HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතය උදාවෙලා! මාර්ග තදබදයට මෙන්න ඉගිල්ලෙන කාරයක්!

ගමන් බිමන් පහසු කරවන අලුත්ම වාහනයකට ඇමරිකානු ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරියේ (FAA) අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව දැනට නිෂ්පාදනයේ පවතින මේ වාහනය ලබන වසර මුලදීම කරළියට ඒවි. මේ වාහනය වෑන් එකක් ද බස් එකක් ද, ගුවන්යානයක් ද හරියටම වෙන් කරලා කියන්න අමාරුයි. උඩින් බිමින් දෙකෙන් ම යා හැකි මේ අපූරු වාහනයේ ගුවනින් යා හැකි කොටස විතරක් දැන් ගුවන් නියමුවන්ට ඇණවුම් කරන්න පුලුවන්. 

ටෙරාෆූජියා ට්‍රාන්සිශන් යානය

ඇමරිකාවේ ආයෝජනය කර ඇති චීන සමාගමක් තමයි, මේ අමුතු වාහනය තනන්නේ. ටෙරාෆූජියා ට්‍රාන්සිශන් (Terrafugia Transition) කියන ඒ සමාගමට, ඇමරිකානු ගුවන්ගමන් පාලන අධිකාරියෙන් මේ අපූරු වාහනය (Special Light-Sport Aircraft) වෙනුවෙන් ගුවන්ගමන් අවසර පත්‍රය ලැබිලා තියෙනවා. ඒ අනුව පියාඹන කාරය පිළිබඳ සිහිනය සැබෑවෙන්නට දැන් ආසන්නයි! 

ටෙරාෆූජියා ට්‍රාන්සිශන් යානය ඇමරිකානු ගුවන්ගමන් පාලන 
අධිකාරියේ අවසරය ලත් ප්‍රථම වාහනය වෙනවා.

ඒත් මේ වාහනයක් හිමි කර ගන්නා අයට මෝටර් රථ පැදවීමේ බලපත්‍රයට අමතරව ක්‍රීඩා ගුවන් නියමු බලපත්‍රයත් (sport pilot's certificate) තියෙන්න ඕනෑ. දැනට මුලින් ම ඔවුන් තනන්නේ අහසින් යන වාහනය පමණක් වන නිසා ගුවන් නියමුවන්ට හා ගුවන්යානා පුහුණු පාසල්වලට විතරයි මේ අපූරු වාහනය පදවන්නට අවකාශය ලැබෙන්නේ. මෙයට මහ මඟ පැදවීමට අවසරය තවමත් ලැබී නැහැ. ඒ නිසා ඒ කොටසට මහමඟ පැදවීම පිළිබඳ ආරක්ෂණ සහතිකය ලබා ගන්නාතුරු ඉන්න වෙනවා. 

මේ සියල්ල සම්පූර්ණ වුණු පසු නියමු රියැදුන්ට ගුවනින් හා බිමින් යන වාහනය පැදවීමේ දී ක්‍රමය වෙනස් කර ඊළඟ පියවරට අනුගත වීමට ඔවුන්ට ලැබෙන්නේ මිනිත්තුවක කාලයක් විතරයි. 

ඒ යානයේ පියාපත් විදාහළ විට අඩි 27ක් විතර වෙනවා. ඒවා හකුළා 
සාමාන්‍ය ගරාජයක ගාල් කරන්නත් පුලුවන්.

ටෙරාෆූජියා සමාගම මේ හයිබ්‍රිඩ් වර්ගයේ වාහනය සඳහා අවසරය ඉක්මනින් ම ලැබේවි යැයි විශ්වාස කරනවා. ඔවුන් මේ සම්පූර්ණ වාහනය 2022 දී ජනතාවට අළෙවි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සමාගම 2015දී සිට ම මේ ඉගිල්ලෙන කාරය එළි දක්වන්න උත්සාහ කළත් හරි ගියේ නැහැ. යළිත් 2018දීත්, 2019 දීත් උත්සාහ කළත් අවස්ථාව පෑදුණේ නැහැ. මෙවර නම් දැනටමත් පියසැරි යානය තැනීමට අවසරය ලැබී ඇති නිසා 2022දී ස්ථිරව ම ඔවුන්ගේ සැබෑ කර ගත හැකිවේවි යැයි ඔවුන් තදින් ම විශ්වාස කරනවා. 

පහත වීඩියෝවෙන් යානය බිමින් හා ගුවනින් යන හැටි නරඹන්න! 

ටෙරාෆූජියා සමාගමේ සාමාන්‍යාධිකාරි කෙවින් කෝල්බර්න්, මේ වසංගත සමයේ පවා වෙහෙස වී මේ කාර්යය සපුරා ගන්නට සේවක මණ්ඩලය දුන් සහයෝගයට තුති පුද කරනවා. ‘අපේ කණ්ඩායම මේ ගැන විශේෂ අවධානයක් යොමු කළා, මේ පද්ධතියේ තත්වය උසස් මට්ටමට ගෙන එන්න. සලැසුම් පිළියෙල කර, යානය තනා, දින 80ක අත්හදාබැලීමේ පියසැරියක් නිමවා, ඇමරිකානු ගුවන්ගමන් පාලන අධිකාරියට අවශ්‍ය විවිධ තාක්ෂණික වාර්තා ඉදිරිපත් කරමින් මේ යානය සඳහා අනුමැතිය ලබා ගන්නට අපේ කණ්ඩායමේ හැම කෙනෙක්ම වෙහෙසුණා.’ යයි කෝල්බර්න් කියනවා. 

‘මෙය ඇත්ත වශයෙන් ම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්! ලෝකයේ ප්‍රථම ඉගිල්ලෙන කාරය ඉදිරිපත් කරන්න හැකි වීම ගැන ඇත්තෙන්ම අපි සතුටු වෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

පහත වීඩියෝවෙන් යානය පියාසර කරන හැටි නරඹන්න! 

මෙයට යොදා ඇත්තේ අශ්වබල 100ක රොටෙක්ස් වර්ගයේ එංජිමක්. (Rotax 912iS Sport fuel-injected engine) ඉන්ධන නික්ෂේපන ක්‍රමය භාවිත කර තනා ඇති මෙයට පැයට සැතැපුම් 100ක උපරිම වේගයකින් වරකට සැතැපුම් 400ක් දුරක් යා හැකියි. අහසේ අඩි 10,000ක් ඉහළින් පියාසර කරන්නත් පුලුවන්. ගුවන් යානයට ප්‍රීමියම් ගැසොලින් හෝ 100LL ගුවන් යානා ඉන්ධන භාවිත කරන්න පුලුවන්. කාරයට බලය සපයන්නේ හයිබ්‍රිඩ් විදුලි මෝටරයකින්. ගුවනින් යද්දී අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් පැරචූට් ආදිය සියල්ලක්ම යොදා තියෙනවා. 

මෙහි බර රාත්තල් 1300ක්. පියාපත් විදාහළ විට අඩි 27ක් පමණ වෙනවා. ගාරාජයකට දමන විට මේ පියාපත් හකුළන්න පුලුවන්. මෙය දැනටමත් තනා ඇති උබර්, කිටීහෝක්, බීඑම්ඩබ්ලිව් ආදී පියාසර කළ හැකි මෝටර් රථ ආකෘතිවලට වඩා මුළුමනින් ම වෙනස් කියලයි ඔවුන් කියන්නේ. ඒ අනුව මෙයට වානිජ මගී ගුවන් යානාවල පියසැරි මට්ටමට යා හැකියි. මේ වර්ගයේ තවත් අලුත් මාදිලි කීපයක් ම ඔවුන් අනාගතයේ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ටෙරාෆූජියා සමාගම 2017දී මිලට ගෙන ඇත්තේ (Geely) මෝටර් රථ සමාගම විසින්. ඔවුන්ගේ මවු සමාගම තමයි, වොල්වෝ (Volvo) මෝටර් රථ නිෂ්පාදන කරන්නේ. මේ සමාගම් සමූහයේම හිමිකරුවන් වන්නේ චීන ආයෝජකයන්. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments