Wisden ගෞරව නාමාවලියට ශ්‍රී ලාංකිකයෙක්

191

ලෝක එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට 50 වසරක් සම්පූර්ණ වීම සැමරීම සඳහා Wisden සඟරාව එම එක් එක දශකවල ක්‍රීඩකයන් (Player of the Decade) නම් කළා. එහි දී 2000-2010 දශකයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබෙනවා.

Wisden සඟරාව ප්‍රකාශයට පතළෙ Leading Cricketer in the World ලැයිස්තුව සඳහා එංගලන්ත ප්‍රහාරාත්මක තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes දෙවැනි වරටත් ඇතුළත්ව තිබෙනවා. 

ලෝ ප්‍රකට Wisden සඟරාව පසුගිය දා 2021 වසරේ ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් (Leading Cricketer in the World) ප්‍රකාශයට පත්කළා. එහි දී වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම සහ ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනෙකු 2021 වසරේ ලොව ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස නම් කර තිබුණා. Ben Stokesට අමතරව Zak Crawley, Jason Holder, Mohammad Rizwan, Dominic Sibley සහ Darren Stevens සෙසු ක්‍රීඩකයන් ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

පසුගිය වසරේ දී නිකුත් කෙරුණු Wisden Cricketers’ Almanack සංස්කරණයේ දීත් Ben Stokes 2020 වසරේ ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් ලැයිස්තුවට නම් කර තිබුණා. 

නිමා වූ වසරේ දී Ben Stokes ටෙස්ට් ලකුණු 641ක් වාර්තා කර තිබුණා. ඒ ලකුණු 58.27ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. ඊට අමතරව ඔහු ටෙස්ට් කඩුලු 19ක් දවාගෙන තිබුණේ සාමාන්‍ය 18.73ක් ලෙස පවත්වා ගනිමින්.

2019 වසරේ පැවති ලෝක කුසලානය එංගලන්තයට හිමිකර දීමට Ben Stokes ප්‍රබල වගකීමක් ඉටු කළා. ඔහු පසුගිය වසරේ ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් ලැයිස්තුවට නම් කිරීමට හේතු වූයේ එයයි. ඊට අමතරව එම වසරේ පැවති අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දීත් කැපී පෙනෙන දස්කම් දැක්වීමට Ben Stokes සමත් වුනා.

Ben Stokes එම වසරේ දී ICC විසින් නම් කළ වසරේ ක්‍රීඩකයා බවට පත්වුනේ වසර 3ක් පුරා පැවති Virat Kohliගේ ආධිපත්‍යය බිඳ දමමින්. 2005 වසරේ දී එම සම්මානයට පාත්‍ර වූ Andrew Flintoffගෙන් පසුව වසරේ ක්‍රීඩකයා බවට පත්වූ පළමු එංගලන්ත ක්‍රීඩකයා වූයේ ඔහුයි.

Wisden Leading Cricketer in the World ලැයිස්තුව සඳහා Ben Stokes නම් කිරීමත් සමඟින් ඔහු තවත් වාර්තාවකට හිමිකම් කීමට සමත් වුනා. ඒ එම ලැයිස්තුවට එක් වතාවකට වඩා නම් කෙරුණු එකම එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වෙමින්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී Ben Stokesගේ පියා වූ Ged Stokes අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව Stokes මෙම ගෞරවයට පාත්‍රවීම විශේෂත්වයක්. ඒ පිළිබඳව Wisden කතෘ මණ්ඩලය ද විශේෂයෙන් සිහිපත් කර තිබුණා.

Wisden Leading Cricketer සම්මානය සඳහා නම් කර තිබූ Darren Stevens කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරන ක්‍රීඩකයෙකු වනවා. මේ වන විට 44 හැවිරිදි වන ඔහු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයායි.

නිමා වූ එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියේ දී Darren Stevens දැක්වූ දක්ෂතා නිසා ඔහුට මෙම ලැයිස්තුවේ ස්ථානයක් හිමිව තිබෙනවා. 

Stevensගේ කණ්ඩායම් සඟයෙකු වන Zak Crawley ද මෙම ලැයිස්තුවට එක්ව තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුල ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙන්. පාකිස්තානය සමඟින් පැවති ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගයේ දී Zak Crawley ලකුණු 267ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිම දෙවැනි වන්නේ Walter Hammond විසින් 1932 දී නවසීලන්තයට එරෙහිව වාර්තා කල ලකුණු 336ට පමණයි. පාකිස්තාන තරගාවලිය තුල දැක්වූ දක්ෂතා නිසා එංගලන්ත ආරම්භක පිතිකරුවෙකු වන Dominic Sibley ද මෙම ලැයිස්තුවට එක් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක Jason Holder මෙම ලැයිස්තුවට එක්ව සිටින්නේ Black Lives Matter ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔහු දැක්වූ දායකත්වය හේතුවෙන්. කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරගයකටම පෙර කළු පැහැති අත් ආවරණයක් පැලඳ ඔහු කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. එය 1968 පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී Tommie Smith සහ John Carlosගේ ක්‍රියාකලාපයට සමාන බව ක්‍රීඩා විචාරකයන් පවසා සිටියා.

Wisden Cricketers’ Almanack සඟරාව විසින් වසරේ කාන්තා ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Beth Mooney නම් කර තිබුණා. නිමා වූ කාන්තා බිග් බෑශ් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ඇයයි.

වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Kieron Pollard නම් කර තිබෙනවා. ඔහු පසුගිය වසර තුල ලොව පුරා පැවති විස්සයි විස්ස තරගාවලි තුල හයේ පහර 59ක් එල්ල කර තිබෙනවා. එහි දී සෑම පන්දු 5.5කටම වරක් හයේ පහරක් වාර්තා වීම විශේෂත්වයක්. 

ලෝක එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට වසර 50ක් සටහන් වීම නිමිත්තෙන් Wisden Almanack සඟරාව ගෙවී ගිය එක් එක් දශකය සඳහා වන ක්‍රීඩකයන් නම් කර තිබුණා. 

ලෝක එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දශකයේ ක්‍රීඩකයන්

  • Viv Richards (1970s)
  • Kapil Dev (1980s)
  • Sachin Tendulkar (1990s)
  • මුත්තයියා මුරලිදරන් (2000s) 
  • Virat Kohli (2010s).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<