ආසියානු කුසලානය නැවතත් කල්යාමේ අවදානමකට

287

මෙම වසරේ ජුනි මාසයේ මෙරට දී පැවැත්වීමට සූදානම් කර ඇති ආසියානු කුසලාන තරගාවලිය නැවත වරක් කල් දැමීමට බොහෝ විට සිදු වෙතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ehsan Mani ප්‍රකාශ කර සිටියා.

පකිස්තාන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ යම් හෙයකින් ඉන්දියානු කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට තේරී පත් වුවහොත් ජුනි මස පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය කල් දැමීමට සිදු වන බවයි.

“ආසියානු කුසලානය පසුගිය වසරේ පවත්වන්න තිබුනත් එය මේ වසර දක්වා කල් දමන්න සිදු වුනා. ඒත් ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ජුනි මාසයේ පැවැත්වෙන නිසාවෙන් ආසියානු කුසලානය මේ වසරේ ද නොපැවැත්වීමට සිදුවෙන බවක් පෙනී යනවා.

ඒත් ජුනි මාසයේ දී මෙම තරගාවලිය පැවැත්වීමට හැකි සියලුම උත්සාහයන් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියා. නමුත් මෙම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි අප සිතන අතර එය බොහෝ විට 2023 දක්වා කල් දැමීමට සිදුවනු ඇත” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Wasim Khan ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගතහොත් ආසියානු කුසලානය කල් දැමීමේ අවශ්‍යතාවක් පැන නැගෙන බවයි.

“ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය වෙත පැමිණ නවසීලන්තය සමඟින් තරග වදිනු ඇතැයි පේන්න තියෙනවා. ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සැලසුම් කර පරිදි පැවැත්වීමට නොහැකි වන්නේ මේ නිසායි. අපි ඒ සඳහා තහවුරු කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින අතර එයින් පසු තරගාවලියේ ඉදිරිය තීරණය කරන්න සූදානම්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ආසියානු කුසලාන තරගාවලිය පසුගිය වසරේ දී පකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් එම තරගාවලිය කල් දැමීමට සිදු වුනා.

පසුව එම තරගාවලිය මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කළ අතර තරගාවලිය පාකිස්තානයේ දී නොපවත්වා ශ්‍රී ලංකාව වෙත එහි සත්කාරකත්වය ලබා දීමට ද ඔවුන් තීරණය කළා.

cඑමෙන්ම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ අගභාගයේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් එහි සත්කාරකත්වය ද බොහෝ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<