KKR නායකත්වයෙන් Karthik හදිසියේ ඉවත් වුනේ ඇයි?

IPL 2021

204
Dinesh Karthik reveals reasons

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර Kolkata Knight Riders කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට Dinesh Karthik තීරණය කළා. ඒ අනුව නායකත්වය හිමි වුනේ Eoin Morgan හටයි. Dinesh Karthik ගත් මෙම තීරණය පිළිබඳව ඔහු පසුගිය දා අදහස් දක්වා සිටියා.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Knight Riders තරග 7 ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තරග 4ක් ජයග්‍රහණය කර තරග 3ක් පරාජය වී සිටියා. ඉන් අනතුරුව Dinesh Karthik තමන් නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළා. 

තම කණ්ඩායම Chennai Super Kings සමඟින් පැවති තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟින් මේ පිළිබඳව සාකච්ඡා කළ බව Dinesh Karthik පවසා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ Morgan හට නායකයෙකු ලෙස ස්ථාවර වීමට අවස්ථාවක් ලබා දීමට අවශ්‍ය නිසා තමන් තරගාවලිය අතරතුර නායකත්වයෙන් ඉවත් වූ බවයි.

“මට ඕනේ වුනේ Morganට අවස්ථාවක් දෙන්න. ඒක ගොඩක් වැදගත් දෙයක් කියලා මට හිතුණා. අපි ඒ වෙද්දී තරග 7ක් ක්‍රීඩා කරලා හිටියේ. තවත් තරග 7ක් ඉතිරි වෙලා තිබුණා. ඉතින් මම හිතුවා ඒක තමයි හොඳම වෙලාව කියලා ඔහුට නායකත්වය දෙන්න. අපිට තරගාවලියේ ඉදිරියට යන්න අවස්ථාවක් නැත්නම් මම නායකත්වය තියාගෙන ඉඳලා වැඩක් නැහැ.” Kolkata Knight Riders නිල වෙබ් අඩවියේ වීඩියෝවක් පලකරමින් Karthik පවසා තිබුණා.

“මම අවුරුදු දෙක හමාරක් කණ්ඩායම මෙහෙයවුවා. මම හිතනවා මම කණ්ඩායමේ විශ්වාසය දිනා ගත්තා කියලා. ඒක නායකයෙක්ට ඉතාමත් වැදගත් දෙයක්. ඔවුන් දන්නවා මම අවංකව වැඩ කරනවා කියලා. මම දන්නවා Morgan මම වගේම නායකයෙක් කියලා. ඉතින් මම හිතුවා ඔහුට අවස්ථාවක් දෙන්න.” 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Knight Riders සහභාගී වූ පළමු තරගයේ දී Sunrises Hyderabad ලකුණු 10කින් පරාජය කිරීමට ඔවුන් සමත් වුනා. එහි දී Dinesh Karthik පන්දු 10ක දී වේගවත් ලකුණු 22ක් වාර්තා කරමින් Kolkata ලකුණු පුවරුව ලකුණු 187ක් දක්වා ඔසවා තැබුවා.

තවත් ක්‍රිකට් පුවත්: 

සිය දෙවැනි තරගයේ දී Kolkata Kinght Riders කණ්ඩායම Mumbai Indians හමුවේ අවාසනාවන්ත ලෙස පරාජයට පත්වුනා. එහි දී Dinesh Karthik වාර්තා කළේ ලකුණු 8ක් පමණයි. ඒ සඳහා ඔහුට පන්දු 11ක් වැය වී තිබුණා. Kolkata Kinght Ridersට අවසන් පන්දු 27 තුල ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 30ක් පමණක් වුවත් එය සාර්ථකව ආරක්ෂා කිරීමට Mumbai Indians සමත් වුනා.

සිය නායකත්වය පිළිබඳව Eoin Morgan ද අදහස් දක්වා සිටියා.

“මම ගොඩක් සතුටු වෙනවා නායකත්වයට පත්වීම ගැන. මම වසර ගණනාවක් කණ්ඩායම් රැසක් නායකත්වය දරලා තියනවා. ඒ නිසා මේ දේ මට එතරම් අලුත් දෙයක් නෙමෙයි.”

Kolkata Knight Riders පුහුණුකරුවන් වන Brendon McCullum සහ Abhishek Nayar පිළිබඳවද Morgan සිහිපත් කර සිටියා. 

“McCullum සහ Abhishek Nayar ඉතාමත් හොඳින් ඔවුන්ගේ කාර්‍යය ඉටු කරනවා. ඔවුන් මම සහ Dinesh Karthik එක්ක වගේම සෙසු ක්‍රීඩකයන් එක්කත් හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්නවා. ඒ නිසා කණ්ඩායම ඇතුළේ එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියනවා.” 

“Dinesh Karthik ගත් තීරණයට මම ගරු කරනවා. ඔහුගේ පැත්තෙන් ඒකට සාධාරණ හේතුවක් තිබුණා. ඔහු ඔහු ගැන හිතන්නේ නැතිව කණ්ඩායම ගැන හිතලා ඒ වගේ තීරණයක් ගැනීම ඇත්තෙන්ම විශිෂ්ට දෙයක් කියලා මම හිතනවා. තරගාවලිය මැද දී නායකත්වයෙන් ඉවත් වෙන්න හේතුව වුනෙත් ඒකයි.” 

Eoin Morgan මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Kinght Riders සහභාගී වූ තරග දෙකේ දී සාර්ථක වුනේ නැහැ. පළමු තරගයේ දී ඔහු ලකුණු 2කට දැවී ගිය අතර දෙවන තරගයේ දී ඔහු වාර්තා කළේ ලකුණු 7ක් පමණයි.

Kolkata Knight Riders මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය ලබාගෙන සිටිනවා. ඔවුන් සහභාගී වන තුන්වැනි තරගය හෙට (18) Royal Challengers Bangalore සමඟින් පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<