Main Logo

Monday 25 January 2021

ජාත්‍යන්තර ජඩමාධ්‍ය හා බටහිර වෙදකම

 

ජාත්‍යන්තර ජඩමාධ්‍ය හා බටහිර වෙදකම



දැනට අවුරුදු විස්සකට පමණ පෙර වෙසක් දිනයක බීබීසි ගුවන්විදුලිය (බීබීසියෙ අගුපිලේ තියෙන සංදේශය නොවේ) මගෙන් ඇහුවා ලංකාවෙ වෙසක් උත්සවය පවත්වන්නෙ කොහොමද කියල. මා කිවුවෙ මුතුන් මිත්තන් පවත්වපු ආකාරයට අපි වෙසක් සමරනව කියල. ඔහුට අවශ්‍ය වෙලා තිබුණෙ මේ ප්‍රාථමික ආගමක් අදහන මිනිස්සු ඒ ආගමානුකූල ව වැඩ කරන්නෙ කොහොම ද කියල එංගලන්තෙ මිනිසුන්ට කියල දෙන්න බව මට තේරුණා. ලංකාවෙ කිසිම මාධ්‍යවේදියකු එංගලන්තෙ කාගෙන් හරි අහනවා ද නත්තල පවත්වන්නෙ කොහොමද කියල. මේ තමයි දැනුම් ආධිපත්‍යය. දැනුම් යටත්විජිතවාදය. ලංකාවෙත් සමහර පඬි නැට්ටන් කියන්නෙ බුද්ධාගම ප්‍රාථමික ආගමක් කියල.



ඔය සංදේශයට බීබීසිය එතරම් සලකන්නෙ නැහැ. එංගලන්තෙට ඕන තම පැරණි යටත්විජිතවලට තම පණිවුඩය තම මතවාද දෙන්න. ඒ සඳහා ඔවුන් බීබීසියෙ අගුපිල්වල පොඩි පොඩි කාමරවල සංදේශය වගේ ඒ ඒ භාෂා සේවා පවතවගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය පුද්ගලයන් ඔවුන් සේවයට බඳවා ගන්නවා.



කලකට පෙර සංදේශයෙ ප්‍රධානියා වුණෙ හෙද සේවයෙ නිරත ව සිටි පිරිමියෙක්. සිංහලෙන් කියනව නම් මේල් නර්ස් කෙනෙක්. එහෙමත් නැත්තන් හෙද මහතෙක්. ඔහු මටත් දවසක් ඔහුගෙ වැඩ සටහනකට සහභාගි වීමට ආරාධනය කර තිබුණා. ඔහුගෙ සදාචාරය අනුව ඔහු මට නොකියා ම සාකච්ඡා පටිගත කරන්න පටන් ගත්ත. ටික වෙලාවක් ගියාට පස්සෙ මට ඔහුගෙ සදාචාරය තේරුණා. මා ඒ බව ඔහුට පවසා දිගට ම සාකච්චාව කර ගෙන ගියා. ඔහුගෙ සදාචාරය මට ප්‍රශ්නයක් වුණෙ නැහැ. ලංඩනයේ පදිංචි ඩග්ලස් වික්‍රමරත්න එයට සාක්‍ෂි.



ඒ කාලෙ ඔය සාම සාකච්ඡා යුගය. බීබීසියට ඕන වුණෙ මට මඩගහන්න. ඒ අප කොටි හමුදා මෙහෙයමුකින් පරාජය කරන්න ඕන කිවු නිසා. ඒ හෙද මහතාට අවශ්‍ය වුණෙ මගේ නමේ දේවාදිත්‍ය කොටස ලැබුණෙ කොහොමද, මා සිංහල නොවෙයි ඉන්දීය කියල කතාවක් ගොතන්න. හෙද මහතාට මගේ ජාතකේ මා කියල දුන්න. මට ඒ ඒ අයගෙ ජාතක කතා ලියන්න පුළුවන්. ඒවා බෝසත් ජාතක කතා නම් නො වෙයි.



අපට පුරුදු කරල තියෙන්නෙ බීබීසිය අපක්‍ෂපාත මාධ්‍යයක් කියල හිතන්න. අපි නොදන්න ජඩමාධ්‍ය කිවුවලු. මට මේ සියල්ල මතක් වුණෙ පහුගිය දා ජාත්‍යන්තර ජඩමාධ්‍ය පවිත්‍රා දේවිට දුන්න ප්‍රචාරය දැකල. ජාත්‍යන්තර ජඩමාධ්‍ය ලංකාවට සාමාන්‍යයෙන් ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. ජාත්‍යන්තර ජඩමාධ්‍යයට අවශ්‍ය වුණෙ පවිත්‍රා යකුදූරෙක්ගෙන් හරි මන්ත්‍රකාරයකුගෙන් හරි ඔහුට අනුව ගත්තොත් කොවිඩ් හැදෙන්නෙ නැති බව කී පැණියක් බීල කොවිඩ් හැදුණ කියල කියන්න. මේ ප්‍රචාරයට එංගලන්තෙ ඉන්න මෙහෙන් ගිය බටහිර වෙද මහතකු තැවෙනවා අපි මෝඩයන් ලෙස බටහිරයන් සලකන්න තිබුණ කියල. ඔහු යම්තම් හරි සතුටට පත්වෙලා මැඩගස්කරයෙ ජනාධිපතිත් පහුගිය වසරෙ රෝගය නැවැත්විය හැකි දේශීය ප්‍රතිකාරයක් ගැන බීබීසිය සඳහන් කළා කියල.



මෙයට වඩා දීන මනසක් පුද්ගලයකුට තිබිය හැකි ද? බටහිර ජඩමාධ්‍ය අපේ දැනුමට ගරහන විට මේ වෙද මහතා එයට ප්‍රතිචාර දක්වන්නෙ ඉතාමත් දීන විධියට. මේ බටහිර වෙද මහතා එංගලන්තෙ ඉඳන් අප දැනුවත් කිරීම සඳහා සතිපතා ඉංගිරිසියෙන් ලියනවා. මට කල්පනා වෙන්නෙ ඔහුට එංගලන්තයෙ පත්තරයකට, ටයිම්ස්, ගාඩියන්, ඉන්ඩිපෙන්ඩන්ට් නෙවෙයි වෙනත් පත්තරයකටවත් සතිපතා ලිපි පෙළක් ලිවීමට ඉඩ දේ ද කියල. ඔහු බටහිර වෙද මහතකු හැටියට බටහිර වෙදකමට එකතු කරල තියෙන අලුත් දැනුම මොකක් ද කියල.



ජාත්‍යන්තර ජඩමාධ්‍ය, කසිකබල් මාක්ස්වාදීන්ට අනුව නම් ධනපති මාධ්‍ය, වැඩ කරන්නෙ බටහිරයන්ගෙ මතය දැනුම දීමට පමණයි. ඔවුන්ට අනෙක් දැනුම් මිථ්‍යා. මේ කාරණේදි මාක්ස්වාදීන් ලිබරල්වාදීන් ඔක්කොම අත්වැල් බැඳ ගන්නවා. මාක්ස්වාදීනුත් දැනුම් යටත්විජිතවාදයෙ ඒජන්තයන්. ව්‍යාජ සමාජවාදීන්ට වමක් නැතිවත් ඉන්න පුළුවන් එක් පැත්තකින් බීබීසිය වැනි ආයතන ඔවුන්ට අනුග්‍රහ දක්වන නිසා. ව්‍යාජ සමාජවාදීන් කියන්නෙ ලෝකයේ කිසි දා නැති නොවන සමාජ අසාධාරණය ජාත්‍යන්තර ව ම විසඳන්න ඕන කියමින් බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර අධිපතිවාදී සංස්ථාපනය දිගට ම පවත්වාගෙන යෑමට උපකාර වන පිරිසක්. සමාජ අසාධාරණය නැති කිරීම ගැන පුටින් කියල දේවි.



බටහිර වෙද මහතුන්ගෙ ජාත්‍යන්තර ජඩමාධ්‍යයෙ සියලු අපහාස මැද පැණිය තවමත් තියෙනවා. තවමත් පැණිය අවශ්‍ය පිරිස ඉන්නවා. අවුරුදු එකසිය පනහක බටහිර වෙදකම ඉගැන්වීමෙන් පසුවත් ඊනියා මිථ්‍යා මත පළවා හරින්න බැහැ. ඒ සියල්ල පැත්තකින් තියල අර අනුරාධපුරේ පරික්‍ෂාවට ලක්වෙන රෝගීන්ට පැණිය දෙන්න ඉඩ හරින්න. ඒ රෝගීන් පැණිය වස කියා, ගන්නෙ නැත්තෙ තමන්ගෙ අවශ්‍යතාවකට වෙන්න බැහැ.



ලංකාවෙ කී දෙනෙක් පැණිය වස කියල හිතනවා ද? ඔය බටහිර විද්‍යාවට අනුව ම නේද පැණිය වස නෙවෙයි කියල කියන්නෙ. එහෙම තියෙද්දිත් බටහිර වෙද මහත්වරු හරි කවුරු හරි බටහිර යටත්විජිතවාදයේ නියෝජිතයන් පැණිය වස කියනව නම් එයින් කියන්නෙ තමන් ගැතිකම් කරන දැනුම් යටත්විජිතවාදයේ දැනුම ගැනවත් ඔවුන්ට විශ්වාසයක් නැති කම ද? සියලු දැනුම් අවසානයේ දී විශ්වාසය මත පදනම් වෙනවා.



පවිත්‍රා දේවිවත් පියල් නිශාන්තවත් මස්මාංශවලින් තොරව උදේ සවස එක දිගට දෙන දෙකක් පැණිය ගත්ත ද? ඔවුන් පාර්ලිමේන්තුවෙ හරි වෙනත් තැනක හරි පැණිය එක් වරක් පමණක් ගන්න ඇති. පාරම්පරික වෙදකම ආහාරපාන වත් පිළිවෙත් ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ එක්තරා ආකාරයකින් ගත්තම හෙදකම. නැහැ අර බීබීසියෙ හෙද මහතාගෙ හෙදකම නොවෙයි. පාරම්පරික වෙදකමේ වෙදකමයි හෙදකමයි එකට යන්න ඕන.



වතුපිටිවල දි පැණිය යම් පිරිසකට දීල සාර්ථකත්වයක් ලබල තියෙනවා. ඒක නිල නොවන පරීක්‍ෂාවක් වෙන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ නිල පරීක්‍ෂාවට අකුල් හෙළීම. පැණිය වස ය කියා රෝගීන් බිය කිරීම. තම දැනුම් ආධිපත්‍යය රැක ගැනීම සඳහා බටහිර දැනුම් ගැත්තන් නොකරන දෙයක් නැහැ. ධම්මික වෙදමහතා තම ක්‍ෂෙත්‍රයෙහි කර ඇති විධියට බටහිර වෙදකමේ අලුත් ප්‍රතිකාරයක් නියම කළ බටහිර වෙදමහතුන් කී දෙනකු ලංකාවෙ ඉන්නවා ද? ඒ සම්බන්ධ පත්‍රිකා The Lancet සඟරාවෙ හරි වෙනත් සඟරාවක හරි පළ කරල තියෙනවා ද? දි අයිලන්ඩ් පත්තරේටවත් එවැන්නක් ගැන ලියල තියෙනවා ද? කාලයට ලිවුවොත් අප පළ කරන්නම්. සිංහලෙන් බැරි නම් ඉංගිරිසියෙන් ලියන්න.



වෙලාවක් තියෙනවා නම් චීන වෙදකම ගැන ලියා ඇති පහත සබැඳියේ සඳහන් පත්‍රිකාව කියවන්න.


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.ncbi.nlm.nih.gov%2Fpmc%2Farticles%2FPMC7439087%2F%3Ffbclid%3DIwAR2G-7lbqjGvIB75UIoJlFvL7YhF9XxRYoEYdexYS8HQB6eutjmZhe_y_6A&h=AT1owgOVGowD-IkyqRneqCTZCvw-b79UTcwMgGtYt0N-8CnxJAZOpdVb2xnl-MXxFTqzF1TuHYV8p2URvmbCLZ-CtAqFY3OIR9Lhzj7m5XodthYI7c8rC72o3ntRo78DY-7t&__tn__=R]-R&c[0]=AT1g3wJxkBdHlix1-v8Cbi9XJ09hUpVS9A9uTZcKpkFPaK-snpkOJFsaCM4xpObCkiWJ0MXW7vPKaLCwOPoOfBMa7guESfekYc990QFznGyl5fmW7n_1TXlQDDHPNJzSdVwY7UX6A26M5MQbWBtYIoe75xhKi63qcODTCsIEVvPcQgmlgg