දැයෙන් සමුගත් සන්නිවේදනයේ සාන්තුවරයාණෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 23, 2021

දැයෙන් සමුගත් සන්නිවේදනයේ සාන්තුවරයාණෝ

‘ඇවිදින විශ්ව කෝෂය’ හා ‘සන්නිවේදනයේ සාන්තුවරයාණන්’ ලෙසින් ගරුබුහුමන් ලැබූ අප අතර ජීවත්වූ වයෝවෘද්ධතම පත්‍රකලාවේදියා වූ එඞ්වින් ආරියදාස මහතා එතුමාගේ යුග මෙහෙවර අවසන් කොට පසුගිය 22 වැනිදා අභාවප්‍රාප්ත වුණා. එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදායි. 

ඒ අනුව එතුමා මිය යන විට 98 වසර පසු කරමින් සිටියා.සන්නිවේදකයන් වන අප එතුමාගෙන් ලද දැනුම් සම්භාරය මෙතෙකැයි කිව නො හැකියි. අපට මග පෙන්වන්නට අද වගේ සන්නිවේදන පාඨමාලා නොතිබුණු අපේ තරුණ කාලේ අපගේ පරමාදර්ශය වූයේ එතුමායි. සන්නිවේදන පාඨමාලා වැහි වැහලා ඇති අදත් අපේ නව පරපුර වෙනුවෙන් පවා ඒ පරමාදර්ශ තත්වය එසේ ම නොවෙනස් ව එතුමා මිය යනතුරු ම පැවතුණා.

‘සාහිත්‍යරත්න, රෝහණප්‍රදීප, කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස - ජාතියේ සන්නිවේදන ගුරු’ වශයෙන් එතුමා අපේ ජාතියේ නොමඳ ගෞරවයට පාත්‍ර වුණා. සන්නිවේදනය අපේ එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරන්නක් බවට පත් කළේ එතුමායි. මීට අඩ සියවසකට පෙර ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිව සිටිය දී 1969 දී ආරම්භ කළ දෙහිවල කණිෂ්ඨ විශ්ව විද්‍යාලයේ මුල්වරට ජන සන්නිවේදනය විෂයයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළේ එතුමාගේ මග පෙන්වීම යටතේයි. ඒ කාලේ මේ විෂය හඳුන්වන්නට එතුමා දී තිබුණු නම ‘ජන විඥාපනය’යි. අපේ රටේ විධිමත් අධ්‍යාපනයක් ලත් මුල් ම සන්නිවේදක වෘත්තිකයන් පිරිස බිහිවුණේ එතැනින්. ඉන් පසුව 1973 කැලණිය විශ්ව විද්‍යාලය ජන සන්නිවේදන පාඨමාලාව ආරම්භ කළ අවස්ථාවේදීත් ඊට එතුමාගේ සහය ඉහළින් ම ලැබුණු බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඒ දවස්වල ම මා සමග කීවා මට මතකයි.

ඒ විතරක් නෙවෙයි සන්නිවේදනයේ නියැළි වෘත්තිකයන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඇරඹුණු ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවට ද එතුමාගේ සහාය ඒ අයුරින් ම ලැබුණු බව මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මෙන් ම ඒ පාඨමාලාවට සක්‍රියව දායක වූ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු වූ දිවංගත ඞී. එෆ්. කාරියකරවන සූරීන් ද ප්‍රශංසා මුඛයෙන් මා සමග කීවා මතකයි. එපමණක් නොව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේත් ඒ වාගේ ම විවෘත විශ්ව විද්‍යාලයේත් ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලා ආරම්භයේ දීත් එතුමාගේ දායකත්වය ලැබුණා. 
කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා.

මීට වසර දශක පහකට පෙර එතුමා මා සමඟ කී කතාවක් මෙහි දී මට සිහිපත් වෙනවා. එදා අප දෙදෙනා සිරිත්පරිදි අප අයත් වූ පුවත්පත්වල දවසේ වැඩ අවසන් කොට ගෙදර යන ගමන් කොටුවේ පැගෝඩා හෝටලයේ දී පෝව්චියක් පුරා තේ රස විඳින අතරතුරදියි, මේ කතා බහ ඇති වුණේ. ඒ දවස්වල අපේ සහෝදර පත්‍රකලාවේදීන් කීපදෙනෙකු සය මසක පුහුණු පාඨමාලාවක් සඳහා එංගලන්තයට ගොස් සිටියා. 

‘ඒ පුහුණුව අපට මෙහෙ දෙන්න බැරිද ?’ මා එතුමාගෙන් ඇසුවා. ‘බැරිකමක් නැහැ. අපට ඒ සඳහා ඕනැ තරම් දක්ෂ, පලපුරුදු පත්‍රකලාවේදීන් මෙහේ ඉන්නවා. පන්ති කාමරයක නැතත්, දැන් ඔහෙත් වැඩ කරන ගමන් ඔවුන්ගෙන් ඉගෙන ගන්නව නොවැ. ඒත් අනාගතයෙදි මේ තත්වය තවත් වැඩි වෙලා පත්‍රකලාවේදීන්ට ලොකු ඉල්ලූමක් ඇති වේවි. මේ සඳහා වෘත්තීය පාඨමාලා ඇති කරන්නත් අපට සිද්ධ වේවි. ඒ විතරක් නෙවෙයි අනාගතයේ දී මෙය අපේ පාසල්වල විෂයයක් බවටත් පත් වේවි.’ වසර පනහකටත් පෙර එදා එතුමා කීවේ අනාගත වක්තෘවරයකු ලෙසයි.දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන අතර ලේක්හවුසියේ අනෙක් පුවත්පත් කතුවරුන්ගේ ඉල්ලීම මත ඒ හැම එකකටම එතුමා ලිපි සැපයුවා. එතුමා ලේක්හවුසියෙන් විශ්‍රාම ගත්තේ ‘නවයුගය’ කර්තෘ හැටියටයි. 

සිය නමින් මෙන් ම ‘ජනක’ කියන අන්වර්ත නාමයෙන් ද එතුමා ඒවාට සැපයූ ලිපි දස දහස් ගණනක්. පුවත්පත් කලාව, කාලීන ලෝක පුවත්, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, සාහිත්‍යය, විද්‍යාව, බුදුදහම ආදී කුමන ක්ෂේත්‍රයක වුවත් දෙන ලද ඕනෑම මාතෘකාවකට අනුව සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් එසැණ ලිපියක් ලියාදීමට හෝ දේශනයක් පැවැත්වීමට එතුමන්ට පුළුවන්. එසේ ම එය අවස්ථාවට උචිත පරිදි පාඨකයන්ට වැටෙහෙන ආකාරයට ඊට සුදුසු සරල නිරවුල් බස්වහරකින් කරන්නත් එතුමාට හැකියාව තියෙනවා. එවැනි හැකියාවක් ඇති තවත් අයකු මට නම් නම් කළ නොහැකියි.

භාෂා හා වාග් විශාරදයකු ලෙසත් ආරියදාස මහතාගේ සේවය අපට, රටට, ලැබුණා. අපට නුහුරු අලුත් විෂයයක් හඳුන්වා දෙන හැම විට ම එතුමා අලුත් සිංහල වචනත් ඒ සමග අපට හඳුන්වා දුන්නා. පුවත්පත් කලාවේදීන් වශයෙන් බොහෝ විට අපට කාලයත් සමග සටන් කරන්නට සිදු වූ නිසා ඉංග්‍රීසි වදනකට සුදුසු නව සිංහල වදනක් තනා ගන්නට භාෂා විශාරදයන් හමුවීමට ඉඩක් තිබුණේ නැහැ. ඒ ගැටලු එසැණින් විසඳා ගැනීමට අපට හැම විට ම උදවු කළේත් එවැනි වදන් තනා ගැනීමට අපව හුරු කළේත් එතුමායි.වරක් පුස්තකාලවේදය හැදැරූ විද්‍යාර්ථින් පිරිසක් වෙනුවෙන් පැවති සමුළුවක දී නාලක ගුණවර්ධන සහෘදයා ගෙන හැර පෑ උදාහරණයක් මෙහිදී මගේ මට සිහිපත් වෙනවා. ‘ඉස්සර කාලයේ අපට අද වාගේ ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්න පිහිටවෙන සෙවුම් යන්ත්‍ර තිබුණේ නැහැ. එකල අපේ පිහිටට ආ ”සෙවුම් යන්ත්‍ර” වුණේ එඞ්වින් ආරියදාස, පර්සි ජයමාන්න වැනි අයයි.
කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස ශූරීන් පොතක් දොරට වැඩීමේ උළෙලක 
ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි අවස්ථාවක පර්සි ජයමාන්න මහතා සමඟ.

’ ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් දසක හතකට වැඩිකාලයක් තිස්සේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍ර වල පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. අපේ රූපවාහිනි මාධ්‍ය ආරම්භයේ දී වගකිවයුතු පෘථුල ක්‍රියා දාමයකට දායකත්වය සැපයූ එතුමා ඇති අතර තවමත් ඒ කාර්යය පෙර සේ ම පවත්වා ගෙන යනවා. රූපවාහිනියේ ආගමනයත් සමග ආරියදාස මහතාගේ දැවැන්ත සෙවණැල්ල මුද්‍රිත මාධ්‍ය මතට පමණක් නොව විද්යුත් මාධ්‍ය මතටත් වැටුණා. එය මුලින් ගුවන් විදුලි මාධ්‍යයටත් පසුව රූපවාහිනී මාධ්‍යයටත් විහිදුණා. මෙරට රූපවාහිනිය ආරම්භයේ දී ම සන්නිවේදකයන් පුහුණුවටත් එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා. 

ශ්‍රී ලංකාවේ රූපවාහිනිය ආරම්භ වීමට ප්‍රථම ඒ පිළිබඳ විධිමත් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට ආ විශේෂඥයා වූයේ කැනේඩියානු ජාතික වෝනර් ට්‍රෝයර් මහතායි. ඔහුගේ ඇරයුම පරිදි ඒ කටයුත්තට ඔහුගේ සහයට ආරියදාස මහතාත් එක් වුණා මට මතකයි. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ප්‍රථම රූපවාහිනී සාකච්ඡාව සේ සැලකිය හැකි වැඩසටහනට ආරියදාස මහතා දායක වූයේත් ට්‍රෝයර් මහතාගේ මෙහෙයවීම මතයි. 1980 දී රොනල්ඞ් රේගන් මහතා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත් වූ අවස්ථාවේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡාවක් ඒ මංගල වැඩසටහනට ඇතුළත් වුණා. 

සාකච්ඡාව පැවතියේ ට්‍රෝයර් මහතා හා ආරියදාස මහතා අතරයි. ඒ වන විට මෙරට රූපවාහිනි චිත්‍රාගාර නො තිබූ නිසා ට්‍රෝයර් මහතා එදා ඒ වැඩසටහන පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට විශේෂ තැනක් පසුතලයක් සේ සකස් කොට යොදා ගෙනයි. ඒ වන විට ජාතික රූපවාහිනිය ආරම්භ කර නො තිබූ නිසා එය විකාශය කෙරුණේ එවකට තිබූ එකම නාළිකාව වූ ස්වාධීන රූපවාහිනිය ඔස්සේයි. ‘එඞ්වින් ආරියදාස’ ලෙසින් මුළු ලොව ම හඳුනන එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදා දකුණු සිරිලක උණවටුන ග්‍රාමයේදී 

‘විජයතුංග කරුණාරත්න එඞ්වින් ආරියදාස’ යන නමිනුයි. පුවත්පත් කලාවේදීයකු වශයෙන් පුවත්පත් සඟරා තුළින් සෑම ක්ෂේත්‍රයකින් ම, ඉංග්‍රීසි හා සිංහල දෙබසින් ම ජනතාවට නොමසුරුව දැනුම බෙදා දුන් එතුමාගේ අභාවය සිදු වූයේ දශක අටක යුග මෙහෙවරක් නිමා කරමිනුයි.  

෴ පර්සි ජයමාන්න
මල් කැකුළු වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි.

Classified_Ad

Classified_Ad_News_Bottom