Main Logo

Saturday 23 January 2021

ට්‍රම්ප් ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්

 ට්‍රම්ප් ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්


ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ එක්සත් රාජ්‍යවල ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්. ඔහු ජනාධිපති පදවියට තෝරාපත් කර ගත් දිනයෙ තමයි මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවෙ සම්මන්ත්‍රණයක් පැවැත්වුණෙ. එයට එවකට බලයේ නොසිටි මහින්ද රාජපක්‍ෂත් සහභාගි වුණා. මා එදින කිවුවා ට්‍රම්ප් මහින්ද වැනි අය ජාතිකවාදී නායකයන් කියා. අපට ජාතිකවාදය කියන එක අලුත් දෙයක් නො වෙයි. ඒත් බටහිරට එය නැවතත් අලුත් දෙයක් වෙමින් තිබුණෙ. 


බටහිර යුරෝපයේ පාප් වහන්සේට විරුද්ධව ජාතිකවාද ඇති වුණත් කල් ගත වීමෙන් පසු ජාත්‍යන්තරවාදයක් ශක්තිමත් වුණා. ඒ ජාත්‍යන්තරවාදය පහළොස්වැනි සියවසේ ඉතාලියේ ඇති වූ චින්තන විප්ලවයේ ම ප්‍රතිඵලයක්. ඉන් පෙර තිබූ කතෝලික චින්තනයත් ජාත්‍යන්තරවාදී සාමූහිකවාදී එකක්. ඒ ජාත්‍යන්තරයේ ප්‍රධානියා වුණේ පාප් වහන්සේ. පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවය සාමූහිකත්වයට එරෙහි ව ගිය එකක්. එය පෞද්ගලිකවාදී එකක්. ඊනියා ජාතික රාජ්‍ය ඇති වීමටත් ඒ චින්තනය බලපෑවා. 


එහෙත් ඒ පෞද්ගලිකවාදය යටින් ජාත්‍යන්තරවාදයක් ක්‍රියාත්මක වුණා. පෞද්ගලිකත්වය ජාත්‍යන්තර මූලධර්මයක් වුණා. කතෝලික චින්තනයේ සාමූහිකවාදී ජාත්‍යන්තරය වෙනුවට නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ පෞද්ගලිකවාදී ජාත්‍යන්තරයක් ගොඩ නැගුණා. බටහිර විද්‍යාවෙහි, බටහිර තාක්‍ෂණයෙහි මෙන් ම ධනවාදයෙහිත් මේ පෞද්ගලිකවාදී ජාත්‍යන්තරය දකින්න පුළුවන්. මාටින් ලූතර් පෞද්ගලික දෙවියන් වහන්සේ ගැන කතා කළත් රෙපරමාදු ප්‍රතිසංස්කරණ හරහාත් ගොඩ නැගුණෙ ජාත්‍යන්තරවාදී පල්ලි. මෙතෝදිස්ත පල්ලිය හරි ඇංග්ලිකන් පල්ලිය හරි ජාත්‍යන්තරවාදී වුණා. පාප් වහන්සේ වෙනුවට කැන්ටබරියේ ආච්බිෂොප්තුමා ජාත්‍යන්තර ඇංග්ලිකන් සභාවේ (පල්ලියේ) නායකයා වුණා. 


බටහිර විද්‍යාව හා බටහිර දැනුම ඊනියා ජාත්‍යන්තර විද්‍යාවක් හා ජාත්‍යන්තර දැනුමක් බවට පත් වූයේත් මේ නව ජාත්‍යන්තරවාදයේ ප්‍රතිඵල ලෙස. මෙහි එක් ප්‍රතිඵලයක් වුණේ ලෙනින් කතා කළ අධිරාජ්‍යවාදයක් ගොඩ නැගීම. එහෙත් ඒ අධිරාජ්‍යය හුදෙක් දේශපාලන අධිරාජ්‍යයක් වුණෙ නැහැ. එය හෙගමනියක් (රාජ්‍යන්තර ආධිපත්‍යයක්) බවට පත් වුණා. එය දැනුමෙහි ද සංස්කෘතියෙහි ද වෙනත් ක්‍ෂෙත්‍රවල ද දැක ගන්න පුළුවන්. මේ රාජ්‍යන්තර ආධිපත්‍යයෙහි භාෂාව ඉංගිරිසි වුණා. බිරිතානි අගමැති ආධිපත්‍යයෙහි දෘශ්‍යමාන නායකයා වුණා. එහෙත් රාජ්‍යන්තර ආධිපත්‍යයෙහි නායකයා වියුක්තයක්. නව චින්තනයෙහි වියුක්තය සංයුක්තය පරදවා ඉදිරියට ආවා.


ඊනියා දෙවැනි ලෝක යුද්ධයත් සමග රාජ්‍යන්තර ආධිපත්‍යයෙහි දෘශ්‍යමාන නායකයා වුණෙ එක්සත් රාජ්‍යවල ජනාධිපති. ඒත් මේ රාජ්‍යන්තර ආධිපත්‍යය දැක ගන්න පුළුවන් සංයුක්ත එකක් නො වෙයි. සංයුක්තය හා වියුක්තය අතර වෙනස නොතේරෙන අයට මා මේ කියන කිසිවක් තේරෙන්නෙ නැහැ. වියුක්තය ඇත්තේ දෘශ්‍යමානයට යටින්. මෙහි දෘශ්‍යමානය යන්නට මනසින් මවාගත හැකි දේත් අඩංගු වෙනවා. ඒ ඒ අයගේ සංයුක්තය වෙනස් වෙනවා මනසින් මවාගත හැකි දේ අනුවත්. ඒ කොහොම වුණත් රාජ්‍යන්තර ආධිපත්‍යය ක්‍රියාත්මක වන සංස්ථාපනයක් තියෙනවා. එයට මා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ජාත්‍යන්තරවාදී සංස්ථාපනය කියා කියනවා. මෙය ක්‍රියාත්මක වන ආයතන ලෙස එක්සත් රාජ්‍ය ජනාධිපති ධුරය, එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන ආදිය දැක ගන්න පුළුවන්. මේ දිනවල නිතර කතා කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉන් එකක්. 


මේ සංස්ථාපනය නැත්නම් රාජ්‍යන්තර ආධිපත්‍යය අද කඩා වැටෙමින් තියෙන්නෙ. ට්‍රම්ප් එය මොන විධියකට හරි තේරුම් ගත් ප්‍රථම එක්සත් රාජ්‍ය ජනාධිපති. ඔහු ඉතිහාසගත වන්නේ ඒ නිසා. ඔහු ඉතිහාසයෙ සන්ධිස්ථානයක ජනාධිපති. ඔහු ඇමරිකාව ජාත්‍යන්තර නායකයා හැටියට දැක්කෙ නැහැ. ඔහු අලුතෙන් යුද්ධයක් පටන් ගත්තෙ නැහැ. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කීමෙන් පෙන්නුම් කරන්නේ සවිඥානික ව ඒ වෙනුවෙන් වැඩ කර ඇති බවයි. ඔහු යම් ආකාරයකට එංගලන්ත අගමැති ජොන්සන්ට ආදර්ශයක් වුණා. ජොන්සන්ට අවසානයේ දී යුරෝපා සංගමයෙන් කැඩෙන්නත් ට්‍රම්ප්ගෙ ආකල්ප බලපාන්න ඇති කියල හිතෙනවා. 


එංගලන්තය හා පසුව එක්සත් රාජ්‍ය තමයි රාජ්‍යන්තර ආධිපත්‍යයෙ දෘශ්‍යමාන නායකයන්. ඒ රටවල් දෙකට ම අද තේරෙමින් පවතින්නෙ ඒ ආධිපත්‍යයෙ බිඳ වැටීමයි. ජර්මනියටවත් ප්‍රංශයටවත් ඒ තැනට එන්න බැහැ. අද ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන්න පුළුවන් දේ මොකක් ද?  කොවිඩ් එන්නත ගැන ඔවුන්ගෙ අනුමැතිය එනකන් කවුද බලා ඉන්නෙ. පඬි නැට්ටන් කියන්න පුළුවන් එකලත් කිසිවකු ලෝක සෞඛ්‍ය සංවිධානය දිහා බැලුවෙ නැහැ කියල. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ අනුමැතිය බොහෝ විට අවශ්‍ය වුණා. 


බයිඩන් නැවතත් තම රට ලෝක නායකයා බවට පත් කරන්න උත්සාහ ගනීවි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ තමයි වැඩියෙන් ම ඊනියා ජාත්‍යන්තර කතා කියන්නෙ. ඒත් බයිඩන්ට කඩා වැටෙන රාජ්‍යන්තර ආධිපත්‍යය නගා හිටුවන්න බැහැ. ඔහුට සිද්ධ වෙන්නෙ නැවතත් ඊනියා ලෝක නායකයා වෙන්න උත්සාහ කරන්න පමණයි. 


ට්‍රම්ප්ට විරුද්ධ ව දෝෂාභියෝගයක් සම්මත කර ගත්තෙ නැත්තන් ඔහු නැවත ජනාධිපති වෙන එක වළක්වන්න බැහැ. ඒ කාලෙ වෙන විට බයිඩන් මොනව කළත් කමලා හැරිස් සහ තවත් එවැන්නන්ට මොන තැනක් දුන්නත් ඊනියා ජාත්‍යන්තර කතා දුර්වල වෙලා එක්සත් රාජ්‍යයන්ට ආවේණික වූ ජාතිකත්වයක් තහවුරු  වේවි.