විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්


ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් අද (20) වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී දිවුරුම් දෙයි. 

දිවුරුම්දීමේ උත්සවය පැවැත්වන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයකුගේ දිවුරුම්දීමේ උළෙලකට මෙලෙස විශේෂ ආරක්ෂාවක් යෙදවෙන පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ආරක්ෂාවක් යෙදවීමට සිදුවී ඇත්තේ, ධුරය අහිමි වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් දිවුරුම් දීමේ උළෙලට බාධා එල්ල වේවි යැයි ආරක්ෂක අංශ බිය පළ කර ඇති බැවින් සහ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙනි. 

තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

දිවුරුම්දීමේ උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත. 

වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ ඉදිකළ වේදිකාවේ දිවුරුම්දීමේ උළෙල පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 11.30 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රියේ 10.30 ට) පමණය. 
කැපිටල් හිල් යනු ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව රැස්වන ගොඩනැගිල්ලය. 

පසුගිය 6 වැනිදා ට්‍රම්ප් ආධාරකරුවන් කඩා වැදුණේ කැපිටල් හිල් ගොඩනැගිල්ලටය. 

අද (20) වොෂින්ටන් අගනුවර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. 

ඒ අනුව ප්‍රධාන මාර්ග කීපයක් සහ උමං දුම්රිය මාර්ග කීපයක් පැය ගණනකට වසා දැමෙනු ඇත. වොෂින්ටනයට ඉහළ ගුවන් කලාපය ද තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ. 

වොෂින්ටන් බලධාරීන් පවසා ඇත්තේ දිවුරුම්දීමේ උළෙල සම්බන්ධයෙන් ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් 25,000 ක් යොදවා ඇති බවය. 

ඊට අමතරව පොලිස් නිලධාරීන් ද ආරක්ෂාවට යොදවා ඇත. 

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom