හොරෙන් ජර්මන් යන්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 7, 2021

හොරෙන් ජර්මන් යන්න හදලා

කූඨ ලෙස තැනූ ජර්මානු වීසා බලපත්‍ර උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනියට පිටත්ව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අද (7) උදෑසන කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 

එයින් දෙදෙනකු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මවක සහ ඇයගේ 9 හැවිරිදි පුතු වන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. 

අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ද ජර්මනිය බලා පිටත්ව යාමට පැමිණි අයෙකි. 

මොවුහු අද (7) උදෑසන 09.55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්වයාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK651 ගුවන් යානයෙන් ජර්මනිය බලා පිටත්ව යාමට ගුවන්තොටුපළ වෙත පැමිණියහ. 

ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් කවුළු වෙත පැමිණි අවස්ථාවේදී එම මගීන් ඉදිරිපත් කළ ගමන් බලපත්වල සටහන් කර තිබූ ජර්මානු වීසා බලපත්‍ර පිළිබඳ මතු වූ ගැටළුවක් මත ගුවන්සේවා නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් ගුවන්තොටුපළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයෙහි නිලධාරීන් වෙත යොමු කර ඇත. 

 දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් කළ මූලික විමර්ශන සහ තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් තහවුරු වූයේ එම පුද්ගලයන් තිදෙනා සතු ජර්මානු වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කර ඇති බවයි. වව්නියා ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා සතුවූ වලංගු ගමන් බලපත්‍රයට අමතරව පැවති පැරණි ගමන් බලපත වෙනත් පුද්ගලයකුගේ තොරතුරු යොදාගෙන සකස් කර තිබූ බව මූලික විමර්ශනයන්ගෙන් තහවුරු විය. 

තවද, එම ගමන් බලපතෙහි තිබූ ඉතාලි, සිංගප්පූරු සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා ද ව්‍යාජ ලෙස සටහන් කළ ඒවා බවත් ගමන් බලපතෙහි සටහන්ව තිබූ පිටසන් ව්‍යාජව සටහන් කර ඇති බවත් අනාවරණය කර ගැනීමට ආගමන හා විගමන නිලධාරීහු සමත් වූහ. 

 මඩකලපුව ප්‍රදේශයේ සිට පැමිණි මව සහ පුතු දෙදෙනාගේ ගමන් බලපත්වල සටහන්ව තිබූ ජර්මානු වීසා බලපත් ද කූඨ ලෙස තනා ඇති බව ද ආගමන හා විගමන නිලධාරීන් සිදු කළ විමර්ශනවලින් තහවුරු විය. 

මෙම මගීන් තිදෙනා සතු වීසා බලපත්‍ර කූඨ ලෙස තැනූ ලේඛන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දෙනු ලැබිණි.

ගුවන්තොටුපොළ
විශේෂ වාර්තාකරුවකුගෙනි

Classified_Ad

Classified_Ad_News_Bottom