ඇමසන් වනය රැක ගන්න කැපවුණු නෙන්කිමෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 9, 2021

ඇමසන් වනය රැක ගන්න කැපවුණු නෙන්කිමෝ

ඉක්වදෝරයට අයත් සංවේදී ඇමසන් වනාන්තර කලාපය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරමින් උදාර මෙහෙයක් ඉටු කළ ස්වදේශික ගෝත්‍රික නායිකා නෙමොන්ටේ නෙන්කිමෝ ලොව ප්‍රමුඛතම පරිසරය සුරැකීම සඳහා වන ගෝල්ඩ්මාන් සම්මානයෙන් පුද ලැබුවා ය. ඒ පසුගිය වසරේදීය. මේ ඇගේ කතාවයි.

නෙමොන්ටේ නෙන්කිමෝ 

"හරිත නොබෙල්" සම්මානය නමින් ලොව ප්‍රකට එම සම්මානය නෙන්කිමෝ හට හිමි වූයේ ඉක්වදෝර රජයේ අනුග්‍රහය මත ඇමෙරිකානු තෙල් සමාගම්වල ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ දැරූ ඇමසන් වැසිවනාන්තරයෙහි අක්කර 500,000 ක භූමි ප්‍රමාණයක් රැක ගැනීම වෙනුවෙනි. 
වඔරනි ගෝත්‍රිකයෝ
ඉක්වදෝර රජයෙහි මැදිහත්වීමෙන් සිදු වීමට ගිය ⁣වන විනාශය වැළැක්වීමට ඇය ක්‍රියා කළේ එරට අධිකරණය හමුවට ගොස් නීතියේ සහාය ලබාගනිමිනි. නෙන්කිමෝ හට තම වඔරනි ගෝත්‍රයේ සහාය උපරිමයෙන් ලැබුණු අතර එරට අනෙකුත් ස්වදේශික ගෝත්‍රික කණ්ඩායම් ද වන විනාශය වළක්වා ගැනීමේ සටනට ඇයට සහාය වූහ.  ස්වභාවික සම්පතින් අනූන ඉක්වදෝර - ඇමසන් වන කලාපයෙහි වෙසෙන වඔරනි ගෝත්‍රයට අයත් පිරිස 5000කි. යසුනි ජාතික වනෝද්‍යානය ද ඇතුළත් කලාපයෙහි සාම්ප්‍රදායික දඩයම් කටයුතු ජීවනෝපාය කර ගත් මොවුන් වෙසෙන කලාපය " ලොව අන් කොතැනකවත් නො වන තරම් ජෛව විවිධත්වක් පවතින " කලාපයක් ලෙස පරිසර විද්‍යාඥයෝ හඳුන්වති. 
යසුනි ජාතික වනෝද්‍යාන කලාපය
1960 දශකයේ සිට ඉක්වදෝරය තුළ සිදු කෙරුණු තෙල් ගවේෂණ කටයුතු නිසා වැසි වනාන්තරවල පැවැත්ම සහ ස්වදේශික වැසියන්ගේ ජනජීවිත අවදානම්කාරී තත්ත්වයකට පත් විය. තෙල් කැණීම් සිදු කළ සමාගම් විසින් ඉවතළූ අපද්‍රව්‍ය ගංගාවලට සහ සරුපසට එකතු වීමෙන් සිදු වූ පාරිසරික හානිය නිසා ජන ප්‍රජාවන් තුළ නො යෙක් රෝගී තත්ත්වයන් පැතිරෙන්නට වූ අතර ක්‍රමයෙන් ස්වදේශික වාසභූමි ද අහිමිවන්නට විය. 

ගෝත්‍රික ජනයාගේ ජීවත්වීමේ අයිතිය පවා අභියෝගයට ලක් කෙරෙමින් කටයුතු සිදුවීම ආරම්භ වූයේ 2018 වසරේදී ය. ඒ, ඉක්වදෝර රජය නව තෙල් ගවේෂණ කටයුතු සම්බන්ධ ගිවිසුම් 16 කට අත්සන් තැබීමත් සමඟ ය.  සංවේදී ඇමසන් පරිසර කලාපයට අත්වීමට යන ඉරණම වෙනස් කිරීමට වඔරනි ස්වදේශික ගෝත්‍ර නායිකාව වන 33 හැවිරිදි නෙන්කිමෝ තීරණය කළා ය. 

සිව් හැවිරිදි දැරියකගේ මවක වන ඇය තමන් අයත් ගෝත්‍රය ඇතුළු අනෙකුත් පෙදෙස්හි වෙසෙන ගෝත්‍ර කණ්ඩායම් ප්‍රාදේශීය වශයෙන් එක්රැස් කර සිදුවීමට නියමිත බරපතල පාරිසරික උවදුර ගැන දැනුවත් කිරීම ආරම්භ කළා ය. එම ප්‍රචාරක කටයුතු සඳහා ඇය භාවිත කළේ ඩිජිටල් තා⁣ක්ෂණයයි. 
"අප වෙසෙන වැසිවනාන්තර විකිණීමට ඉඩක් නැත" යන තේමාව පෙරදැරි කරගෙන ඇය සියලු ස්වදේශික ජනකොටස් වෙත ජීවය කැටි කර ගත් තම සටනෙහි පණිවුඩය සන්නිවේදනය කළා ය. වැසි වනාන්තරය රැක ගැනීමේ ගෝත්‍රික ජන කොටස් දරන වෑයම ව්‍යර්ථ කිරීමට තෙල් සමාගම් එම වැසියන්ට අල්ලස් ලබාදී තමන් වෙත නතු කර ගැනීමට උත්සාහ දැරුවද නෙන්කිමෝ එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට උපක්‍රමශීලීව කටයුතු කළා ය. 

ඒ, ගෝත්‍රික ජන සමාජය තුළ වැසි ජලය රැස් කිරීම, සූර්ය පැනල භාවිතයෙන් කටයුතු කිරීමේ අවස්ථා ජන ජීවිතයට උදා කරදීම සහ කොකෝවා වගාව ප්‍රචලිත කරමින් චොක්ලට් නිෂ්පාදනය ව්‍යාපාරික මට්ටමින් සිදු කිරීම වැනි ව්‍යවසායකත්ව වැඩසටහන් ආරම්භ කරමිනි. 
එමගින් ගෝත්‍රික ජන සමාජය තුළ ජීවනෝපාය සංවර්ධනය ස්ථාවර වූ අතර වැසිවනාන්තරය රැක ගැනීමේ අරගලයට සෑම වැසියකු ම සක්‍රියව දායක කර ගැනීමට ඉවහල් විය. තවද, තරුණ ජන කොටස් සිනමා නිර්මාණකරණයට යොමු කර ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ද අවදානමට ලක්ව තිබූ ඇමසන් වනාන්තර කලාපය රැක ගැනීමේ සටනට දායක කර ගත්තා ය. 

සංවේදී වනාන්තර කලාපය තුළ සිදු වන විනාශය ඡායාරූපයට නගමින් එම සිදුවීම් පිළිබඳ වාර්තා වැඩසටහන් නිර්මාණය කිරීම ද නෙන්කිමෝ මේ තරුණ ජන කොටස්වල සහායෙන් සිදු කළා ය. 

වඔරනි ජනයා වෙසෙන වනාන්තර කලාපය තුළ තෙල් සමාගම් සිදු කරන විනාශය ඩ්‍රෝන කැමරා මගින් වීඩියෝවට නඟා මාධ්‍ය වෙත නිකුත් කරමින් තම සටන නිර්මාණශීලී ලෙස නෙන්කිමෝ ඉදිරියට ගෙන ගියා ය. 
ඉකුත් වසරේ සැප්තැම්බර් මස ටයිම්ස් සඟරාවේ කවරයේ ඡායාරූපය ලෙස සටහන් වූයේ නෙන්කිමෝගේ ඡායාරූපයයි.  

ප්‍රකට සිනමා තරුවක් වන ලියොනාඩි ඩි කැප්‍රියෝ ටයිම්ස් සඟරාවට නෙන්කිමෝගේ සටන ගැන සිය අදහස් පළ කළේය.

"නෙන්කිමෝ තමන්ගෙ සටන තුළ ජීවත් වුනා. මට ඇය සමඟ කතා කරන්න ලැබුන මොහොතෙදි දැනුනෙ පැහැදිලි අරමුණක් එක්ක ඇය නො නවවත්වා ම ක්‍රියා කරමින් සිටි බවයි. තමා ආදරය කරන වනාන්තරය තෙල් සමාගම්වල බලපෑමෙන් ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ඈ මට පැවසුවා. ඇත්තටම ඇය කියූ⁣ දේ එපරිද්දෙන්ම ඉටු කළා. ඇය ගැන මට ඇත්තේ ගෞරවයක්." යයි ඩිකැප්‍රියෝ ටයිම්ස් සඟරාවට සිය අදහස් දක්වමින් කීය. 
2020 සැප්තැම්බර් මස ටයිම්ස් සඟරාවේ කවරය
ඉක්වදෝරයෙහි ජනතාව පමණක් නො ව ලෝකවාසීන්ගේ ද අවධානය යොමු කර ගනිමින් ඇමසන් වන කලාපයට මතුව ඇති තර්ජන ගැන හඬගා කීමට සමත් වූ නෙන්කිමෝ නීති මාර්ගයෙන් ද ඉක්වදෝර රජය අභියෝගයට ලක් කළාය. 

නෙන්කිමෝ නැගූ හඬට සවන්දුන් ඉක්වදෝර අභියාචනාධිකරණය 2019 වසරේදී ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ඉක්වදෝර රාජ්‍යයට අයත් ඇමසන් වන කලාපයේ තෙල් කැණීම් තහනම් කිරීමට ක්‍රියා කළේ ය. 

ගෝල්ඩ්මාන් පරිසර පදනම මගින් වාර්ෂිකව ලොව පුරා විසිර සිටින පරිසර ක්‍රියාකාරීන් හය දෙනකු උදෙසා පිරිනමන 'හරිත නොබෙල්' ත්‍යාගයෙන් 2020 වසර සඳහා වඔරනි ගෝත්‍රික නායිකා නෙමොන්ටේ නෙන්කිමෝ පිදුම් ලැබූයේ මිහිතලයේ පෙනහළු ලෙස සැලකෙන අති සංවේදී පරිසර කලාපයක් රැක ගැනීමේ අති උත්කෘෂ්ට මෙහෙවර වෙනුවෙනි. 

෴සංජය නිල්රුවන් ගුණසේකර
     ගුඩ්වර්ක් නෙට්වර්ක් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom