner කනස්සල්ලෙන්

IPL 2021

186

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වැනි පරාජයත් අත්විඳීමට Sunrises Hyderabadට සිදු වුනා. ඒ ඊයේ (18) පැවති තරගයේ දී Mumbai Indians හමුවේ ලකුණු 13කින් පරාජය වෙමින්. 

තම කණ්ඩායමේ දුර්වල පිතිකරණය පිළිබඳව Sunrises Hyderabad නායක David Warner තරගයෙන් අනතුරුව අදහස් දක්වා සිටියා. තම කණ්ඩායම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බව ඔහු එහි දී පවසා සිටියා.

Sunrises Hyderabad මේ වන විට තරගාවලියේ තරග 3ක් ක්‍රීඩා කර අවසන්. එම තරග තුනේ දී ම ඔවුන්ට පළමුවෙන් පන්දු යැවීමට සිදු වුනා. ඒ අනුව තරග තුනේ දී ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 188, 150 සහ 151ක්. නමුත් මෙම ඉලක්ක පසුකර යාමට ඔවුන් සමත්වුනේ නැහැ. 

Sunrises Hyderabad හි ප්‍රබල ක්‍රීඩකයෙකු වන නවසීලන්ත නායක Kane Williamson තවමත් ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමක නොසිටීම කණ්ඩායමේ මැදපෙළ අර්බුදයට ප්‍රධාන හේතුව බව බොහෝ දෙනා පවසනවා. 

ඊයේ පැවති තරගයේ දී ආරම්භක පිතිකරුවන් වූ David Warner සහ Jonny Bairstow පන්දුවාර 7ක් තුල ලකුණු 67ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුව ද, Bairstowගේ දැවී යාමෙන් අනතුරුව කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීමට සමත් වුනේ නැහැ. 

“මම දන්නේ නැහැ මොනවා කරන්න ද කියලා. මම සහ Bairstow ස්ථාවර වෙලා හිටියේ. මගේ දැවී යාමෙන් පස්සේ කිසිම කෙනෙක් නිවැරදිව සෙල්ලම් කරේ නැහැ. වැරදි පහරවල් නිසා ඔවුන් දැවී ගියා. මැදපෙළ ස්ථාවර ක්‍රීඩකයින් දෙදෙනෙක් නැතිව තරග ජයග්‍රහණය කරන්න බැහැ. මේ තරග තුනම හඹාගිහින් ජයග්‍රහණය කරන්න පුළුවන් තරග. අපේ දුර්වල පිතිකරණය නිසා පරාජය වුනා” Warner පවසා සිටියා.

Jonny Bairstow ගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ David Warner සහ Manish Panday හට ස්ථාවර වීමට Mumbai පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. Manish Panday ලකුණු දෙකකට දැවී ගියා. Sunrises Hyderabad ලකුණු පුවරුව ලකුණු 90ක්ව තිබිය දී David Warner දවා ගැනීමට Hardik Pandya සමත් වුනා. නවක ක්‍රීඩක Virat Singh, Abhishek Sharma සහ Abdul Samad ටද සාර්ථක වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

“එක් අන්තයක ස්ථාවර ක්‍රීඩකයෙක් ඉඳලා හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න පුළුවන් වුනා නම් අපිට තරගය ලේසියෙන් ජයග්‍රහණය කරන්න තිබුණා. අපි කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ. අපි ඒක කරන්නේ නැහැ. මම හිතන්නේ අපේ පන්දු යවන්නන් මේ තණතීරුව හොඳින් හඳුනා ගෙන ඉන්නේ. අපි කලින් ක්‍රීඩා කරපු තණතීරු වලට වඩා මේ තණතීරුව මන්දගාමීයි. අපි දැන් අපේ අඩුපාඩු ගැන හිතලා බලලා ඒවගෙන් ඉගෙන ගන්න ඕනේ. මේ වෙලාවේ පරාජයේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පිතිකරුවන්ට. අපි ඒ වගකීම බාරගන්න ඕනේ” Warner තවදුරටත් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“මගේ සැලැස්ම වෙලා තිබුණේ ඉක්මන් ලකුණු ලබා ගන්න. ඒත් Hardik Pandyaගේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක තිබුණේ. මේ තණතීරුවේ ලොකු පහරවලට යන එක අවදානම්. දුවද්දී දැවී යාම අවාසනාවන්ත සිදුවීමක්. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව එහෙම තමයි” Warner සිය දැවී යාම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියා.

තරගයේ අවසන් පන්දුවාර කීපය තුල Vijay Shankar වේගවත් ලකුණු 26ක් වාර්තා කළ ද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුනේ නැහැ. එක් අවස්ථාවක දී Sunrises Hyderabad කඩුලු 5ක් දැවී ලකුණු 120ක් වාර්තා කර තිබූ නමුත් ඔවුන් ලකුණු 137කට සීමා කිරීමට Mumbai Indians පන්දු යවන්නන් සමත් වුනා. 

තරගය පැවති චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට එතරම් හිතකර තණතීරුවක් නොවන බව දක්නට ලැබුණා. Mumbai Indians ආරම්භක පිතිකරුවන් වූ Rohit Sharma සහ Quinton De Kock පළමු කඩුල්ල සඳහා ලකුණු 55ක් එක් කළ ද, සෙසු පිතිකරුවන් එතරම් සාර්ථක වුනේ නැහැ. Kieron Pollard තරගයේ අවසන් පන්දුවාර කීපය තුල වාර්තා කළ වේගවත් ලකුණු 35 නිසා Mumbai Indians ලකුණු 150 සීමාව පසුකර යාමට සමත් වුනා. 

Sunrises Hyderabad හි ප්‍රබල ක්‍රීඩකයෙකු වන Kane Williamsonගේ ආබාධය පිළිබඳව David Warner සුබවාදී ප්‍රතිචාරයක් ලබා දී තිබුණා. 

“මම Williamson සහ වෛද්‍යවරුන් එක්ක සාකච්ඡා කළා. දැනට ඔහු සුවවෙමින් ඉන්නවා. ඔහුට ක්‍රීඩා කරන්න පුළුවන් වුන වහාම අපි ඔහුව කණ්ඩායමට එක්කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” 

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් Mumbai Indians ලකුණු සටහනේ පෙරමුණට පත්වුනා. Sunrises Hyderabad එහි අවසන් ස්ථානයට පත්ව ඇත්තේ කිසිදු ප්‍රසාද ලකුණක් නොමැතිවයි.

Sunrises Hyderabad සහභාගී වන මීළඟ තරගය එළඹෙන 21 වැනිදා Punjab Kings සමඟින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<