පරිගණක චිප මොළයට සවි කළ වඳුරා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 14, 2021

පරිගණක චිප මොළයට සවි කළ වඳුරා

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම නව නිපැයුම්කරුවකු ද වන එලොන් මස්ක් ට අයත් ‘නියුරාලින්ක්’ සමාගමට ඇත්තේ එක් අරමුණකි. ඒ, අනාගතයේ දිනෙක සුපිරි පරිගණක පරයන සුපිරි මොළයක් සහිත මිනිසුන් නිර්මාණයයි. එසේ කිරීමට නම්, පරිගණක චිප මොළයට බද්ධ කළ යුතුය. 

පරිගණක චිප මොළයට බද්ධ කරමින්, මිනිසුන් බුද්ධිමතුන් කිරීමේ වෑයමට රටවල් කීපයක ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් උන්න්දුවක් දක්වන අතර, එලොන් මස්ක් සහ ‘නියුරාලින්ක්’ සමාගමට අවශ්‍ය වී ඇත්තේ ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා, මිලෙන් අඩු පරිගණක චිප මේ සඳහා නිර්මාණය සඳහාය. ප්‍රමාණයෙන් කුඩා වන තරමට එම චිප මොළයට බද්ධ කිරීමට සිදු කළ යුතු සැත්කම් සංකීර්ණ බවෙන් ද අඩුවෙයි. 

2016 දී පිහිටුවන ලද ‘නියුරාලින්ක්’ සමාගමට ඉලක්කයක් ඇත. ඒ, තව වසර 25 කින් අප භාවිතයට ගන්නා ස්මාට් ෆෝන් ඇතුළු සියලු සන්නිවේදන උපාංග මොළයෙන් එසේත් නැතිනම් අපේ සිතුවිල් ආධාරයෙන් ක්‍රියාත්මක කිරීම පරිගණක චිප නිර්මාණය කිරීමය. 

එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්, මීයන් සහ ඌරන් යෙදා ගනිමින්, උන්ගේ මොළයට චිප බද්ධ කර සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ‘නියුරාලින්ක්’ විද්‍යාඥයෝ පසුගිය කාලයේ සමත් වූහ. 

දැන් ඔවුන් වඳුරකුගේ මොළයට චිප බද්ධ කර, ඒ වඳුරාගේ මොළය වැඩි දියුණු කිරීමට සමත් වී ඇත. සත්ව විද්‍යාඥයන් විරෝධය පෑවත්, මෙය විද්‍යාව අතින් විශාල ජයග්‍රහණයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඒ සම්බන්ධයෙන් ‘නියුරාලින්ක්’ සමාගම වීඩියෝවක් ද ප්‍රසිද්ධියට පත් කර තිබේ. 

වීඩියෝවේ සිටින නව හැවිරිදි වඳුරාගේ නම ‘පේජර්’ ය. පේජර්, මැකාක වර්ගයේ වඳුරෙකි. මීට සති හයකයට පමණ පෙර, මෙම වඳුරාගේ මොළයේ සැත්කමක් සිදුව කෙරුණි. 

'බ්‍රේන් මැෂීන් ඉන්ටර්ෆේස්' එසේත් නැතිනම් 'බී.එම්.අයි.' නමැති පරිගණක චිප දෙකක් වඳුරාගේ මොළයේ දෙපැත්තට බද්ධ කෙරුණි. 

වීඩියෝවට අනුව දැන් වඳුරා සරල වීඩියෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කරයි. එය පරිගණක පිංපොං ක්‍රීඩාවකි. වඳුරා ක්‍රීඩා කරන්නේ ජෝයිස්ටික් භාවිතයෙනි. 

නිවැරදිව ක්‍රීඩා කරද්දී ඌට කෙසෙල් ගෙඩි පොඩි කර සකසන ලස රසවත් බීමක් බටයකින් බීමට ලැබෙයි. එම බීම වෙනුවෙන් වඳුරා පිංපොං ක්‍රීඩාවේ දිගටම යෙදෙයි. 

වඳුරාගේ මොළයට බද්ධ කළ පරිගණක චිප ආධාරයෙන් විද්‍යාඥයන්ට වඳුරාගේ මොළයට සම්බන්ධ විය හැකිය. එය හරියට ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය බ්ලූටූත් ස්පීකරයකට සම්බන්ධ කරනවා වැනිය. 

ඉලෙක්ට්‍රෝඩ 2,000 ක් හරහා විද්‍යාඥයන් ඔවුන්ගේ අයිෆෝන් භාවිත කරමින්, වඳුරාගේ මොළයේ චලන පාලන කොටස හා සම්බන්ධ වී පණිවුඩ යැවීමත් පණිවුඩ ලබා ගැනීමත් සිදු කරයි. 

බද්ධ කළ චිප මගින් ලබා ගන්නා මොළයේ තරංග පරිගණක හරහා කියවා ගැනීම කළ හැකිය. 

ඒ අනුව, වඳුරා අත ක්‍රියාකාරීවන ආකාරය, අත ක්‍රියාකාරී වෙන්නටත් කලින් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. වීඩියෝව ආරම්භ වෙද්දී වඳුරා, ජෝයි ස්ටික් ආධාරයෙන් ක්‍රීඩා කරයි. 

ඉන්පසු වඳුරා ජෝයිස්ටික් භාවිතයට ගන්නා නමුත්, එය පරිගණකයෙන් අක්‍රිය කර තිබේ. වඳුරා ඌට පුරුදු විදියට ජෝයිස්ටික් හසුරුවයි. 

නමුත් සැබෑවට සිදුවන්නේ, වඳුරාගේ මොළයට බද්ධ කළ පරිගණක චිප හරහා පරිගණකයට යැවෙන සංඥා මාර්ගයෙන් ඌ ක්‍රීඩා කිරීමය. මෙය සැබැවින්ම, විස්මිතය. 

ඔබ මාවල් චිත්‍රකතා සහ මාවල් සිනමා ලෝලියකු නම් එලොන් මස්ක් ගැන මෙසේ හැඳින්වීමක් කළ හැකිය. එලොන් මස්ක් සැබෑ ටෝනී ස්ටාක් කෙනෙකි. ටෝනි ස්ටාක් මෙන්ම එලොන් මස්ක් නව නිපැයුම්කරුවකු මෙන්ම නව තාක්ෂණය උපරිමයෙන් භාවිතයට ගනී. 
=
මාවල් වීරයා ටෝනී ස්ටාක් (වමේ) සැබෑ ලොවේ නව නිපැයුම්කරු 
සහ කෝටිපති ව්‍යාපාරික මස්ක් (දකුණේ)

එලොන් මස්ක් උපන්නේ 1971 වසරේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවරදීය. 

අවුරුදු 12 දී මස්ක්, පරිගණක ගැන තනිවම ඉගෙන ගනිමින්, තනිවම පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කළේය. එම පරිගණක ක්‍රීඩාවට අදාල කේත, පරිගණක සඟරාවකට විකුණුවේය. ඒ ඇමෙරිකන් ඩොලර් 500 ක මුදලකටය. 

අවුරුදු 17 දී, එලොන් මස්ක් කැනඩාවට ගියේ උසස් අධ්‍යාපනය ලැබීමටය. ඒ, ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාර අධ්‍යයන සහ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ද උපාධි හිමි කර ගැනීමට පෙරය. 

අවුරුදු 24 දී මස්ක්, කැලිෆෝනියාවේ පදිංචියට ගියේ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් සැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමටය. කෙසේ නමුත්, මක්ස් ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි උනන්දුවක් දක්වන්න විය. ඔහු ඒවාට යොමු විය. 

අද 49 හැවිරිදි මස්ක්, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධානියාය. එම සමාගම පිහිටුවූයේ ද මස්ක් ය. ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, ගගනගාමීන් අභ්‍යවකාශවය රැගනෙ යෑමට ‘ස්පේස් එක්ස්’ සමාගම මේ වනවිට කටයුතු කරයි. 

අභ්‍යවකාශ ගමන් බිමන්, වාණිජකරණය කිරීමේ පුරෝගාමියා ලෙස ද මස්ක් සැලකෙයි. 

පරිසර හිතකාමී, විදුලි බලයෙන් දුවන වාහන නිර්මාණය කරන ‘ටෙල්සා’ සමාගමේ ප්‍රධානියා වන්නේත් එලොන් මස්ක් ය.

‘සෝලර් සිටී’,‘ඕපන් ඒ.අයි.’, ‘සිප්2’ සහ ‘පේපෑල්’ සමඟ සම්බන්ධ ‘එක්ස්ඩොට්කොම්’ ආදී සමාගම්වල සම ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද මස්ක් ය. 

මස්ක්, ‘නියුරාලින්ක්’ සමාගම හරහා කරන්නේ, නව තාක්ෂණය මිනිසාට තවත් ළං කරමින්, කෘත්‍රිම බුද්ධිය අභිබවා යෑමට, මිනිස් මොළයට පරිගණක චිප බද්ධ කිරීමය. 

දිනෙක පෘථිවියේ මිනිස් වර්ගයාගේ අවසානය සිදුවුවහොත්, මිනිසුන් අඟහරු ලොවට ගෙන ගොස් එහි ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් පවා මස්ක් උනන්දුවක් දක්වයි. 

ඊට අමතරව, ලොව විශාලතම ‘ලිතියම් අයන්’ බැටරිය නිපදවීම කෙරෙහි ද මේ වනවිට මස්ක්ගේ අවදානය යොමු වී අවසන්ය.

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom