දස වසරකට පසු නොහොත් මා තමයි හොඳටම කෙරුවේ!


මා මේ බ්ලොගය ලියන්න පටාන් අරගෙන වසර දහයක් නැත්නම් දශකයක් ගත වෙන්න තියෙන්නේ මාස කිහිපයක් පමණයි. ජීවිතයේ වසර දහයක් කියන්නේ, වසර 100ක් ජීවත් වූ කෙනෙකු ගෙන් වුවත් 10% ක කාලයක්. අප කොතරම් කාලයක් ජීවත් වේවිදැයි කවුරුත්, කලින් දන්නේ නැහැ නේ. මොක වුවත් ජිවත් වෙන්න වෙන්න අප සියලු දෙනා, පරිණාමය වෙනවා. වෙනස් වනවා කියන වදන මා භාවිතා කරන්නේ නැත්තේ විශේෂ හේතුවක් නිසා. අප වෙනස් වන්නේ නැහැ. වන්නේ ඉන්න තැනට වඩා වෙනස් තැනකට යාමයි. එය ඉන්න තැනෙහිම දිගුවක් මිසක්, සම්පුර්ණයෙන් වෙනස් වීමක් නම් නොවේ. සමාජයේ ඉතා කුඩා ප්‍රතිශතයක්, ජීවිතයේ යම් අහඹු හා දරුණු සිදු වීමක් නිසා, පරිණාමය නොවන, අංශක එකසිය අසූවේ වෙනස් වීමක් කරන්න පුළුවන්. මා කියන්නේ අප වගේ සාමාන්‍ය ජනයා එසේ නොවේ.

මා මෙහි ලියා ඇති කිසිම සටහනක්, ඒ අයුරින්ම අද මා ලියන එකක් නැහැ. ඒවා කිසිවක් ගැන මා කනගාටු, ලජ්ජා හෝ පසු තැවීම් නැහැ. ඒ අතරේම සමහර සටහන් මා අද නොලියන ඒවායි. මේවා ඔබගේ කියවීම පිණිස ඉතිරි කළත්, ඒවා අද මා සිතන හැටි පිළිඹිබු වන්නේ නැහැ.

පසුගිය වසර දහය මා හිතන්නේ මගේ ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් කියා. ජිවිතයේ හැම අවුරුද්දක්ම වැදගත් තමා. මේක අපට හරියට තේරුම් යන්නේ වයසට යාමත් සමග. එයත් අපගේ පරිණාමය, එනම් ජිවිත කාලය තුල සිදුවන පරිණාමය හා සම්බන්දයි. එයට එහා යන පරිණාමයකුත් තියනවනේ. එවැනි පරිණාමයන් දකින්න තරම් අප ජිවත් වන්නේ නැහැ.

පසුගිය වසර දහය ගත්තොත්, අප වයසට ගියාට අමතරව, අපගේ දරුවන්, අපට නොදැනීම ලොකු වූවා. එයිට අමතරව, අප ඉගෙන ගත් හෝ නොගත් දේවල් වල ප්‍රතිඵල අපම උපයා ගත් වසර දහයක්. අප වයසට යාම, එක්තරා අයුරකින් තරුණ වූයේ, අපගේ දරුවන්, අප ජීවත් වන්න ආසා කරපු විදිහට ජීවත් වනු දැකීමෙන්. සංක්‍රමණික ජීවිතයේ මා වඩාත් ප්‍රිය කරණ දෙය එයයි. අප්‍රිය කරන දෙය නම් අපගේ දෙමාපිය සහෝදර සහෝදර, සහෝදරියන්ගේ හා අනෙකුත් සමීප ඥාතින්ගෙන් ඉවත් වීමෙන් ගත කරන ජීවිතයයි. එය මා නිතරම ලියා ඇති.

හැබැයි අප ලංකාවේ සිටියා නම් අපගේ ජීවිතය කොහොම වේවිදැයි නිශ්චිතවම කියන්න, කිසි කෙනෙකු මෙලොව ඉන්නවා යයි මා සිතන්නේ නැහැ. එහෙම දේවල් ගැන සිතමින් තැවෙන්න හෝ සන්තෝෂ වන්න සිටින තැනක අද මා නැහැ. ඒ කියන්නේ ඒවා ගැන මා වැඩිය සිතන්නේ නැහැ. හෙට දවස ගැනත් අපගේ යම් යම් ගණන් බැලීම් තිබුණත් ඒවා කෙසේ වේදැයි අප දන්නේ නැහැ. එයට හොදම උදාහරණය පසුගිය වසරයි.

කොවිඩ් ඇරඹෙන්න කලින් ආරම්බ වූ වසර අපට සුබ දායක වූයේ නැහැ. මෙහෙ තිබුණු ලැවූ ගිණි නිසා, සාමාන්‍යයෙන් නිකම් ලැබෙන හුස්ම ගන්න තියන පහසු කම තිබුනේ නැහැ. වසර බිලියන හතරක් තිස්සේ පරිණාමය වුණු පෘථිවියේ, අප අද භුක්ති විඳින, හුස්ම ගැනීම වැනි, අප එදිනෙදා ජිවිතයේ කිසිදා නොසිතන දෙයක්, අපට නැති වන්නේ කොතරම් ක්ෂනයකින්ද කියා මෙවැනි තත්ත්වයකට මුහුණ දීමෙන්.

වසර බිලියන ගානක් තිස්සේ අප ලද දේවල් අමතක කරපු අප, වසර දෙසීයයක් හෝ හෝ වසර පනහක් හෝ සති දෙකක් තුල සිදුවුණ දේවල් වලින් අපගේ ජිවිතය වෙනස් වුන හැටි මතක තබා ගනීවිද? එය සිංහල ජාතියට උරුම දෙයක් කියා අපට මතක් කර දුන්නේ, තම ජාතියට වෙනම රටක් වෙනුවෙන් නිෂ්ඵල අරගලයක නිරත වුණු වේලුපිල්ලේ ප්‍රභාකරන්. හැබැයි එය සිංහල ජාතියට පමණක් සීමා වුණු දෙයක් නොවේ. ජීවිතයේ වැඩි හා වැදගත් කාල පරිච්චේදයක් කැලයට සීමා වුණු, ප්‍රභාකරන් අනික් රටවල් වන වෙන දේවල් වලට එතරම් නිරාවරණය නොවන්න ඇති. නැත්නම් ඒ අරගලය නිමා වනු ඇත්තේ එයට වෙනස්ව. ඒවා අපට බලපෑම් කරන්න බැරි කාරණා.

මා හිතන අනික් කාරණය නම්, කොතරම් දේ අප දැන ගන්න, නැත්නම් ඉගෙන ගන්න ඕනිද, මොනවාද අප දැන ගන්න හෝ ඉගෙන ගන්න ඕනේ? මා බ්ලොගය ලියා තියෙන්නේ ලොකු දාර්ශනික ප්‍රශ්න ගැන නොවේනේ. හැබැයි දාර්ශනික දේවල් ගැන මා හිතා තිබෙනවා. මා කලින් ලියූ මගේ සටහන්, අද ලියුවොත් වෙනස් වන්නේ අන්න ඒ කරුණ නිසා.

සමහර වෙලාවට අප හිතනවා, මෙතෙක් කරපු දේවල්ව තමා අපගේ ජිවිතයේ කරපු හොඳම දේ කියා. මා කලින් ලියා ඇති පරිදි, අප ජීවිතයේ එක එක කාල පරිච්ඡේද වල නතර වන්නේ ඒ නිසා. සමහරුන් කුඩා වයස් වල නතර වෙනවා, තව අය පාසැලේ, අනික් අය සරසවි වල, අප වැනි අය සෝවියට් සංගමයේ, ලංකාවේ හැත්තෑව දශකය කියා නොදන්නා ළදරුවන් හැත්තෑව දශකයේ, තවත් අය විවාහයට පෙර කාලයේ, සමහරුන් කටු මැටි බිත්ති අතර හා තව නොයෙකුත් පරිච්ඡේද වල. මා ඔය ගත්තේ අප කවුරුත් දන්නා පරිච්ඡේද කිහිපයක්. සිංහල සමාජයෙන් ඉවතට ගිය විට මේ ලැයිස්තුවට තව දේවල් එකතු වෙනවා.

එහෙම නතර වීමට ප්‍රධාන හේතුවක් තමා, අද ජීවිතය ඒ ගත කරපු කාල පරිච්චේදයන් හා සසඳන කළ නරක වීම. ඒ කියන්නේ, අර කලින් ගත කරපු ජීවිත කාලය අපතේ යාමක් නොවේද? ඒවා එතරම් හොඳ නම්, අද ඉන්නේ ඕනේ එයටත් වඩා හොඳ තැනකනේ?

අද මා වැඩියෙන් සිතන්නේ හා සොයන්නේ අපගේ ජීවිතයේ ඉතිරි කාලය තුල, අපට වෙනස් කර ගන්න හැකි දේවල්. ඒවා අතරින් පෞද්ගලික සෞඛ්‍යය ප්‍රධාන තැනක් ගන්නවා. එය එක්තරා අතකින් අපගේ පොදු සමාජයේ පැවැත්මත් තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක්. සමාජ ජාල හා අන්තර්ජාලය අතර ගැවසීම අඩු වීමත් එහිම අංගයක්. එය ගැනත් තවත් දේවල් ද ඉඩ ලැබෙන පරිදි ලියමු.

12 Comments

Filed under Lifestyle, Opinion

12 responses to “දස වසරකට පසු නොහොත් මා තමයි හොඳටම කෙරුවේ!

  1. Rasika Rasikologist

    අවුරුද්දක්ම නිහඬව සිටි නිසා දශකයක් කියා කියන්න බෑ!

  2. හා රයිගම, මං අළුබෝමුල්ලෙ. අටුලුගම නම් පොඩ්ඩක් ඉතර අවුල් වගේ නේද? අවු: 10 ක්? මේ කාලසීමාවෙ කොච්චර දෙනෙක් ආවා ගියාද? ටැබූ, බීටලේ, Rear Gate ලියපු චාමි, තව හිටියා බ්ලොග් ලියපු පූසො සැට් එකකුත්.

    සංසාරේ බොහොම දිගයි, ලමයෝ!

  3. අවුරුදු දහයක් එක දිගට ලියුව කියා, නොලියුවේ ඒ නිසා! 🙂

  4. අළුබෝමුල්ල පැත්ත කොහොමද? ඔය පැති වල නිවාඩු පාඩුව කරක් ගහන්න ආසයි. කොහොම වුවත්, පරිස්සමින් ඉන්න. මුහුණු ආවරණය දමන් ඇවිත්, එය ගලවල අතට අත දීලා, මුහුණත් ඉඹිනවා මා දැක තියනවා.

    සංසාරය ගැන සිතන්න පෙර, මේ දිවිය ගැන හිතමු ළමයෝ! 🙂

  5. Welcome back, Rye !

    //අපගේ දරුවන්, අප ජීවත් වන්න ආසා කරපු විදිහට ජීවත් වනු දැකීමෙන්. සංක්‍රමණික ජීවිතයේ මා වඩාත් ප්‍රිය කරණ දෙය එයයි//
    This is what I like about your writings. There are absolute gems like this once in a while. You are a very effective analyst. You can get to the point without frills and distractions when you want to (otherwise, you can ramble too. 😀 ) Actually, I think you will be a very good counsellor for many first gen immigrant Sri Lankan parents.

  6. අළුබෝමුල්ලා

    අළුබෝමුල්ල තාම තියෙනවා කියල තමා ආරංචිය:) ඒ අපේ ගම, දැන් විප්‍රවාසෙ ( වචනය හැලපයා සතුයි). අර Pra Jay කියන්නැහෙ, ඉඳලා හිටලවත් ලියන්න. අපි කියෝනව.

  7. He! He!
    Nice to see you Pra! People migrate for different reasons. Among them, to seek a better life can be the main one for many of us Pra. However, there is no universal definition for “better life” acceptable for every migrant. That is why I think , it would be fruitless to tell other people how to raise their kids.

  8. ආ, මා හිතුවේ තාමත් ඒ පැත්තේ ඉන්නවා කියා. මා වාගේම කෙනෙක් නේ මේ. අළුබෝමුල්ල නම් ඇති. ආයෝජනයක් සඳහා සුදුසු පළාතක් නම්, අනාගත අයිතිය කා සතු වේවිද කියන්න බැහැ නේද? 😀 2020 written off වසරක් නිසාත්, විරාමයක් අවශ්‍ය නිසාත් ලියුවේ නැහැ.

  9. Anonymous

    අප්පොච්චියේ දැකපු කාලයක්, ඉඳල හිටල හරි මෙහෙම කඩේ අරින එක හොඳයි අපිට ආපු ගියපු දේ ගැන කතාවක් එහෙම දාන්න, විටක් එහෙම හපන ගමන්.

  10. ඔහෙත් ටම්පච්චගේ සම්බාදකෙකට යටවෙලැයි හිටියේ. දැකීම සතුටක්.

  11. ඔබත් කියවීමට පැමිණීම සතුටක්. විට කන්ට එපා! 🙂

  12. නැහැ, යුආන් ටිකක් හම්බ වුනා! ඔබත් දැකීම සතුටක්.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.