Main Logo

Sunday 4 April 2021

මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ හිමි තැන

 

මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ හිමි තැන

 

එළාර පැරද වු ගැමුණු රජු ඉන් පසු භාරතයේ යම් දේශයකින් පැමිණි එළාරගේ ඥාතියා සමග යුද්ධ නොකර සාම සාකච්ඡා ආරම්භ කෙළේ නම් කුමක් සිදු වීමට තිබුණේ ද? සාම සාකච්ඡාවලින් පසු ඥාතියාට අනුරාධපුරය ආපසු ලබා දුන්නේ නම් ගැමුණු රජුගේ නම ඉතිහාසයේ ලියැවෙන්නේ කෙසේ ද?

 

හොඳට හරි නරකට හරි වැරදීමකින් හරි නිවැරදි ව හරි මහින්ද රාජපක්‍ෂගේ නම දැනට ඉතිහාසයේ ලියැවී ඇත්තේ හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු මෙරට එක්සේසත් කළ තැනැත්තා ලෙසයි. පඬි නැට්ටකු කියන්න පුළුවන් හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු රට එක්සේසත් කෙළේ තුන්වැනි ජෝර්ජ් කියල. පඬි නැට්ටන්ට යටත්විජිතවාදයත් සුවාදීනයක් බව අප දන්නවා. දීනයන්ට තුන්වැනි ජෝර්ජ් අප යටත් කිරීමත් සිංහලයන් ඌව වෙල්ලස්සේ දී සමූලඝාතනය කිරීමත් කෙත්වතු ගිනි තැබීමත් රට එක්සේසත් කිරීමක් ලෙස පෙනේවි. මොවුන් මොන යටත්විජිත විරෝධයක් ගැන කතා කළත් ඔවුන්ට අවසාන වශයෙන් ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක්.

 

ඔවුන් බටහිරයන්ගේ කළු කුහර විශ්වාස කරන්නන්. ඇහුවොත් කියාවි ඔවුන් ඒ ගැන දන්නේ මළ ඉලවු තර්කයකින් කියල. තර්කය වෙනත් දේ මත පදනම් කර ගනිමින් මිනිසුන් ම සංස්කරණය (නිර්මාණය) කරගත් දෙයක් බව මොවුන්ට මේ භවයේ දී නම් තේරෙන එකක් නැහැ. ඒ වගේ ම තමයි කළු කුහරවලට පදනම් වෙලා තියෙන ගණිතය හා භෞතික විද්‍යාව දැන ගැනීමටත් ඔවුන්ට බැහැ. ඔවුන් පිළිගත්තෙ නැති වුණාට ඔවුන්ට  බටහිර දැනුම ගැන ඇත්තෙ විශ්වාසයක් පමණයි. ඔවුන්ට බටහිර අධ්‍යාපනය නිසා උගත් පාසල් නිසා උපන් පවුල නිසා සහ තවත් හේතු නිසා ඇති වුණු හීනමානයක් තියෙනවා.

 

ඒ කරුණ දැනට පැත්තකින් තියමු. මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ තම නම දැනට ලියැවෙමින් තිබෙන ආකාරය වෙනස් කර ගැනීමේ වුවමනාවක් තියෙනවා ද? ඉතිහාසය ලියන්නේ ජයග්‍රහකයන් කියා කතාවක් තියෙනවා. මෙරට ඉතිහාසය ලියන්නේ පඬි නැට්ටන් කොතරම් වලි කෑවත් සිංහලයන් විසින්. ඔවුන් තමයි ජයගන්නේ. ඔවුන් තමයි ඉතිහාසයේ උරුම කරුවන්. දෙමළ මුස්ලිම් ජන කොටස්වල නායකයන් මෙන් ම පඬි නැට්ටන් ද පෙනී සිටින්නේ මෙරට ඓතිහාසික උරුමයක් වෙනුවෙන් නො වෙයි, එයට විරුද්ධ ව ඔවුන් බටහිරයන් අනුව යමින් තමන් නව යටත්විජිතවාදය ලෙස හඳුන්වන බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්ථාපනය වෙනුවෙන් කටයුතු කරනවා.

 

මහින්ද රාජපක්‍ෂට ඉන්දියාවේ බලපෑමක් තියෙනවා පළාත් සභා ක්‍රියාත්මක කරන්න කියා පමණක් නොව 13+ දෙන්නත් කියා. ඔහු එය පොරොන්දු වන්නත් ඇති. එහෙත් ඔහු ජයග්‍රහාකයා කරනු ලැබුයේ ඉන්දියාව විසින් නො වෙයි. 2005 දීත් 2010දීත් 2015දීත් ඉන්දියාව ආධාර කෙළේ කාට ද? ඉන්දියාව මොන බයිලා කිවුවත් ඉන්දීය මහා කොමසාරිස් පන්සල් ගියත් ඉන්දියාව විශේෂයෙන් සිංහල බෞද්ධයනටත් පොදුවේ බෞද්ධයනටත් විරුද්ධයි. මෝදි  හින්දි ජාතිකවාදියෙක්.

 

ඉන්දියාව 2008 දී පමණ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට බොරු කියන්න ඇති. ඉන්දියාවටත් අවශ්‍ය ව තිබුණේ කොටි සංවිධානය පරාජය කිරීමට. ඒ රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු. එහෙත් ඉන්දියාවට එදත් අදත් දෙමළ ජාතිවාදය අවශ්‍යයි. ඒ සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව යෙදවීමට. එංගලන්තයටත් එය ඒ නිසා ම අවශ්‍යයි. ඉන්දියාව රාජපක්‍ෂ ආණ්ඩුවට කියන්න ඇති කොටින්ට විරුද්ධ හමුදා මෙහෙයුම්වල දී මැදිහත් නොවන්නන් කියා. එහෙත් ඒ වෙනුවෙන් 13+ දෙන්න කියා. අප 13+ දුන්නත් නැතත් ඒ වෙලාවෙ ඉන්දියාව කොටි වෙනුවෙන් හමුදා එවන්නෙ නැහැ. ඒ ඔවුන්ටත් රජිව් ඝාතනය නිසා කොටි පැරදවීමට තිබූ වුවමනාව නිසා. අනෙක් අතට ඉන්දියාවට ඒ අවස්ථාවෙ ලංකාවට විරුද්ධ ව හමුදා එවීමට හේතුවක් දීමටත් බැහැ. ඉන්දියාව හිටියේ අසීරු තත්වයක, එහෙත් ඔවුන්ගේ කෞටිල්‍යයන් අප මුළා කරල ඔවුන් හමුදා නොඑවීමටත් එයට හිලවු වන්න 13+ දෙන්නත්  එකඟතාවකට පැමිණියා.

 

ඔවුන් දැන් කියන්නේ ඒ එකඟතාව අනුව වැඩ කරන්න කියලා. අර උගත් පාඩම් කොමිසම ඇටෙවුවත් ඒකට. අපට එය පරාජය කිරීමට හැකි වුණා. අද නැවතත් 13+ ඇවිත්. ඔය පළාත් සභා මැතිවරණ තියන්න පොදු ජන පෙරමුණේ ම ඇතැමුන් වළිකන්නේ එබැවින්. මා අහගෙන ජී එල් පීරිස් කියනවා පළාත් සභා අපේ ව්‍යවස්ථාවෙ තියෙනව කියල. ඒ නිසා එය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ජී එල් පීරිස් ගැන අප දන්නෙ අද ඊයේ නොවෙයි. ඔහුගේ මවගේ පාර්ශ්වය සැදෑහැවත් බෞද්ධයන් වුණත් පිය පාර්ශ්වය ගැන එහෙම කියන්න බැහැ. ජී එල් පීරිස් මංගලලා චන්ද්‍රිකාල සමගින් සුදු නෙළුම් අරගෙන බලය බෙදීම වෙනුවෙන් අවලම් තවලම් ගිය අයෙක්. ඔහු පැකේජය වෙනුවෙන් බොහොම මහන්සිවෙලා වැඩ කරපු අයෙක්.

 

ඔහුට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙදි මගෙන් ඇහුව ජාතික චින්තනය උගන්වන්නෙ මොකද කියල. එහෙම අහල සතියකින් ඔහු  විශ්වවිද්‍යාලයේ මගේ වැඩ තහනම් කළා. ජී එල් මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ කොහොම හරි පළාත් සභා ක්‍රියාත්මක කරවන්න ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.  ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී දැන් අවුරුදු තිහකට වැඩියි. දෙමළ ජාතිවාදය දැන් විසඳලා ඉවරයි. ඒ නනදිකඩාල් කලපුවේ. 

 

ඒ විසඳූ පුද්ගලයා ලෙස ඉතිහාසයෙ සටහන් වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ. යම් කිසි අයුරකින් ඉන්දියාවෙ හා ජී එල් පීරිස් වැන්නන්ගේ අවශ්‍යතාවට පළාත් සභා නැවත ක්‍රියාත්මක කළොත් ඉතිහාසය මහින්ද රාජපක්‍ෂගෙ නම සටහන් කරනු ඇත්තේ කෙසේ දැයි මට හිතා ගන්න පුළුවන්.

 

අද රණවිරුවන් ජෙනීවාහි දී පාවා දීමට සියලු සිංහල බෞද්ධ විරෝධීන් කටයුතු කරනවා. අවාසනාවකට කතෝලික හා වෙනත් ක්‍රිස්තියානි සභාත් දෙමළ ජාතිවාදයට පක්‍ෂ ව කටයුතු කළෙ. පසුගිය දා අභාවප්‍රාප්ත වුණු රායප්පු ජෝසෆ් කතෝලික බිෂොප්තුමා එයට     හොඳ ම උදාහරණයක්. අද මුස්ලිම් අන්තවාදයට එල්ල කරන ප්‍රහාරය එදා කතෝලික සභාව දෙමළ ජාතිවාදයට විරුද්ධ ව  එල්ල කළෙ නැහැ. පළාත් සභා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් එය ජී එල්ලාගේ පැකේජය හරහා ම කරන්න තිබුණා. එහෙම කළෙ නැත්තෙ සිංහල බෞද්ධයන් අති විශාල බහුතරයක් පළාත් සභාවලට විරුද්ධ නිසා. පොදු ජන එක්සත් පෙරමුණ කියන්නෙ අලුත් පක්‍ෂයක් නො වෙයි. එය ශ්‍රී ල නි පක්‍ෂයේ ම විකාශයක් පමණයි. එදා බණ්ඩාරනායක මැතිණිය ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙන විට ජී එල් හිටියෙ ජේ ආර් එක්ක. පළාත් සභා දෙන්න ඕන නම් එදා ම දෙනව රණවිරුවන් ජීවිත පූජා කරන්නෙ නැතිව. රණවිරුවන් ජීවිත පූජා කරල කොටි පැරැද්දුවට පස්සෙ පළාත් සභා දෙන්න යනව නම් ඒක තවත් ආනන්තරීය පාපකර්මයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ කරන්න යන්නෙ ජෙනීවාහි මදිවට කොළඹ දී ම රණවිරුවන් පාවා දීමට. ජී එල් මේ සූදානම් වන්නේ මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයෙ ද්‍රෝහියකු කරන්න ද? ජී එල් චන්ද්‍රිකා වැන්නවුන් බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ජාතිකවාදී කඳවුරට එවනු ලැබූ අය. සිංහල බෞද්ධයන් චන්ද්‍රිකා හඳුන ගත්තත් තවමත් ජී එල් හඳුනගෙන නැහැ.