ඕස්ට්‍රේලියානු බළධාරීන්ට තරු පෙන්වූ Shasriගේ Zoom ඇමතුම

926

ක්‍රිකට් වංශකථා පොත් අලුත් කරමින් නිමාව දුටු ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සම්බන්ධයෙන් මේ දිනවල ක්‍රිකට් ප්‍රජාවේ අවධානය යොමුව තිබෙන්නේ තරගාවලිය අතරතුර සහ ඊට පෙරාතුව සිදු වූ ඇතැම් රසවත්, සැඟවුණු සිදුවීම් එකිනෙක මේ වන විට හෙළිදරව් වෙමින් පවතින නිසාවෙනි.

සාමාන්‍ය තරග සංචාරයකට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගත් මෙම ඕස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භයේ පටන් දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති පද්ධතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු රජය උපදෙස් ලබා දී තිබුණේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් වගකීමට බැඳී සිටින නිසාවෙනි.

ඒ අනුව ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට ප්‍රථමයෙන් ඩුබාහී දින 14ක කාලසීමාවක් නිරෝධායන නීති රීති යටතේ කටයුතු කිරීමට ඉන්දීය කණ්ඩායමට සිදු වූ අතර ක්‍රීඩකයින් 7දෙනෙකුගේ පවුලේ සාමාජිකයින් ද ඔවුන් සමඟ එක්ව සිටි නිසාවෙන් සියලු දෙනාටම එම ලබා දුන් ජෛව-ආරක්ෂණ උපදෙස් පිළිපැදීමට සිදු විය.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව බලා නික්ම යාමට පැය 48ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී එරට රජය විසින් ඉන්දීය කළමනාකාරිත්වය දැනුවත් කරමින් සඳහන්කොට තිබුණේ ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයින් කණ්ඩායමත් සමඟ පැමිණෙන්නේ නම් ඊට අවසර ලබා දිය නොහැකි බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ වන විටත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම පවුල්වල සාමාජකයින් ඩුබායී හී ඔවුන් සමඟ නවාතැන් ගෙන සිටි නිසාවෙන් ඕස්ට්‍රේලියානු රජයේ එම අනපේක්ෂිත තීන්දුව සම්බන්ධයෙන් කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දැක්විය යුතු ද යන්න තමන් හට එක්වරම සිතාගත නොහැකි වූ බව ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු R Sridhar Youtube නාලිකාවක් ඔස්සේ පැවති සංවාදයක් අතරතුර දී සඳහන්කොට සිටියා.

“අපි ඩුබායිවල නිරෝධායනය ක්‍රියාවලියේ නියැලිලා ඉන්නකොට, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට යන්න හරියටම පැය 48ක වගේ කාලයක් ඉතිරි වෙලා තියෙද්දී ඔවුන් අපිට දැනුම් දෙනවා ක්‍රීඩකයින්ගේ පවුල්වල උදවියට ඕස්ට්‍රේලියාවට එන්න අවසර දෙන්න බැහැ කියලා. ඔන්න ඔහොම තමයි සුබ මොහොතෙන් ඕස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ වුනේ. තරගාවලිය පටන් ගන්නත් කලින්ම අපිව මානසිකව වට්ටන්න එයාලා වැඩ කටයුතු සැලසුම් කළේ ඔහොමයි.”

“ඔය වෙලාවෙ දී තමයි ප්‍රධාන පුහුණුකරු Ravi Shastri මහත්මයා මැදිහත් වෙලා ගැටලුව නිරාකරණය කරන්න ගත්තේ. ඔහු දෙපාරක් නොහිතා Zoom සාකච්ඡාවක් අරගත්තා අදාළ පාර්ශවයන් එක්ක මේ ගැන කෙළින්ම කතා කරන්න ඕන නිසා. ඔහු තරයේ කියා සිටියා ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයින්ට ඕස්ට්‍රේලියාවට එන්න අවසර ලබා දෙන්නේ නැත්තන් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එන එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඔහු කිව්වා පුළුවන් දෙයක් කරන්න කියලත්.”

Ravi Shastri මහතාගේ මැදිහත් වීමෙන් අනතුරුව තමන් විසින් ඉදිරිපත් කළ නීති මාලාවේ වෙනසක් සිදු කිරීමට කටයුතු කළ ඕස්ට්‍රේලියානු රජයේ නිලධාරීන් ඒ අනුව ඔවුන් ලබා දුන් තීන්දුව වෙනස් කිරීමට කටයුතු කොට තිබුණේ පැනවූ තහංචි සියල්ල නැවත හකුළා ගනිමිනි.

“මට වඩා ඕස්ට්‍රේලියාව ගැන වෙන කවුරුත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. මොකද අවුරුදු 40ක් ඉඳන් ඔය රටට මම යනවා එනවා. එයාලා එක්ක ගනුදෙනු කරන්න ඕන විදිය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා” යනුවෙන් Shastri මහතා තමන් සමඟ පැවසූ බව Sridhar මහතා සාකච්ඡාව අවසානයේ සඳහන්කොට සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<