ශ්‍රී ලංකා ක්‍රිකට් විදෙස් සංචාර සඳහා JAT අත්වැල් බැඳගනී

254

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබා දීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම 2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි.

මුළුමනින්ම දේශීය සන්නාමයක් වන එම සමාගම මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සහ මෙරට දී එංගලන්තය සමඟ පැවැත්වුණු තරගාවලිය සඳහා ද අනුග්‍රාහකත්වය ලබා දුන් අතර, දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ද අනුග්‍රාහකත්වය ලබා දෙනු ඇත. කොදෙව් තරග සංචාරය යටතේ විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත්. 

මීට පෙර පැවති LPL තරගාවලිය, 2017 වසරේ දී සිදු කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය, බංග්ලාදේශයේ පැවති BPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරගාවලි සඳහා JAT Holdings සමාගම අනුග්‍රාහකත්වය ලබා දී ඇත. 

දැනට පවතින දුෂ්කරතා මධ්‍යයේ බොහෝ සමාගම් දැවැන්ත ව්‍යාපාරික තීරණ ගැනීමෙන් වැළකී සිටින පසුබිමක පවා JAT Holdings සමාගම මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී  සිටියි. 

මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින්, “දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිවත් බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව දැන් පැවැත්වෙන තරගාවලියේ දීත් සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට, දේශීය හා පෞද්ගලික අංශයේ සමාගමක් වන JAT Holdings ඉදිරිපත් වීම අපට මහත් සතුටක්. ක්‍රිකට්වල කවදත් මූලිකත්වය ගනු ලබන්නේ හවුල්කාරීත්වයන්ටයි. මේ හවුල්කාරීත්වය තව තවත් වර්ධනය වෙමින්, JAT සමාගමට තම සන්නාමය ජාත්‍යන්තර තලයේ ඉහළටම රැගෙන යෑමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇතැයි කියා මා සිතනවා” යැයි සඳහන් කර සිටියේය. 

“ක්‍රීඩාව යනු සාමූහිකත්වයේ සංකේතයක්. කෙනෙකු පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත්කිරීමට මෙන්ම, ජාති ආගම් භේදවලින් තොරව සෑම දෙනාම එකමුතු කිරීමට ක්‍රීඩාවට හැකියාව තිබෙනවා,”  ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

තවත් ක්‍රිකට් පුවත්:

2020 – 2023 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල විදේශීය අනුග්‍රාහකත්වයේ භාරකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ITW consulting පුද්ගලික සමාගමේ වන අතර ඔවුන්ගේ මඟ පෙන්වීම මත JAT හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර හවුල්කාරීත්වය ගොඩනැගී තිබේ.

එහි දී ITW Consulting (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භෛරව් ශාන්ත් මහතා අදහස් දක්වමින්, “ගෝලීය මට්ටමින් පොදුවේ ක්‍රීඩාව සහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සතු හැකියාවන් සම්බන්ධයෙන් අප සමාගම කවදත් විශ්වාසය තබා සිටිනවා. මේ හවුල්කාරීත්වය අපට විශේෂ වන්නේ හුදෙක් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අපට ඇති සමීප සම්බන්ධය හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ගමන් මග සම්බන්ධයෙන් අප තුළ ඇති උද්යෝගය නිසා පමණක් නොවෙයි. ශ්‍රී ලංකාව තුළ වැඩිම විශ්වාසයක් දිනා සිටින පාර්ශ්වයන් දෙකක් රටේ ජනප්‍රියම ක්‍රීඩාව වෙනුවෙන් එකමුතු වන මේ මොහොත ඉතාමත් සුවිශේෂී මොහොතක්. මේ හවුල්කාරීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නව යුගයක් වෙත පියනගන්නට දොරටු විවර කර දෙන්නට අප සූදානම්” යි යනුවෙන් සඳහන් කර සිටියේය. 

JAT Holdings සමාගම මීට පෙර ද බොහෝ අවස්ථාවල දී මෙරට තුළ සහ විදේශයන්හි පවත්වන ලද තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. එම  සමාගම වරක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියක ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ අතර, එම සංචාරයේ එක්දින තරගාවලියේ සහ තවත් තරගාවලි කිහිපයක සම අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේය.

ක්‍රීඩාව තුළින් ජනතාව එකමුතු කිරීමට උත්සාහ කරන වගකීම් සහගත සමාගමක් ලෙස JAT Holdings සමාගම 2020/2021 ක්‍රිකට් සමයේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ගත් මෙම තීරණය, ඉදිරියේ දී තවත් මෙබඳු පියවර රැසකට මංපෙත් විවර කරනු නොඅනුමානය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<