කොරෝනා නිසා පාකිස්තාන සුපිරි ලීගය කල් යයි

180
PSL 2021 postponed

තරගාවලිය තුළ කොරෝනා රෝගීන් වාර්තා වීම් නිසාවෙන් පසුගිය මාසයේ ආරම්භ කෙරුණු පාකිස්තාන සුපිරි ලීග් විස්සයි විස්ස තරගාවලිය කල් දැමීමට පකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

තරගාවලියේ සංවිධායකයින් සහ කණ්ඩායම් හිමිකරුවන් අතර අද (04) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙවර තරගාවලිය හැකි ඉක්මනින් කල් දැමීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ තරගාවලිය තුළ කොරෝනා රෝගීන් හත් දෙනෙක් වාර්තා වීම නිසාවෙන් පෙබරවාරි 20 වැනිදා ආරම්භ වූ තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවයි.

මෙවර තරගාවලිය පෙබරවාරි 20 වැනිදා ආරම්භ කෙරූ අතර මෙම කල් දැමීමේ තීරණය ගන්නා විට එහි සමස්ත තරග 34න් 14ක් සාර්ථකව පවත්වා අවසන් කර තිබුණා.

තරගාවලිය තුළ වාර්තා වූ මුල්ම කොරෝනා සිද්ධිය ලෙස Quetta Gladiators ක්‍රීඩක Fawad Ahmed කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ අතර එම නිසාවෙන් එදින පැවැත්වීමට තිබූ තරගය ද පසුදින දක්වා කල් දමමින් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළා.

තවත් ක්‍රිකට් පුවත්:

එම සිදුවීමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂාවල දී Quetta Gladiators පිතිකරු Tom Baton සහ Karachi Kings පන්දු රැකීමේ පුහුණුකරු Kamran Khan ඇතුළු කිහිප දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් බව තහවුරු වුනා.

එම සිදුවීම්වලින් පසුව සංවිධායක මණ්ඩලය විසින් කණ්ඩායම් හිමිකරුවන් සමඟ සාකච්ඡාවක් කැඳවීමට කටයුතු කර තිබූ අතර එහි දී එම තීරණය ගෙන තිබුණා.

පාකිස්තාන සුපිරි ලීගයේ පසුගිය වසරේ අදියරේ තරග ද කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමීමට වරක් සිදු වූ අතර පසුව එහි ඉතිරි තරග පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<