සම්ප්‍රදාය කැඩූ ට්‍රම්ප් මෙලානියා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 21, 2021

සම්ප්‍රදාය කැඩූ ට්‍රම්ප් මෙලානියා


ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඊයේ (20) ධවල මන්දිරයෙන් පිටවී ගියහ. 

බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම තවමත් ප්‍රතික්ෂේප කරමින් ධුරයෙන් ඉවත් වූ ට්‍රම්ප්, ධවල මන්දිරයෙන් පිටවූයේ බයිඩන්ට සුබ පතන්නේ ද නැතිවය.

දිවුරුම් දීමෙන් පසු බයිඩන් යුවල පිළිගනිමින් බයිඩන් යුවල ධවල මන්දිරයට පිළිගැනීමට ට්‍රම්ප් හෝ මෙලානියා හෝ ධවල මන්දිරයේ සිටියේ නැත. 

ඇමෙරිකන් ඉතිහාසයේ සම්ප්‍රදාය බිඳ දැමූ ජනාධිපතිවරයකු ලෙස ධවල මන්දිරයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්, සිවු වසරකට පසු එයින් පිටව ගියේ ද අවසන් දිනයේ සම්ප්‍රදාය රැසක් බිඳ දමමිණි. 

ඇමෙරිකාවේ සම්ප්‍රදායට අනුව, නව ජනාධිපති දිවුරුම් දීමේ උලෙළට ධුරයෙන් සමුගන්නා ජනාධිපති සහ ආර්යාව සහභාගී වෙති. 

එහෙත් ඊයේ (20) එවැන්නක් ද සිදු වූයේ නැත. 

ට්‍රම්ප් ධුරයෙන් සමුගෙන ගියේ හිත් අමනාපයෙනි. බයිඩන් දිවුරුම් දෙද්දී ට්‍රම්ප් සිටියේ ෆ්ලොරීඩාවේ සිය නිවාඩු නිකේතනයේය. 

සාමාන්‍යයෙන් නව ජනපති දිවුරුම් දී ධවල මන්දිරයට පැමිණෙද්දී, ධුරයෙන් සමුගන්නා ජනපති සහ ආර්යාව ඔවුන් පිළිගැනීමට තේ පැන් සංග්‍රහයක් පවත්වයි. 

එහෙත් ඊයේ (20) එවැන්නක් ද සිදුවූයේ නැත.

බයිඩන් යුවල ධවල මන්දිරයට රිය පෙරහරින් පැමිණෙද්දී, ධවල මන්දිරයේ සිටියේ එය බලා ගන්නා කාර්ය මණ්ඩලය පමණි. ට්‍රම්ප් බයිඩන්ට බලය පවරා දෙමින් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ද නැත. 

ධුරයෙන් ඉවත්වෙන ජනාධිපතිවරයාගේ බිරිඳ නව ජනපති ආර්යාවට ධවල මන්දිරය බාර දීමක් සාම්ප්‍රදායිකව සිදුවෙයි. ඒ තේ පැන් සංග්‍රහයක් පවත්වමිණි. 

කෙසේ නමුත්, ජනපති ධුරයේ දිවුරුම් දී ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් එහි පැමිණෙද්දී, ඔවුන් පිළිගැනීමට, තේපැන් සංග්‍රහය පැවැත්වීමට හෝ ධවල මන්දිරය ජිල් බයිඩන්ට බාරදීම හෝ සිදු කිරීමට මෙලානියා එහි රැදී නොසිටියාය. 

බයිඩන් දිවුරුම් දෙද්දී, ට්‍රම්ප් ඊට සහභාගී නොවුණත්, ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී, බයිඩන්ට සහ කමලා හැරිස් ට සුබ පැතුවේය. 

බයිඩන්ගේ දිවුරුම්දීමේ අවස්ථාවට තමන් සහභාගී නොවන බව ට්‍රම්ප් නිවේදනය කර තිබුණේ ට්විටර් පණිවුඩයක් මගිනි. ඒ සම්බන්ධයෙන් බයිඩන් සතුට පළ කර තිබුණි. 

ට්‍රම්ප් ගත් තීරණවලින් හොඳම තීරණය එය යැයි බයිඩන් පැවැසුවේ ට්‍රම්ප්ට සමච්චල් කරමිණි. 

පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම අනුප්‍රාප්තිකයාට සුබ පැතීමක් නොකර, දිවුරුම්දීමේ උළෙලට සහභාගී නොවුනු ඇමෙරිකන් ජනපතිවරුන් සිවු දෙනකු ගැන ඉතිහාසයේ සඳහන් වෙයි. 

ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි ඇඩම්ස් සහ මාර්ටින් වැන් බියුරෝ ඇන්ඩෲ ජොන්සන් ය. ඇන්ඩෲ ජොන්සන් යනු ඇමෙරිකාවේ 17 වැනි ජනාධිපතිවරයාය. 
ඇමෙරිකන් ජනපති ආර්යාව ලෙස තමන් ධවල මන්දිරයේ සිටි සිවු වසරක කාලය තම ජීවිතේ ලැබුණු ලොකුම ගෞරවය යැයි මෙලානියා එම වීඩියෝ පණිවුඩය පැවැසුවාය. 

ඩොනල්ඩ් සහ තමන් ධවල මන්දිරයේ ගත කළ සිවු වසරක කාලය තමන්ට කිසිදා අමතක කළ නොහැකි බව ද මෙලානියා පැහැදිලි කරයි. 

ඇමෙරිකාව පුරා ඇමෙරිකානුවන්ගෙන් තමන්ට සහ පවුලේ අයට ලැබුණු කරුණාව, ආදරය සහ සෙනෙහස වෙනුවෙන් ද මෙලානියා සැමට ස්තුති කළාය. 

‘කොවිඩ් 19‘ වසංගතය හමුවේ, ඉදිරිපෙළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට ද මෙලානියා අමතක නොකළාය. 

 පසුගිය 6 වැනිදා ට්‍රම්ප්ගේ ‘උසිගැන්වීමෙන්’ ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රසයේ කටයුතුවලට බාධා කළහ. 

එම අවස්ථාවේදී සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා තමන් කිසිසේත් අනුමත නොකරන බවත් ඇමෙරිකානුවන් සැවොම සමඟියෙන් සිටිය යුතු බවත් මෙලනියා යළිත් අවධාරණය කළාය. 

මේ වනවිට ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් කොංග්‍රසයට ඉදිරිපත් වී ඇත්තේ ද ට්‍රම්ප් සිය ආධාරකරුවන් මෙහෙයවා කොංග්‍රසයේ කටයුතුවලට බාධා කිරිම සහ කුමන්ත්‍රණ කිරීම ආදී චෝදනා සම්බන්ධයෙනි. 

ඇමෙරිකා ජනාධිපති ආර්යාව ලෙස මෙලානියා පසුගිය සිවු වසරේ සමාජ සේවා කටයුතු රැසකට සම්බන්ධ වූවාය. 

ලුසිත ජයමාන්න 
රොයිටර්/ඒ.එෆ්.පී

Classified_Ad

Classified_Ad_News_Bottom