මෙන්ඩිස්ට, දිල්රුවන්ට ස්ථාන අහිමි වෙද්දී පැතුම්ට දොර ඇරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

5957
Pathum Nissanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් සඳහා එක්ව සිටිනවා. විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලියක් එයට ඇතුළත්. මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (06) නම් කෙරුණා.

පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිස්සංක හට ද මෙම සංචිතයේ ඉඩක් වෙන්වී තිබීම විශේෂත්වයක්. 

17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවසරය හිමිව තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය තුල ටෙස්ට් තරග කීපයක අමිහිරි පරාජයෙන් පීඩා විඳිමින් සිටින අතර කොදෙව් කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේ දී සිය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව බංග්ලාදේශ කණ්ඩායම එරට දී ම පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීමට සමත් වුනා. 

කොදෙව් කණ්ඩායමට අභියෝග කිරීම සඳහා ජ්‍යේෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන් ද සමන්විත ටෙස්ට් සංචිතයක් නම් කර තිබෙනවා. 

නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා කුසල් පෙරේරා සහ ලහිරු කුමාර ඇතුළත් වන්නේ නැහැ. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් හි සංචාරයක් සඳහා එක්වූ අවස්ථාවේ දී ප්‍රබල වගකීමක් ඔවුන් දෙදෙනා විසින් ඉටු කළා. එම තරගාවලිය තරග 3කින් සමන්විත වූ අතර කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත් වුනා.

කුසල් පෙරේරා ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන අතර ලහිරු කුමාර හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා කොදෙව් සංචාරය සඳහා සහභාගී වීමට හැකි වූයේ නැහැ.

ඔවුන් දෙදෙනාට අමතරව සුපුරුදු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් වන දිල්රුවන් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සඳහා නම් කර නැහැ. දිල්රුවන් පෙරේරා එංගලන්ත තරගාවලියේ දී එතරම් සාර්ථක නොවූ අතර ටෙස්ට් තරග දෙක තුල දී ම ඔහු වාර්තා කළේ කඩුලු 5ක් පමණි. කුසල් මෙන්ඩිස් ද ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලිය සඳහා එක්වූයේ නැහැ.

තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 17 දෙනා අතරින් සුවිශේෂී අවධානයක් යොමු වී ඇත්තේ පැතුම් නිස්සංක හටයි. ඔහු මෙම තරගාවලිය සඳහා නම් කළ එකම නවක ක්‍රීඩකයායි.

තවත් ක්‍රිකට් පුවත්:

දේශීය ක්‍රිකට් තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ පැතුම් නිස්සංක එහි දී ලකුණු සාමාන්‍ය 67ක තරම් ඉහල අගයක රඳවා ගැනීමට සමත්ව තිබෙනවා. තවමත් 22 හැවිරිදි වන පැතුම් පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දීයි. 

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කර ඇති ඔහු එහි දී ලකුණු 39ක් හා 37ක් වාර්තා කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කොදෙව් විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා සහභාගී නොවන ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය අද (06) බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත් වීමට නියමිතයි. ඒ අනුව ඔවුන් නියමිත නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකත්වයකට පත්වූ දසුන් ශානක හට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් නිසා සෙසු ක්‍රීඩකයන් සමඟින් කොදෙව් බලා පිටත් වීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් එම ගැටලුව සමථයකට පත්වීමෙන් අනතුරුව ඔහු ප්‍රංශය හරහා කොදෙව් බලා පිටත් වුනා. ඒ අනුව ඔහුට එක්දින සහ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට හැකියාව ලැබෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝශන් දික්වැල්ල, රොශේන් සිල්වා, ධනංජය ද සිල්වා , වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය 

ටෙස්ට් තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලිය එළඹෙන මාර්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

  • පළමු ටෙස්ට් තරගය – මාර්තු 21 සිට 26 දක්වා Antigua හිදී
  • දෙවන ටෙස්ට් තරගය – මාර්තු 29 සිට අප්‍රේල් 03 දක්වා Antigua හිදී

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට අදාළ සියලු තොරතුරු එසැණින් දැනගන්න ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<