වසර පහකට පසු ටාර්සන් වික්‍රමයක් එනවා ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 28, 2021

වසර පහකට පසු ටාර්සන් වික්‍රමයක් එනවා !

අසංක්ෂිප්ත හා සම්පූර්ණ සිංහල පරිවර්තන ලෙස, ඇමෙරිකන් ලේඛක එඩ්ගාර් රයිස් බරෝස්ගේ 'ටාර්සන්' වික්‍රම සිංහල පාඨකයන් හමුවට ගෙනාවේ කේ.ජී. කරුණතිලක ශූරීන් සහ දයාවංශ ජයකොඩි සමාගමය. කේ.ජී.කරුණාතිලක ශූරීන් ටාර්සන් නවකතා 9 ක් පරිවර්තනය කළේය. කේ.ජී. කරුණතිලක ශූරීන්ගේ අඩුව පුරවමින්, ටාර්සන් පරිවර්තනයට යොමු වූයේ ප්‍ර‍භාත් මිරිහාගල්ල ය. 

එඩ්ගාර් රයිස් බරෝස්ගේ 'ටාර්සන්' වික්‍රම අසංක්ෂිප්ත හා සම්පූර්ණ සිංහල පරිවර්තන ලෙස පාඨකයන්ට තිළිණ කළේ පාඨක ප්‍රසාදය දිනා ගැනීමට ප්‍ර‍භාත් මිරිහාගල්ල යැයි කීවොත් එය නිවැරදිය. ටාර්සන් සහ දිවි මිනිස්සු යනු ප්‍ර‍භාත් මිරිහාගල්ලයන්ගේ පළමු ටාර්සන් වික්‍රමයයි. ටාර්සන් සහ තහනම් නගරය, ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ, අපරාජිත ටාර්සන්, ටාර්සන් සහ ස්වර්ණ පුරය, ටාර්සන් ගේ ගවේශණය, විජයග්‍රාහී ටාර්සන් යනු ප්‍ර‍භාත් මිරිහාගල්ලගේ සෙසු ටාර්සන් පරිවර්තනයන්ය. වසර පහකට නිහැඩියාවකින් දැන් යළිත්, ටාර්සන් පාඨකයන්ට අස්වැසිල්ලක් වෙමින්, තවත් ටාර්සන් වික්‍රමයක් කරළියට ගෙන ඒමට ප්‍රභාත් මිරිහාගල්ලයන් සහ දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශකයෝ සූදානම් වෙති. තව දින කීපයකින්, ඔබ අතට පත් වන එම නවතම ටාර්සන් වික්‍රමය 'ටර්සන් සහ යටගිය අධිරාජ්‍යය' යි. මෙම ටාර්සන් වික්‍රමය ගැනත් පරිවර්තන කලාවේ අභියෝග ගැනත් අපි ප්‍රභාත්ගෙන් විමසීමක් කළෙමු.

'ටර්සන් සහ යටගිය අධිරාජ්‍යය' එළිදක්වන්න මෙතරම් ප්‍රමාද වුණේ ඇයි? 

මම කොහොමටත් වේගයෙන් ලියන කෙනෙක් නෙවෙයි. හුඟක් විට පොතකට අවුරුද්දක් දෙකක් ගන්නවා. ළමා පොතක් කරද්දි වුණත් එහෙමයි. මම අන්තිමට ටාර්සන් පොතක් පරිවර්තනය කළේ 2016 අවුරුද්දෙ. ඒක මම කරපු හත් වැනි ටාර්සන්ගේ පොත. ඉතින් මම හිතුව ටාර්සන් මේ ඇති කියල. ඊට පස්සේ මම වෙනස් ආකාරයේ පොත් පරිවර්තනය කරන්න පටන් ගත්ත. ඒත් කාලයක් යද්දී ටාර්සන් කෘතීන් කියැවීමට ළැදි රසිකයෝ දිගින් දිගට මගෙන් ටාර්සන් පරිවර්තනයක් ඉල්ලා හිටියා. මේ ටාර්සන් පොත පළවන්න මූලික වුණේ පාඨකයන්ගෙ ඒ උනන්දුව බව කියන්න ඕන. 

ඔබේ පාඨකයෝ කැමති වේවි ඔබ පොත් පරිවර්තනයට යොමු වුණේ කොහොමදැයි දැනගන්න. ඒ වගේමයි, ඔබ ඔබේ පළමු ටාර්සන් වික්‍රමය වන 'ටාර්සන් සහ දිවි මිනිස්සු' පරිවර්තනයට යොමු වූ හැටි දැනගන්න. 

පාසල් යන කාලයේ ඉඳන් මම කියවීමට බොහොම ළැදියි. ඒ කාලෙ නම් අතට හම්බවුණ හැම දේම කියෙව්වා. ඔහොම ඉන්නකොට දවසක් මට අපේ පාසල් පුස්තකාලයෙ තිබිල පොතක් හම්බවුණා බිම්ගෙයි සිරකරුවා කියලා. ඒකෙ භාෂාවට මම වශී වුණා. මෙතරම් ලස්සනට පරිවර්තන ලියන්න පුළුවන්ද කියල මම පුදුම වුණා. කේ. ජී. කරුණාතිලක කියන ඒ අසහාය පරිවර්තකයව මම දැනගත්තෙ එහෙම. ඊට පස්සේ මම එතුමාගේ හැම අකුරක්ම කියවන පාඨකයෙක් බවට පත් වුණා. ටාර්සන් කතා පෙළ මම කියවන්න ගත්තෙත් එතුමා නිසායි.ඇත්තටම මට කවදාවත් ඕන වුණෙ නෑ පරිවර්තන ලේඛකයෙක් වෙන්න. ඒත් මට ආසාවක් ආවා, කරුණාතිලක මහත්තය වගේ නිවැරැදි සිංහලයෙන් ලියන්න ඉගෙන ගන්න. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ විද්‍යා අංශයෙන් වුණත්, මම බොහොම මහන්සි වෙලා සිංහල ඉගෙන ගත්ත. පස්සේ කාලෙකදි මම විනෝදයට වගේ නවයොවුන් පොත් දෙකක් පරිවර්තනය කළා. ඒත් දිගටම පොත් කරන්න වුවමනාවක් තිබුණේ නෑ. ඒත් මොකක් හෝ හේතුවකට මට දිගටම ලියන්න ඉඩකඩ හැදුණ. ඔය අතරෙදි කරුණාතිලක මහත්තයගෙ අභාවයෙන් පස්සේ ලේඛකයෝ කීප දෙනෙක්ම ටාර්සන් පොත් පරිවර්තනය කර කර හිටියා. ඒත් පාඨකයන්ගෙන් ඒ පොත්වලට යහපත් ප්‍රතිචාර ලැබුණේ නෑ. ඉතිං දයාවංශ ජයකොඩි මහත්තය මට යෝජනා කළා Tarzan and the Leopard Men පොත පරිවර්තනය කරන්න කියල. ටාර්සන් සහ දිවි මිනිස්සු පොත පරිවර්තනය වුණේ එහෙමයි. ඒකට හුඟක් යහපත් පාඨක ප්‍රතිචාරයක් ලැබුණා. අද වෙනකොට ඒක නැවත නැවත කීප වරක් මුද්‍රණය වෙලත් තියෙනව. 

එඩ්ගාර් රයිස් බරෝස් ලියූ අවසන් ටාර්සන් වික්‍රමය ඔබ අතින් පරිවර්තනය වී තිබෙනවා. ඒ, 'ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ'. ඒ වගේමයි පරිවර්තනය නොවූ තවත් ටාර්සන් වික්‍රම තියෙනවාද? 

ඇත්තටම ටාර්සන් සහ අතරමං යාත්‍රිකයෝ පරිවර්තනයෙදි මගෙන් අත්වැරැද්දක් සිද්ධ වුණා. මේකෙ ඉංග්‍රීසි පොත මුද්‍රණය වෙලා තියෙන්නේ තව කෙටිකතා දෙකකුත් සමඟයි. නමුත් අන්තර්ජාලය හරහා මට ලැබුණු පිටපතේ තිබුණේ Tarzan and the Castaways කියන නවකතාව පමණයි. ඉතින් මම එය පරිවර්තනය කළා. නමුත් මේ මෑතකදී මට එහි කෙටිකතා දෙකත් ඇතුළත් පිටපතක් බොහොම අමාරුවෙන් හොයාගන්න ලැබුණා. ටාර්සන් සහ අතරමං යාත්‍රිකයෝ පොත ඒ කෙටිකතා දෙකත් එකතු කර අංගසම්පූර්ණව පළකරන්න මම හිතාගෙන ඉන්නවා. ඒවගේමයි තවදුරටත් පරිවර්තනය නොවූ තවත් ටාර්සන් පොත් කිහිපයක් තියෙනව. ඉදිරියේදී ඒවාත් සිංහලයට නැඟීමට හිතාගෙන ඉන්නවා.

පරිවර්තනයක් කිරීම පහසු නැහැ. දක්ෂ පරිවර්තකයකු ලෙස නිවැරදි පරිවර්තන හරහා පාඨකයන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගැනීම අසීරු දෙයක්. ඒත් ඔබ ඒ දෙකම ජයගත් කෙනෙක්. ඒ වගේමයි අද පරිවර්තකයෝ වැහිවැහැලා. ඒත් දක්ෂ පරිවර්තයන් කවුරුදැයි පාඨකයෝ අවබෝධ කරගෙන අවසන්. පොත් පරිවර්තන කලාව ගැන ඔබේ අදහස් අහන්න කැමතියි. 

අද පරිවර්තන සාහිත්‍යය බොහොම සිල්ලර ගණයට වැටීගෙන යන බවක් මට පේනවා. ඉවක් බවක් නැතුව පොත් පරිවර්තනය කරගෙන යන එක ඒකට හේතුවක්. පරිවර්තනයක් කරන එක කජු කනව වගේ වැඩක් කියලත් සමහර පරිවර්තකයෝ කියනව මට ඇහිලා තියෙනව. මට ඒ කතාව විස්මයක්. මොකද මට නම් පරිවර්තනයක් කරනව කියන්නෙ හරිම දුෂ්කර වැඩක්. මට සමහර විට එක වාක්‍යයක් ලිවීමට පවා පැය බාගයක් විතර කල්පනා කරන්න වෙනවා, මුල් කතුවරයාගෙ අදහස නිවැරැදිව වගේම අපේ භාෂා උරුවත් රැකගෙන ලියන්න ගියාම. පරිවර්තකයා අනිවාර්යයෙන්ම භාෂා දෙකක හසල දැනුමක් ඇත්තෙක් විය යුතුමයි. අනෙක ඔහු යාන්ත්‍රික නොවී නිර්මාණශීලි විය යුතුයි. එමෙන්ම ඔහු හොඳ රසවින්දනයක් ඇත්තෙක් විය යුතුයි. 

ඔබ පොත් ප්‍රදර්ශන ඉලක්ක කර ගනිමින් පොත් එළියට දාන්නේ නැහැ. පොත් ප්‍රදර්ශන ඉලක්ක කර ගනිමින් පොත් එළිදැක්වීම ගැන මොකක්ද අදහස? 

 සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන සමහර විට මම විතරක් නෙවෙයි තවත් බොහෝ ලේඛකයොත් ලියන්නේ නැතුව ඇති. නමුත් ප්‍රකාශක සමාගම් ඒ කාලෙට පොත් එළිදැක්වීමට උත්සුක වෙනව. ඉතින් ඇතැම් විට ලේඛකයකු කලින් අවුරුද්දක මුද්‍රණයට දුන්න පොතක් වුණත්, ඒ වහා මුද්‍රණය නොකර ප්‍රකාශකයා සැප්තැම්බර් වෙනකම් බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. 

නවකතා පරිවර්තනයේදී මුහුණ දෙන අභියෝග ගැන කතා කළොත්...

විවිධ පොත් කරද්දි විවිධ අභියෝග හමු වෙනවා. නවකතා කෙටිකතා ආදි ප්‍රබන්ධ පොත් පරිවර්තනයේදී මට නම් මූණ දීමට සිදු වන ප්‍රධානම අභියෝගය මුල් ලේඛකයාගේ රචනා ශෛලිය අපේ බසින් නිරූපණය කිරීමයි. අදහස් පරිවර්තනය ඒ හැටියෙන්ම කරගත්තා වුණත් ශෛලිය නිරූපණය කිරීම දුෂ්කර දෙයක්. උදාහරණයකට ටාර්සන් කතා මාලාව ලියූ එඩ්ගර් රයිස් බරෝස් විදියට නෙවෙයි රේ බ්‍රැඩ්බරි වගේ ලේඛකයෙක් ලියන්නේ. චාල්ස් ඩිකන්ස් ලිව්ව විදියට නෙවෙයි ජෝන් ස්ටයින්බර්ග් වගේ ලේඛකයෙක් ලියන්නේ. මේ වෙනස පරිවර්තනයක් මඟින් දක්වන එක තමයි මට වැටහෙන විදියට නම් අසීරුම. තවත් සමහර විට සංඥා නාම ආදියේ හරි උච්චාරණය සොයාගැනීම, විද්‍යා ප්‍රබන්ධ ආදියේදී නව තාක්ෂණික වචන සොයා ගැනීම වගේ ගැටලු මතුවෙනව. 

ආධුනික පරිවර්තකයන්ට කියන්න තියෙන පණිවුඩය මොකක්ද? 

ආධුනික පරිවර්තකයන්ට මට නම් කියන්න තියෙන්නේ, ඔබ හරියාකාරව මේ කටයුත්තේ යෙදීමට බලාපොරොත්තු වෙනව නම් මුලින්ම භාෂාව ඉගෙනගෙන ඉන්න කියලයි. මෑතකදී මම කියවපු පරිවර්තනවල දැක්ක දෙයක් තමයි, බස හැසිරවීම අන්තිම දුර්වල බව. යටත් පිරිසෙයින්, උක්තාඛ්‍යාත ගැළපීමක් වත් හරියට නෑ. එක පරිවර්තනයක මම දැක්කා "සකසුරුවම් විදියට පාර හරහා මාරු වුණා කියල". සකසුරුවමට අතුයි කකුලුයි ගළවලා තියලා පාර මාරු වුණාද කියලත් මම කල්පනා කළා. හරියට භාෂාව ඉගෙනගෙන තිබුණා නම් මේ වගේ අනුචිත වචන එකතු කරන්නේ නැහැනෙ.

බොහෝ දෙනකු ඔබව හඳුනන්නේ 'ඇඩ්වෙන්චර්' කතා පරිවර්තකයකු විදියටයි. ඒත් ඒක එහෙම නොවේ. ඔබ දක්ෂ විද්‍යා ප්‍රබන්ධකයෙක්; එහෙම නේද? 

ඇත්තටම මට ඕනෙ මං මේ කරන පරිවර්තනවල රාමුවෙන් එළියට යන්න. ඒ අනුව ගිය අවුරුද්දෙ ෆැරන්හයිට් 451 කියන පොත මම පරිවර්තනය කළා. ඉදිරියේදී වැඩිපුර ඒ වගේ පොත් පැත්තට නැඹුරු වෙන්න හිතාගෙන ඉන්නවා. දැන් අවුරුදු කීපයක ඉඳන් විදුසර පුවත්පතේ විද්‍යා ප්‍රබන්ධ පිටුව මම කරගෙන යනව. ඒ ඔස්සේ විවිධ මාදිලියේ විද්‍යා ප්‍රබන්ධ පාඨකයන්ට හඳුන්වා දෙන්න මට අවස්ථාව ලැබුණා. 

පරිවර්තකයකු ලෙස ඔබ ආ ගමන ඇත්තටම සුවිශේෂයි. මේ ගමනේ දී ඔබේ ස්තුතිය හිමිවන්නේ කාටද?

වර්තමානයේ පරිවර්තකයන් වන අපි, අපට කලින් පරම්පරාවේ පරිවර්තකයන්ට ස්තුතිවන්ත විය යුතුය. අද අපි ගමන් කරන්නේ ඔවුන් බොහොම දුෂ්කර අන්දමින් හෙළි පෙහෙළි කර දුන් මාර්ගය ඔස්සේයි. ඒ අනුව ඒ. පී. ගුණරත්න, ඩේවිඩ් කරුණාරත්න, හියුබත් දිසානායක, කේ. ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා වැනි ශ්‍රේෂ්ඨ පරිවර්තකයන්ට අපගේ ස්තුතිය හිමි විය යුතුයි. ඊට අමතරව, පුද්ගලිකව ගත්තොත්  මගෙ පොත් කිසිම පැකිළීමක් නැතුව මුද්‍රණය කර දෙන මගෙ ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතාටත්, නිවෙසේදී කිසි අවහිරයකින් තොරව මගෙ ලේඛන කටයුතු කරගෙන යෑමට උපකාර කරන මගෙ බිරිඳ හා පුතාටත් මගෙ විශේෂ ස්තුතිය පළ කරන්න ඕන

෴ සාගර
කේ.ජී. කරුණාතිලක ශූරීන්ගේ 'වානරයන්ගේ ටාර්සන්' 
පළමු පරිවර්තනය. එළිදැක්වීම සිදුවූයේ 1984 දී ය.

Classified_Ad

Classified_Ad_News_Bottom