දේශීය ක්‍රිකට් වෙනස් කරන්න Tom Moodyගෙන් සැලැස්මක්

1323

ශ්‍රී ලංකාව තුල පවතින දේශීය ක්‍රිකට් ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම තම ප්‍රධාන අරමුණ බව නව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක Tom Moody මහතා පවසා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන Tom Moody මහතා මෙරට ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළා. 

ඒ අනුව මෙරටට පැමිණි Tom Moody මහතා සහභාගී වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වා සිටියා. මීළඟ මාස කීපය තුල මෙම නව ව්‍යුහය එළිදැක්වීමට තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසුවා. මීට සති 3කට පෙර මෙරටට පැමිණි ඒ මහතා පසුගිය කාලය තුල දේශීය ක්‍රිකට් ව්‍යුහය පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කර තිබෙනවා.

අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් Tom Moody මෙරට ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්කිරීමට තීරණය කළේ මාර්තු මස මුල් භාගයේ දී ය. ඒ අනුව Tom Moody හට මෙරට පිරිමි සහ කාන්තා කණ්ඩායම් මෙන්ම ජාතික සහ දේශීය කණ්ඩායම් පිළිබඳව ද වගකීම් රැසක් පැවරෙනවා.

සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් Tom Moody මහතා පැවසූ කරුණු අනුව ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාව සහ මෙරට දේශීය ක්‍රිකට් ක්‍රීඩාව අතර පවතින පරතරය අවම කිරීමයි. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අදාළ සැලසුම් ඔහු විසින් සකස් කර තිබෙනවා.

“මම ගොඩක් දේවල් අධ්‍යනය කළා. ඒ වගේම දේශීය ක්‍රිකට් ගැන අවබෝධයක් තියන ගොඩක් අය එක්ක සාකච්ඡා කළා. මම ඒකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. මේ තියන ව්‍යුහය එක්ක අපිට ගුණාත්මක දේශීය තරගාවලියක් බලාපොරොත්තු වෙන්න බැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණය කරද්දී අපේ ප්‍රධාන ඉලක්කයක් වෙන්නේ දේශීය තරගාවලිය සකස් කිරීම. අපිට පුළුවන් නම් හොඳ ගුණාත්මක දේශීය තරගාවලියක් පවත්වන්න අපිට පුළුවන් වෙනවා ජාතික කණ්ඩායමට අවශ්‍ය වෙන දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනා ගන්න.”

ශ්‍රී ලංකාව තුල පවතින දේශීය ක්‍රිකට් ව්‍යුහයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සංඛ්‍යාව විශාල වීමයි. ඒ වෙනුවට දක්ෂතා සහිත ක්‍රීඩකයන්ගෙන් සමන්විත අඩු කණ්ඩායම් සංඛ්‍යාවක් යෙදවීමට තමන් බලාපොරොත්තු වන බව Tom Moody මහතා පවසා සිටියා.

“අපිට මේ නව සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනාම දකින්න පුළුවන් දක්ෂතා සහිත ක්‍රීඩකයන් ඉදිරියට එනවා. ජාතික කණ්ඩායමට හොඳ සූදානමකින් ඉන්න ක්‍රීඩකයන් එක්වේවි. සාමාන්‍යයෙන් කණ්ඩායම් 26ක් සහභාගී වෙන තරගාවලියක දී ක්‍රීඩකයන්ට ලොකු අභියෝගයක් තියනවා. ඔවුන් ක්‍රීඩා කරන තරග ප්‍රමාණය වැඩියි. ඒ නිසා ජාත්‍යන්තර සහ දේශීය තරග අතර ලොකු පරතරයක් තියනවා. මේ වගේ දේවල් විසඳ ගන්න පුළුවන් වුනාම අපිට ඒකේ ප්‍රතිඵල බලාගන්න පුළුවන්.” 

තවත් ක්‍රිකට් පුවත්: 

පසුගිය වසරේ පැතිර ගිය කොරෝනා වසංගතය නිසා මෙරට දේශීය ක්‍රිකට් තරගාවලිය අවලංගු කෙරුණා. එම තරගාවලිය තවමත් ආරම්භ වී නැහැ. කෙසේ වෙතත් තම සැලසුම් තවත් මාස කීපයකින් නිකුත් කරන බව Tom Moody පවසා සිටියා.

“අපේ සැලසුම් දැන් අවසන් අදියරේ තියෙන්නේ. මේ වසරේ දී ඒවා ක්‍රියාත්මක වේවි. අපිට ගුණාත්මක දේශීය තරගාවලියක් බලාගන්න පුළුවන් වේවි.” 

Tom Moody මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා මෙරට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. එම කාලය තුල මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ඉහළ මට්ටමක පැවති අතර 2007 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. 

Tom Moody ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන අතර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ද වනවා.

“මට නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගෞරවයක්. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන වසර ගණනාවක ඉඳන් දන්නවා. මම ඔවුන් එක්ක කටයුතු කරලා තියනවා. මේ තනතුර බාරගන්න එක මට අමාරු වුනේ නැහැ.” 

“ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලයන්ගේ වත් ක්‍රීඩකයන්ගේ වත් නෙමෙයි. අපි මේ ව්‍යුහය ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. අපිට ඒ දේ කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මේක ගොඩගන්න. නිවැරදි පුද්ගලයන් නිවැරදි තැන්වල ඉන්නවා. අපි හැමෝටම වගකීමක් තියනවා. මාත් ඇතුළුව. මට විශ්වාසයි අපිට ආයෙත් ඉහළට යන්න පුළුවන් කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<