HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එකවර 400කට ලැගුම් ගත හැකි ලෝකයේ ප්‍රථම අභ්‍යවකාශ හෝටලය මෙන්න!

ප්‍රථම වරට ඉදිකෙ‍ෙරන අභ්‍යවකාශ හෝටලය දැන් සැලැසුම් කරලා ඉවරයි. 2025 දී මෙය පෘථිවියේ පහළ කක්ෂයක ඉදි කෙරෙනු ඇති. කැරකෙන රෝදයකට සමාන හැඩයක් ඇති මෙම හෝටලය ඕබිටල් ඇසෙම්බ්ලි කෝපරේශන් ආයතනය ‍විසින් සැලසුම් කර ඇත්තේ රොබෝ යොදා ගෙන ඉදි කිරීමටයි. මේ කැරකෙන රෝදයේ දාරයට පිටතින් මොඩියුල ලෙසින් එකතු කෙරෙන ආකාරයට හෝටල කාමර, සිනමාහල්, ආපනශාලා, සුව සම්බාහන හල්, වෙනත් විනෝදාගාර ආදිය සැකැසේවි. එසේ ඉදි කෙරෙන මොඩියුල කීපයක්‍‍‍‍‍ පර්යේෂණ කටයුතු සඳහා නාසා (NASA) ආයතනයටත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘එසා’ (ESA) ආයතනයටත් ලබාදීමට මෙය ඉදි කරන ආයතනය බලාපොරොත්තු වෙනවා. 
ඕබිටල් ඇසෙම්බ්ලි කෝපරේශන් ආයතනය ‍විසින් 
ප්‍රථම වරට ඉදිකෙ‍ෙරන වොයේජර් අභ්‍යවකාශ හෝටලය

තාම මේවා ඉදිකිරීමට වැය වන මුදල් ප්‍රමාණයන් ගැන සඳහනක් කර නැහැ. 2025 දී ඉදි කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙහි එක වර පුද්ගලයන් 400කට නැවතීමට පුලුවන. මේ හෝටලය ඕබිටල් ඇසෙම්බ්ලි කෝපරේශන් ආයතනය විසින් නම් කර ඇත්තේ ‘වොයේජර් ස්ටේශන්’ කියායි. එය 2027 වසරේ මුලදී විවෘත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

මෙම අභ්‍යවකාශ හෝටලය ඉදිකිරීමට යන වියදම ගැන දැනට ප්‍රකාශයට පත් කර නැතත්, එහි රාත්‍රියක් ගත කරන්නට කැමති අයට මුලදී වැඩි වියදමක් දරන්නට සිදුවුණත් පාවිච්චිය අනුව පසුව මිල ගණන් අඩු වන බව ඒ නිෂ්පාදන ආයතනය කියනවා. අනාගතයේ දී නැවත් නැවතත් පාවිච්චියට ගත හැකි ස්පේස් එක්ස්, ‍ෆෝල්කන් 9 හා ස්ටාර්ෂිප් වැනි අභ්‍යවකාශ යානාවල නිෂ්පාදන පිරිවැය අඩු වන විට ඒ වියදම තවත් අඩු වනු ඇති. 

මෙයට භ්‍රමණය වන වක්‍ර හැඩයක් දී ඇත්තේ චන්ද්‍රයාට සමාන වූ 
කෘත්‍රිම ගුරුත්වාකර්ෂණයක් ඇති කිරීම සඳහායි.

මුහුදේ යන සුඛෝපභෝගී නෞකාවක ඇති සියලු පහසුකම් මේ යෝධ හෝටල 
අභ්‍යවකාශ නැවතුම්පොළ තුළත් ඇති කෙරෙනවා.
මෙම දැවැන්ත රෝදයට සම්බන්ධ කර මොඩියුල වශයෙන් නිවාස ඒකක තනනු ලබනවා. මෙයින් කීපයක් ඇමෙරිකාවේ හා යුරෝපයේ අභ්‍යවකාශ අධිකාරිවල ප්‍රයෝජනයට ලබාදීමට අපේක්ෂා කරනවා.

මේ වොයේජර් පන්තියේ අභ්‍යවකාශ නැවතුම්පොළක් එකිනෙකට බැඳුණු වළලු කීපයකින් යුක්තයි. එයින් පිටත වළලුවලට තමයි, මොඩියුල සවි වන්නේ. මෙහි ඇති මොඩියුල 24න් කීපයක් ගේට් ෆවුන්ඩේශන් විසිනුයි, පාලනය කෙරෙන්නේ. ඒවා භාවිත කෙරෙන්නේ මෙහි කාර්ය මණ්ඩලවල ලැගුම්හල් ලෙසට, වාතය, ජලය හා බලශක්තිය ගබඩා කිරීමටයි. 

මේ එක් මොඩියුලයක ප්‍රමාණය මිටර 20x12 ක් වෙනවා. ඒ මොඩියුල සියල්ල ම පුද්ගලික හා රාජ්‍ය ආයතනවලට විකිණීමට ඔවුන් බලාපෙරොත්තු වෙනවා. ඒවා වෙන් කරවා ගන්නා අයට ඒවා යොදා ගෙන ව්වේකස්ථාන, විනෝදාගාර, ලැගුම්හල්, සිනමාහල්, සුව නිකේතන ආදිය බවට පත් කර ගත හැකියි. 

මෙයින් මොඩියුල කීපයක් මෙහි සේවය කරන අයට ලැගුම්හල්, ආපනශාලා, 
ජලය, වාතය හා බලශක්තිය ආදිය ගබඩා කිරීමට යොදා ගන්නවා.

මේ අභ්‍යවකාශ හෝටලය තුළ නැරඹුම් මැදිරි, නැටුම් හා රැඟුම් හල්, සිනමාහල්, විනෝදාගාර ආදිය සුඛෝපභෝගී නෞකාවක මෙන් ඔබට හමු වේවි.

රාජ්‍ය නියෝජිත ආයතනවලට මේ අභ්‍යවකාශ නැවතුම්පොළ ඔවුන්ගේ විද්‍යා පර්යේෂණාගාර ලෙස හෝ අඟහරු වෙත යන අභ්‍යවකාශගාමීන් පුහුණු කිරීම වැනි කටයුතුවලට යොදා ගන්න පුලුවන්. මෙවැනි වළලු හැඩැති අභ්‍යවකාශ නැවතුම්පොළක් පිළිබඳ අදහස මුලින් ම ගෙනාවේ මිනිසා හඳට ගෙන ගිය සැටර්න් රොකට්ටුවේ නිර්මාතෘ වූ වර්නර් වොන් බ්‍රෝන්‍ විසින් ඉදිරිපත් කළ එකක්. නාසා ආයතනයේ ඇපලෝ වැඩ සටහනේ එක් නිමැවුම්රුවකු වූ වොන් බ්‍රෝන්‍ 1950 ගණන්වල ඔය කැරකෙන චක්‍රාකාර හැඩය යෝජනා කළේ කෘත්‍රිම ගුරුත්වාකර්ෂණයක් ඇති කළ හැකි ක්‍රමයක් ලෙසයි. 

මේ අදහසට සමාන ‍‘වොයේජර් ස්ටේශන්’ සංකල්පය මුලින් ම ගෙනාවේ 2012 දී ගේට්වේ ෆවුන්ඩේශන් ආයතනය පිහිටවූ අවස්ථාවෙදියි. ඒ ආයතනය විසින් මේ සංකල්පය ක්‍රියාවට නැංවීමට වෙනම සමාගමක් ඇති කළා. එය තමයි ඕබිටල් ඇසෙම්බ්ලි කෝපරේශන් කියන්නේ. ඔවුන් විසින් දැන් තනා ගෙන යන මේ යෝධ හෝටල අභ්‍යවකාශ නැවතුම්පොළ නිම කර කක්ෂයක තැන්පත් කළ පසු එය මිනිසා නිමවා උඩුගුවනට යැවූ විශාලතම ඉදිකිරීම වනු ඇති. 

මෙහි විශේෂත්වය භ්‍රමණය වීමයි. ඒ අනුව මෙහි තුළ අමුත්තන්ට 
පහසුවෙන් වැඩ කිරීමට අවශ්‍ය ගුරුත්වයක් ඇති කෙරෙනවා.

මේ හෝටල අභ්‍යවකාශ නැවතුම්පොළ ඉදිකරන්නට මුලදී කිලෝග්‍රෑමයකට ඩොලර් 8000ක් වැය වන අතර නැවත පාවිච්චියට ගත හැකි ස්පේස් එක්ස් ‍ෆෝල්කන් 9 අභ්‍යවකාශය යානයත් සමග එය කිලෝග්‍රෑමයකට ඩොලර් 2000ක් දක්වා අඩුවුණා. අනාගතයේ දී ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය මෙයට සම්බන්ධ වූ පසු රය ඩොලර් සිය ගණනක් දක්වා අඩු වෙනවා ඇති. 

උඩු ගුවනේ කක්ෂගත කළ පසු මේ යෝධ හෝටල අභ්‍යවකාශ නැවතුම්පොළ සෑම මිනිත්තු 90කට වරක් ‍පෘථිවිය වටා යනු ඇති. ‘මේ ඉදිකිරීමෙන් නව කාර්මික යුගයක් උදා වෙනවා.’ ගේට්වේ ෆවුන්ඩේශන් ආයතනයේ ආරම්භකයා වූ ජෝන් බ්ලින්කව් කියනවා. ‘ගුරුත්වාකර්ෂණය නොමැතිව වැඩි කාලයක් මිනිසුන් මෙවැනි අභ්‍යවකාශ නැවතුම්පොළක රඳවා තබා ගැනීමට පුලුවන්කමක් නෑ. මෙහි රැ‍‍ඳ‍ෙන අයට පෘථිවියේ ඉන්නා ආකාරයට ම වැඩ කරන්න නම් ගුරුත්වාකර්ෂණය අවශ්‍යයි. ඒ නිසා තමයි, භ්‍රමණය වන වක්‍රාකාර හැඩයක් මෙයට ලබා දී ඇත්තේ. එහි බමන වේගය අඩුවැඩි කිරීමෙන් ගුරුත්වාකර්ෂණය අඩුවැඩි කළ හැකියි.’ ඔහු වැඩි දුරටත් කියනවා. 

පෘථිවිය මත කෙරෙන සියලු අත්හදා බැලීම් සම්පූර්ණ කළ පසු ස්ටාර් (STAR) නමින් හැඳින්වෙන රොබොට්ටෙක් තමයි, මෙහි කොටස් වශයෙන් ඉහළට ගෙන යන ඒවා උඩුගුවනේදී එකලස් කිරීම සිදු කරන්නේ. මේ ‘ස්ටාර්’ නම තනා ගෙන ඇත්තේ ඒ රොබෝ හැඳින්වෙන Structure Truss Assembly Robot යන දිග නමේ මුල් අකුරු එක්කිරීමෙනුයි. පෘථිවිය මත දී වසර දෙකක් තිස්සේ තැනෙන මෙය කක්ෂයේ දී එකලස් කිරීමට ගත වන්නේ දින තුනක් පමණයි. 

පෘථිවි කක්ෂයෙහි රඳවන මේ යෝධ හෝටල අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ ගුරුත්වය, පෘථිවියෙහි මෙන් සියයට 40ක් අඩු වන අතර, අඟහරුගේ ‍හෝ චන්ද්‍රයාගේ හෝ ගුරුත්වයට සමාන ගුරුත්වයක් ඇති වන සේ සකස් කෙරෙනු ඇති. 

- පර්සි ජයමාන්න 

පහත වීඩියෝවෙන් ඔබට මෙය වැඩ කරන ආකාරය දැක ගත හැකියි. 

Post a Comment

0 Comments