පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 17, 2021

පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු අද

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා මෙන්ම එඩින්බර්ග් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන අභාවප්‍රාප්ත පිල්ප් කුමරුන්ගේ අවසන් කටයුතු අද (17) සිදු කෙරේ. 

99 හැවිරිදි පිලිප් කුමරුන්ගේ අභාවය සිදුවූයේ පසුගිය 9 වැනිදාය. තම අවසන් කටයුතු චාම් ආකාරයට සිදු කරන්නැයි පිලිප් කුමරු සිය අන්තිම කැමැත්ත හරහා ඉල්ලීමක් කර ඇත. ඒ අනුව, දේහය වින්ඩ්සෝර් මාලිගයේ, ෆ්රොග්මෝ උද්‍යානයේ පිහිටි රාජකීය සුසාන භූමියේ භූමදානය කෙරේ. 

 රාජකීයයන් පිරිවරා ගනිමින් දේහය රැගෙන යෑමට යොදා ගැනෙන්නේ පිලිප් කුමරුන්ගේ ලෑන්ඩ්රෝවර් රථයයි. එය පිලිප් කුමරුන්ගේ අවසන් ඉල්ලීමක් බව ද පැවැසෙයි. 

අවසන් කටයුතු සිදුවන්නේ හමුදා ගෞරව මැදය. වික්ටෝරියා රැජිනත්, ඇගේ සැමියා ඇල්බට් කුමරාත් මිහිදන් කර ඇත්තේ මෙම ෆ්රොග්මෝ උද්‍යානයේ රාජකීය සුසාන භූමියේය. වොලිස් සිම්ප්සන් නිසා රජකම අත්හළ අටවැනි එඩ්වඩ්ගේ දේහය මිහිදන් කර ඇත්තේ ද මෙම සුසාන භූමියේ යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් අවමංගල උත්සවයට සහභාගී වන පිරිස 30 කට තීරණය කිරීමට දෙවැනි එලිසබත් මහ රැජින තීරණය කර තිබේ. 94 හැවිරිදි මහ රැජිනගේ ප්‍රධානත්වයෙන්, වින්ඩ්සර් මාලිගයේ පැවැත්වෙන අවමංගල කටයුතුවලට සහභාගී වන බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ගේ ලැයිස්තුව ඊයේ (16) ප්‍රසිද්ධියට පත් කෙරුණි. 

පිලිප් කුමරුන්ගේ සහ එලිසබත් මහ රැජිනගේ පුතු චාල්ස් කුමරු, චාල්ස් කුමරුන්ගේ වැඩිමල් පුතු විලියම් කුමරු, බාල පුතු හැරී කුමරු එම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටිති. සීයා වන පිලිප් කුමරුන්ට අවසන් ගෞරව දැක්වීමට හැරී කුමරු ලන්ඩන් නුවර බලා පැමිණියේ ඇමෙරිකාවේ සිටය. 

හැරී කුමරු ලන්ඩන් නුවරට පැමිණියේ බිරිඳ මෙගාන් මාකෙල් හෝ පුතු ආචී හෝ නොමැතිවය. දේහය රැගෙය යන අවමංගල පෙරහරට විලියම් කුමරු සහ හැරී කුමරු එක ළඟින් ගමන් කරනු නැතැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි. මෙගාන් මාකෙල් යළිත් වරක් මවු පදවිය අපේක්ෂාවෙන් සිටී. 

හැරී සහ මෙගාන් යුවළ රජ පවුල විවේචනය කරමින් ඔවුන්ට සිදුවුණු කෙණෙහිලිකම් ලොවට අනාවරණය කිරීමෙන් පසු, හැරී සහ විලියම් අතරේත්, රජ පවුලේ සෙසු සාමාජිකයන් අතරේත් ඇයිහොඳයිකම් පළුදු වී ඇත. 

එලිසබත් මහ රැජිනගේත්, පිලිප් කුමරුන්ගේ අනෙකුත් දරු දැරියන් වන ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු සහ එඩ්වර්ඩ් කුමරු ද අවමංගල්‍යයට සහභාගී වීමට නියමිතය. අවමංගල්‍යයට සහභාගී වන සෙසු අමුත්තන් අතරේ, පිල්ප් කුමරුන්ගේ මිතුරන් සහ ඥාතීන් ද සිටින බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අවමංගල කටයුතු බ්‍රිතාන්‍යයේ බී.බී.සී. නාළිකා හරහා සජීවීව විකාශය කෙරෙනු ඇත. අවමංගල කටයුතු ආරම්භ වනු ඇත්තේ බ්‍රිතාන්‍ය වේලාවෙන් උදේ 11 ටය.

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom