අගුසාන් තෙත් බිමෙන් පණිවුඩයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2021

අගුසාන් තෙත් බිමෙන් පණිවුඩයක්

ලොව විසිරී සිටින රාජ්‍යයන් තෙත්බිම් පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීම සඳහා වන තීරණාත්මක රැම්සා ප්‍රඥප්තිය සමඟ බැඳී වසර 50ක් ඉක්ම ගොස් ය. 

වන විනාශය අභිබවමින් තෙත් බිම් ද වැනසෙමින් පාරිසරික සමතුලිතතාව අභියෝගයට ලක්වන තැනකට මිනිසුන් ඇතුළු සියලු සත්ත්ව වර්ගයා එළඹ ඇත. 

සෑම වසරකම පෙබරවාරි 02 දාට යෙදෙන ලෝක තෙත්බිම් දිනය පසු කරන මොහොතක මඳක් නැවතී යළි ' මිනිසා ' ලෙස අපගේ ක්‍රියාකාරකම් සහ අත්හළ වගකීම් පිළිබඳ තෙත්බිමක තතු මතින් දකිමු. 

අගුසාන් තෙත්බිම 

පිලිපීනයේ දකුණු දිගින් පිහිටි මින්දනාඕ දූපතෙහි තද හරිත පැහැය ගත් අගුසාන් වගුරු බිම අවට වනලැහැබ් බහුල ය. 

වනය මැදින් දිවෙන කුඩා ජල තීරයන්හි මෙන් ම ස්වභාවික ජල තටාකයන්හි ඔරු පදිමින් කෙළිදෙලෙන් සිටින දරුවන්ගේ දසුන නිතැතින්ම නෙත ගැටේ. 

අගුසාන් වගුරුබිම වාසභූමිය කර ගත් මනෝබෝ නමැති ස්වදේශික ජනයා පාවෙන නිවාස තුළ තම ජීවිතය ගත කරති. 

වරෙක කුඩා දරුවන්ගේ ක්‍රීඩා පිටිය වන මේ ගොහොරු බිම තවත් විටෙක මනෝබෝ වැසියන්ට ආහාර හා සෙවණ සපයා දෙන වාසස්ථානයයි.

වැසි සමයත් සමඟ ජල රළ නැගෙද්දී උස් පහත් වන පාවෙන නිවාසවල මනෝබෝ වැසියෝ ජීවත් වෙති. 

ජෛව විවිධත්වයෙන් අනූන පාරාදීසයක් බඳු පරිසර පද්ධතියක වසර සියයකටත් අධික කාලයක් තිස්සේ ජීවත් වෙන මේ ස්වදේශිකයන් මසුන් ඇල්ලීම සහ දඩයම සිය ජීවනෝපාය කරගෙන සිටිති. 

දූපතට අයත් භූමියෙන් අක්කර ලක්ෂයක පමණ ප්‍රමාණයක කුරුලු විශේෂ 200ක් පමණ වෙසෙන අතර ක්ෂීරපායීන් උරග විශේෂ සහ නොයෙක් මත්ස්‍ය විශේෂ ද වෙසෙති. 
වැසි සමයක අගුසාන් තෙත්බිම 

තෙත්බිමකින් පරිසර පද්ධතියට ලැබෙන උපරිම ආරක්ෂාව අගුසාන් වගුරු බිමෙන් ද එහි වෙසෙන සියලු ම ජීවීන්ට ලබා දෙයි. 

ආහාර සුරක්ෂිතතාව, සැඩ කුණාටුවලින් ආරක්ෂාව, පොහොසත් කාබන් සංචිතය සහ ජෛව විවිධත්වය අගුසාන් වගුරුබිම ආශ්‍රිතව ප්‍රකට ය. 

එසේ ම වගුරුබිම් පරිසර පද්ධතිය මුහුණ දෙන අභියෝග ද වර්තමානය වන විට උග්‍රවී ඇත. ගං දියෙහි ඉහළ පෙදෙස්හි මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන පරිසර දූෂණය, කාලගුණික වෙනස්වීම් සේ ම ජීවීන්ගේ වාසස්ථාන අහිමිවීම මේ පරිසර පද්ධතියෙහි අපූර්වත්වය ගිල ගනිමින් සිටී. 

පතල් කර්මාන්තය සහ පාම් තෙල් ලබා ගැනීම සඳහා සිදු කරන වගාවන්ගෙන් ජලයෙහි ගුණාත්මකභාවය දුර්වල කිරීමට හේතු වී ඇත. 

තවද, කෘමීන් බහුලව වෙසෙන පෙදෙස් වගාවන් සඳහා එළිකිරීම් සිදු වීම ද පාරිසරික වශයෙන් අභාග්‍යසම්පන්න තත්ත්වයක් මතු කර ඇත. 

මෙයින් වසර පනහකට පෙර, එනම් 1971 පෙබරවාරි මස 2 වැනිදා රටවල් 18ක නියෝජිතයන් ඉරානයේ රැම්සා නුවරට රැස් වී මිහිමත පවතින තෙත්බිම් සුරැකීම උදෙසා අන්තර්ජාතික රැම්සා ප‍්‍රඥප්තිය සම්මත කර ගත්හ. රැම්සා ප්‍රඥප්තියට අත්සන් කර ඇති රටවල් ගණන 171 කි. 

එනමුත් වසර 1971 සිට අද දක්වා නාගරීකරණය සහ කෘෂිකර්මය වැනි මානව ක්‍රියාකාරකම් නිසාත් සාගර ජල මට්ටම ඉහළ යාම නිසාත් ලොව පුරා ඇති තෙත්බිම්වලින් 35%ක් දැනටමත් වියළී ගොසිනි. 

තෙත්බිම් වැනසීයාම ගැන ලෝකවාසීන්ගේ අවධානය පවත්වා ගැනීම උදෙසා සෑම වසරක ම පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කර ඇත. 

මිනිසා හට අත්පත් කර ගැනීමට අසීරු ස්වභාවධර්මයේ දායාදයක් බවට පත්වෙමින් තිබෙන පිරිසිදු ජලය ලබාදෙන මූලාශ්‍රයක් ලෙස තෙත්බිම් සුරැකීමෙහි ඇති වැදගත්කම මතු කිරීම මෙවර තෙත්බිම් දිනයෙහි තේමාවයි. 


බිම් දෙකකට මැදිව පිහිටි අගුසාන් වගුරුබිම ගංගා කිහිපයකින් පෝෂණය ලබයි. වගුරුබිමෙහි පහත් ප්‍රදේශවල තනාගත් පාවෙන නිවාසවල මනාබෝ වැසියෝ ජීවිත් වෙති. 
"තෙත්බිම් හා ඒ ආශ්‍රිතව වෙසෙන ජීවී විශේෂයන් ද සීඝ්‍රයෙන් වියැකෙමින් පවතින අතර තෙත්බිම් මගින් පරිසර පද්ධතියට ලැබෙන දායකත්වය ද අවම වෙමින් පවතිනවා. තෙත්බිම් සුරැකීමේ ප්‍රඥප්තියට බොහෝ රටවල් අත්සන් කර තිබුණත් ඊට එහා ගිය සක්‍රීය දායකත්වයක් අවශ්‍ය බවයි මගේ හැඟීම." යයි ලෝක තෙත්බිම් සම්බන්ධ 2018 රැම්සා වාර්තාව තුළ කරුණු දක්වමින් මැක්ස් ෆින්ලේසන් මහතා සටහන් කළේ ය. 

තෙත්බිම් යනු ? 

නිරතුරුව හෝ විටින් විට කරදිය හෝ මිරිදිය පිටාර ගැලීමෙන් හටගන්නා විවිධාකාර වූ පාරිසරික පද්ධති කිහිපයකින් තෙත්බිම් සමන්විත වෙයි. 

බොහෝ විට වෙරළ තීරයන් ආසන්නයෙහි සෑදෙන තෙත්බිම් පඳුරුවලින් ගහණ විය හැකි සේම ඇතැම් තෙත්බිම් කඩොලාන ශාඛ පැතිරීමක් සහිතව ගොඩබිම දෙසට වන්නට පිහිටයි. වනගහණයෙන් යුතු එම වගුරුබිම් නිරතුරු ජලයෙන් තෙත්ව පවතී. 

ගොඩබිම් පෙදෙසෙහි ඇති වගුරුබිම් ගංගාවන් හෝ අතු ගංගාවලින් පෝෂණය වන අතර පිටාර ගං ජලයෙන් තැනුණු කුඩා විල්වලින් ද යුක්ත වේ. 

පිලිපීනයේ මින්දනාඕ දූපතෙහි පිහිටි පිරිසිදු ජල මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වන අගුසාන් වගුරුබිම වටවී ඇත්තේ වනගහනයෙනි. ඊට අමතරව ගංගා සහ කුඩා විල් 59ක් අගුසාන් වගුරුබිම සාරවත් කරයි. 
පාම් තෙල් ප්‍රවාහනය සඳහා වගුරුබිම් ප්‍රදේශයෙහි තැනෙන අධිවේගී මාර්ගයක 
ඉවතළන ලද සුන්බුන් අසල සිටින මනෝබෝ දරුවෙක් 

 දැනටමත් ලොව පුරා සිටින බිලියනයකට අධික පිරිසක් තෙත්බිම් ආශ්‍රිතව ගොවිතැන, මසුන් මැරීම සහ සංචාරක කර්මාන්තය වැනි ජීවනෝපායන්හි යෙදෙන බවත් තවත් බොහෝ පිරිසක් තෙත්බිම් තම වාසස්ථානය කරගෙන ජීවත්වන බවත් අනාවරණය වී ඇත. 

එපමණක් නො ව මිහිමත වෙසෙන ජීවීන්ගෙන් සියයට හතළිහක ප්‍රමාණයක් තෙත්බිම් තම නිවස්නය කරගෙන සිටිත බවත් තවත් සත්ත්වයින් තම තිඹිරිගෙය ලෙස තෙත්බිම් සලකන බවත් තහවුරු වී ඇත. 

 දැඩි රළ පහරින් වෙරළ ආරක්ෂා කරන කොරල් පරයක් මෙන් හරිත ආවරණයක් ලෙස ද පවතින තෙත්බිම් දැඩි කුණාටුවල බලපෑමෙන් වෙරළ තීරයන් ආරක්ෂා කර ගනී. 

සැඩ කුණාටු මගින් ඇතිවන ජල ගැලීම් අවහිර කිරීම මෙන් ම සුළි කුණාටු මගින් ඇති කරන දැඩි සුළං මගින් සිදු වන බලපෑම ද තෙත්බිම් පරිසර පද්ධතිය නිසා පාලනය වෙයි. 

සමුද්‍රාසන්නයෙහි පිහිටි තෙත්බිමක හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක් විනාශවී ගිය හොත් ඇති විය හැකි සුළි සුළං තත්ත්වයකින් සිදු විය හැකි හානි⁣ය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 33,000ක් පමණ විය හැකි බව විද්‍යාඥයෝ පවසති. 

ඔක්සිජන් නිපදවීම මගින් සිදු කරන අමිල මෙහෙය නිසා ' වනාන්තර' මිහිතලයෙහි පෙනහළු ලෙස සැලකෙන අතර ගංගා ඉහත්තාවෙන් ගලන අපද්‍රව්‍ය පෙරා පිරිසිදු කරන නිසා තෙත්බිම් සැලකෙන්නේ ' මිහිතලයේ වකුගඩු ' ලෙසයි. 

පාම් තෙල් නිපදවන්නන්ගේ ක්‍රියාකාරකම් නිසා වියැලෙන අගුසාන් වගුරුබිමෙහි කොටසක්. 

තෙත්බිමක් අහිමිවීම සැලකෙන්නේ මිනිසකු හට ලැබෙන ආහාර නැවතීම හා සමාන ක්‍රියාවක් ලෙසයි. 

එසේ ම සාරවත් පරිසරයක සාරය ඉවත්ව යාම වැනි වූ සංසිද්ධියකි. ගංගාවන්ට එකතු වන අපද්‍රව්‍ය සහ රොන් මඩ පහළ ගලා එන විට වගුරුබිම් එම අපද්‍රව්‍ය රඳවා ගනී. 

සාගරයෙහි ඇති කොරල් පරවලට රොන්මඩ මගින් සිදුවිය හැකි හානිය ස්වභාවිකව ම ගොඩබිම තුළදී ම වළක්වනුයේ එලෙසිනි. 

එනිසා වගුරුබිම් වැනසීයාම යනු සාගරයෙහි ඇති වටිනාම පරිසර පද්ධතියක් වන කොරල් පර අවදානමේ හෙළීමක් වන බව පරිසර විද්‍යාඥවරියක වන ජේ. හොවාඩ් පවසයි. 

කාලගුණික විපර්යාස පාලනයට නම් අහිතකර වායූන් වායුගෝලයට එකතුවීම සීමා කිරීම ප්‍රමාණවත් නො වන අතර විශාල වනබිම් ස්වභාවික තෘණ බිම් සහ තම මුල් වෙත කාබන් අවශෝෂණය කරගෙන වායුගෝලයෙන් කාබන් ඉවත් කරලීමට උපකාර කරන තෙත්බිම් ද අප ආරක්ෂා කර ගත යුතු බව පරිසර විද්‍යාඥයෝ පවසති.        

'කාබන් බේසම් ' ලෙස ප්‍රචලිත මහා පරිමාණයෙන් කාබන් රඳවාගත හැකි මෙවැනි පරිසර පද්ධතීන් වසරකට කාබන් ටොන් මිලියන ගණනක් ගබඩා කරගෙන මිහිතලයට ඉමහත් සේවයක් ඉටු කරයි. 

 වායුගෝලයට කාබන් එකතුවන කාබන් ගිල්වා තබා ගන්නා මූලාශ්‍රයක් ලෙස පවතින තෙත්බිම්වලට හානි සිදු වුවහොත් කාබන් විමෝචන ප්‍රභවයක් බවට පත්විය හැකි පරිසර පද්ධතිවලින් එකක් බවට තෙත්බිම් පත්විය හැකි බව පරිසර විද්‍යාඥ හොවාඩ් පවසයි. 

පසෙහි සහ ජෛව ස්කන්ධවල ඇති කාබන් ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් තෙත්බිම්වල අන්තර්ගත බව සොයා ගෙන ඇති බව ගණන් බලා ඇත. 

යම් හෙයකින් තෙත්බිම් පරිසර පද්ධතීන් වැනසී ගියහොත් යට කී දැවැන්ත කාබන් සංචිතය ම වායුගෝලයට මුදා හැරෙනු ඇත. 

විසඳුමක් වෙත... 

තෙත්බිම් කෙරෙහි මිනිසුන් දක්වන ආකල්ප අනුව තෙත්බිම් සංරක්ෂණය කිරීම බරපතල අභියෝගයක් බවට පත්ව ඇති බවත්, නිදසුනක් වශයෙන්, සාගරය ඉදිරිපස ඇති දේපල ලාභදායී හෝටලයක් බවට පත් කිරීම හෝ වගුරු බිමක් මිනිස් ක්‍රියාකාරකම්වලින් ඈත් කර හුදකලා කර තැබීම අතර තේරීමක් මහජනයා වෙත ඉදිරිපත් කළ විට, දෙවැන්න කිරීමට මිනිසුන්ට ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කර විය හැකි බව පරිසර විද්‍යාඥ හොවාඩ් පවසයි. 

තෙත්බිම් ඇතුළු පරිසරයට හිමි අයිතීන් ගැන පවතින සාම්ප්‍රදායික හිතීමෙන් මිදී නීතියෙන් සංවේදී පාරිසරික කලාපයන්ට ආරක්ෂාව ලබාදීමට පරිසරවේදීන් කටයුතු කරනු පසුගිය දශක දෙක තුළ නිරීක්ෂණය විය. 

කාබන් සංචිත ගබඩා කරන ස්වභාවික මූලයන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි අවධානය හා සංවාද අප ගත කරන වසංගත සමය තුළ තීරණාත්මක ලෙස කරලියට පැමිණ ඇති බව රැම්සා ප්‍රඥප්තිය පිළිබඳ මහලේකම් මාර්තා රෝජාස් උරේගෝ ප්‍රකාශ කළාය. 

සංවේදී පාරිසරික කලාප අනතුරේ හෙළීමෙන් කෝවිඩ් වසංගතට තුඩු දුන් වෛරසය මෙන් ප්‍රබල වෛරස් මතු වීමේ අවදානමක් පවතින බවට නූතන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

අවාසනාවකට මෙන් මිනිසා සහ පරිසරය සමඟ පවතින නො බිඳිය හැකි සබඳතාව වටහා ගැනීම අසමත් වීම නිසා හට ගෙන ඇති බිහිසුණු ප්‍රතිඵල අප අද අත්විඳිමින් සිටින මොහොතක පරිසරය යනු ම අප ජීවිතයේ අනෙක් අර්ධය ම බව සිහි තබා ගැනීම වැදගත් බව මහලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය. 

෴සංජය නිල්රුවන් ගුණසේකර 
     නැෂනල් ජියෝග්‍රැෆික් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom