කාටවත් හානියක් නැති අහිංසක ගොං වැඩ!

මීට මාස කිහිපයකට විතර කලින් සයිබරයේ ශෙයාර් වෙලා තිබුනා ඡායාරූප එකතුවක්. ඒ ඡායාරූප එකතුවේ තිබුන දේ මතක විදියට කෙටියෙන් ලියනවා නම් මෙහෙමයි.

සාමාන්‍යය විදියට පොල් තෙල් ලබා ගන්න ක්‍රමය වෙනුවට, මීට කලින් පොල් කඩල නැති (නොඉඳුල්) ගහක් හොයලා ඒකෙන් පොල් කඩාගෙන, පොල් උලකින් පොල් ලෙලි ගහනව වෙනුවට ලී උලකින් අර පොල් තොගය ලෙලි ගහල, හිරමනයකින් පොල් ගානව වෙනුවට ලීයකින් අර පොල් ගාලා (ඔය දේවල් කරන අතරේ මූණේ මාස්ක් දාගෙන, කොණ්ඩෙ නොයන්න තව මොකක්ද එකක් ඔලුවට දාගෙන) ඔය විදියට තව ක්‍රම ටිකක් හරහා පොල් තෙල් අරගෙන පරංගියා කෝට්ටේ ගියා වගේ බුදුන්ට පහන් පූජා කරන පහනට පොල් තෙල් දාන සිදුවීමක්.

පමණ ඉක්මවා ගිය දැඩි ඇදහිල්ලක් වගේ දෙයක් නිසා සිද්ධ වෙන මේ විදියේ අමුතු වැඩ වලට බෞද්ධයන් පවා තරමක විරුද්ධත්වයක් දක්වන්න ඉඩ තියෙනවා (බුදුන් දේශනා කල ධර්මය මෙය නොවේ etc). ඒ වගේම නිරාගමික, ප්‍රගතශීලී මතධාරීන්ගේ කඳවුරේ සමහරු සුපුරුදු පරිදි මේ වැඩේට විහිලුවක් කරල “කාටවත් කරදරයක් නැති අහිංසක වැඩ” වගේ තැනකින් මේ වගේ දේවල් බැහැර කරන්නත් පුළුවන්.

නමුත් ඔතන අමතක නොකල යුතු කාරණා දෙකක් තියෙනව.

පළමු පිරිස ගත්තොත් (බෞද්ධයන්) ඒ අය මේ වගේ අමුතු දේවල් දැකල “හනේ හපොයි” කියන්නේ ඒවා තුළ බුදුන් වදාළ ධර්මය එක්ක තියෙන පරස්පර විරෝධී බවක් නිසා නෙමෙයි. ඒ අය සිදු කරන සාමාන්‍යය බෞද්ධ වත් පිළිවෙත් වලට මේ දේ අඩංගු නොවන නිසයි. බුදුන් වදාළ ධර්මය එක්ක සසඳද්දි අර්ථ ශුන්‍යය මෝඩ වැඩ විදියට අහෝ! කියලා බැහැර කරනවා නම් සාමාන්‍යය බෞද්ධ වත් පිළිවෙත් වලින් අතිශය බහුතරයක් දේවලුත් ඒ එක්කම මෝඩ වැඩ කුලකයට දාලා බැහැර කරන්න වෙනව.

ඔය වගේ දේවල් දකින බෞද්ධයන් ඒවා අනුමත නොකිරීම තුළ තියෙන්නෙ බුදුන් වදාළ ධර්මය ගැන කතාවක් වත්, අවිද්‍යාව ගැන කතාවක් වත්, තර්කානුකූල බව හෝ මෝඩ බව ගැන කතාවක්වත් නෙමෙයි, සාමාන්‍යය ප්‍රවාහයේ සම්මුතියක් විදියට යමක් පිළිගැනෙනවද නැද්ද කියන එක ගැන කතාවක්.

ඊළඟට, මම දුන්න උදාහරණය හෝ ඔය ආකාරයේ පැහැදිලිවම පෙනන නිෂ්ඵල වැඩ දිහා බලලා ‘කාටවත් කරදරයක් නැති අහිංසක වැඩ..’ වගේ ආකල්පයක් දරන නිරාගමික, ප්‍රගතශීලී මත දරන්නන් සෑහෙන වැදගත් කරුණක් මඟ හරවා ගන්නව කියන එකයි මගේ අදහස. අර “ඔබේ කුඩේ මගේ නහය ගාවින් කරකවන්න වද්දන්නැති නම් කමක් නෑ” වගේ අදහසකුත් තියෙන්නෙ, ඒකත් මේ කියන්න යන දෙයට අදාලයි.

ඔය වගේ ‘කාටවත් හානියක් නැති අහිංසක මෝඩ වැඩ’ දිහා ඒ මොහොතේ ඒ ක්‍රියාවෙන් හටගන්න පුළුවන් ප්‍රතිපල මොනවද කියල කල්පනා කරල බැලුවම, ඇත්ත, ඒවායින් බැලූ බැල්මට කාටවත් කරදරයක් හානියක් නැහැ තමයි.

නමුත් මිනිස් සමූහයක එකතුවක් වුන සමාජයක ජීවත් වෙද්දි, ඒ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන් ඔවුන්ගේ ආකල්ප සහ චින්තන රටාවන් මත පදනම් වෙන යථාර්තයක් තුළ ඒ මොහොතේ හටගන්න ප්‍රතිපල දිහා පමණක් බලලා ඔය වැනි ක්‍රියාවල අහිංසක බව/හානි කර බව නිගමනය කරන්න යාම නුවණට හුරු නැහැ. (මේ කතා කරන්නේ consequentialist අර්ථයෙන්ම තමයි).

ඔය වැනි ක්‍රියා වලට ලැබිය යුතු දැඩි බුද්ධිමය විවේචනය වෙනුවට ඒවා ඉදිරියේ ‘ඒගොල්ලන්ගෙ අයිතියනෙ’ කියල නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් යමෙක්, ඒ වගේ අය තේරුම් ගත යුතු ඉතාමත්ම වැදගත් කාරණය මේකයි.

බුදු පිළිමෙ ඉදිරියේ ලීයකින් පොල් ගාලා පහනක් පූජා කරන එක හොඳ අදහසක් කියල හිතන මොළය ඇතුලෙ ඡන්දෙ දවසෙ උදේට එකපාරටම ඔන් කරගන්න විචාරශීලී බවේ ස්විච් එකක් නැහැ.

වාහනයක් ගත්තම ඒක ඉස්සරහ දෙහි මිරිස් එල්ලන, කේන්දරේ නොගැලපෙන නිසා පුතාගේ ප්‍රේම සම්බන්ධය කඩන්න හදන, නැකැත් රාළ කිව්ව නිසා දරුවාට දාන්න මහප්‍රාණ ‘භ’ යන්නෙන්ම නමක් හොයන මනස ඇයි අනෙක්, අපි වැදගත් කියල හිතන සමාජීය/දේශපාලනික කාරණා ඉස්සර එකපාරම තර්කානුකූල වෙන්න ඕන? විචාරශීලී තීරණ ගන්න ඕනෙ?

තාර්කික චින්තනය කියන්නේ ක්‍රමයෙන් පුහුණු කල යුතු ‘ක්‍රියාවලියක්’. තාර්කික චින්තනයේදී වැදගත් වෙන්නේ කෙනෙක් දරන මතවාදය මොකක්ද කියන එක නෙමෙයි, කෙනෙක් යම් මතවාදයකට එළඹෙන්නේ ඇයි, එළඹෙන්නේ කොහොමද, කෙනෙක් දරන මතවාදය ඔහු/ඇය සාධාරණීයකරනය කරන්නේ කොහොමද වගේ කාරණායි.

කරන්නන් වාලේ ඔහේ දේවල් කරන මිනිසුන්ගේ මෝඩ වැඩ වලට, ඒවාට හිමි විය යුතු විවේචනය එල්ල නොකිරීමෙන් වෙන්නේ ඉහත කී ලක්ෂණ වලට බර චින්තනයක් වෙනුවට හැඟීම්බර, අතාර්කික, ලෙහෙසියෙන් පෙළඹවීම් වලට ලක් කල හැකි මෝඩ චින්තනයක් නඩත්තු කිරීමක්. මිනිස් සමූහයක් විදියට එය ඉතාම හානිකරයි.

අහිංසක මෝඩ වැඩ කියන ඒවා ඒ අයගේ ‘නිදහස’ කියල හඳුනාගෙන “මුකුත් කියන්නෙපා”, “මේක වෙනම අන්තවාදයක්නෙ” වගේ කතා කියන අය තේරුම් ගන්න, යමක් නිර්දය ලෙස විවේචනය කල පළියට ඒ අයට ඒ ‘ගොං වැඩේ’ කරන්න තියෙන ‘නිදහස’ නැතුව යන්නේ නැති බව.

ඔව්, මේ එන්නේ “පැණිය” ගැන කතාවට තමයි.

මේ වගේ තරඟෙට ‘අහිංසක ගොන් වැඩ’ කරන, භක්තිය (චූන් එක) වැඩි වුනාම අහස උසට තියෙන ඕන ගල් කන්දක් නැගලා ඒක උඩ තියෙන ඌරු බෙට්ටක් ඉස්සරහ “අනේ අම්මියෝ අපේ බෙටි වහන්සේ” කියාගෙන වැඳ වැටෙන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු සෙට් එකක්..

ඇයි තමන්ට හැම තොරතුරක්ම ලබා දෙන ටීවී එකේ ඉන්න ටයි කෝට් දාගත්ත උන්දැලා හඳුන්වාදෙන දේශීය වෙදමහතෙක්ගේ දේශීය බෙහෙතක් ගැන විශ්වාසය නොතබන්න ඕනෙ? ඇයි එතනදි විතරක් ඒ අය වෙනද දේවල් පිළිගන්න ක්‍රමය පැත්තකින් තියල එකපාරම තාර්කිකව හිතන්න ඕන?

පොඩි කාලෙ ඉඳල ටීවී එකෙනුයි, පත්තර වලිනුයි, නාට්‍යය වලිනුයි, සින්දු වලිනුයි, අපව ගලවගන්න පොරකන පාලකයොයි, ඒ පාලකයො වැඳවැටෙන උතුම් හාමුදුරුවරුයි, මේ හැම තැනින්ම කිව්වේ අපේ උරුමය විස්මිතයි, අපේ නිදන්ගත තාක්ෂණික ක්‍රම මාරයි, අපේ පුස්කොල පොත් වලින් බලලයි ඇමරිකාවේ ව්‍යවස්ථාව පවා ලිව්වේ, අපේ වැඩ කිඩ ඉස්සරහා සුද්දො පරාදයි කියල නෙමේද.

මේ “පැණිය” ඇතුළෙ තියෙන්නෙ කොරෝනා වලට බෙහෙත විතරක් නෙමෙයි. මේ පැණිය ඇතුළේ තියෙන්නේ පිටින් ආපු කුමන්ත්‍රණ නිසා වැළලිලා තිබ්බ අපේ උරුමය, අපේ මාර එක, අපේ ප්‍රෞඩත්වය, අරක මේක අපේ අහවල් ඔක්කොම.

මේ “පැණිය” දැන් ජාතියට, අපේ කමට තියෙන පක්ෂපාතීත්වයේ සංකේතයක්! පැණිය පිළිගැනීම හෝ නොගැනීම උඹ අපේ එකෙක්ද පර ගැතියෙක්ද කියල තීරණය කරන ගැතිබවේ (loyalty) ප්‍රකාශනයක් වෙලා තියෙන්නෙ.

ගෝත්‍රිකත්වයේ (tribalism) මූලිකම ලක්ෂණයක් තමයි තමන්ගේ රැහේ දේවල් කියල හඳුනාගන්න දේවල් වලට නොවෙනස්/පදනම් විරහිත පක්ෂපාතීත්වයකුත් තමන්ගේ රැහෙන් පිට දේවල් වලට පදනම් විරහිත විරුද්ධවාදී බවකුත් පෙන්වීම. මේක තමුන්ගෙ උන් පිස්සු නටද්දිත්, පිටින් යම් සාධනීය දේවල් එද්දිත්, ඒත් නොවෙනස්. (It causes in-group loyalty and out-group hostility, even when members of one’s own group are behaving like maniacs)

පැණිය ගන්න පෝළිමේ යාම සමාජයක් විදියට අපි නඩත්තු කරන අනුවණ කමේත් අපේ චින්තනයේ තියෙන ගෝත්‍රික බවේත් ප්‍රතිපලයක්. අපි අදත් නෙලන්නේ හැමදාම වගේ අපි වපුරන ඒවම තමා.

මේ වගේ අවධානම් වෙලාවක දිලිත් ජයවීරගේ කීම අහලා දහස් ගණනින් පෝළිම් හැදීගෙන “පැණි” ඉල්ලමින් පොරකාපු එක නෙමෙයි පුදුමෙ;

මේ සමාජයේ ජීවත් වෙන තරමක් බුද්ධිමත් පිරිස් පවා තමන්ගේ සමාජයේ ‘මෝඩ වැඩ’ දිහා ‘අනේ සුවීට්’ කියල උපේක්ෂාවෙන් බලන, ඒ වගේම දැඩි ගෝත්‍රිකවාදී අනුවණ චින්තනයක් තියෙන ලෙහෙසියෙන් පෙළඹවීමට ලක් කල හැකි (gullible) සෙට් එකක් මේ විදියට පිස්සු නැටුවෙ නැත්නම් තමයි පුදුමෙ!

ප්‍රතිචාර සඳහා: