බයිඩන් අද දිවුරුම් දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

බයිඩන් අද දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් අද (20) වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී දිවුරුම් දෙයි. 

ජෝ බයිඩන් දේශපාලනයට අවතීර්ණ වීමට පෙර නීතීඥවරයකු ලෙස කටයුතු කළේය. 

ඔහුගේ පළමු බිරිඳ සිඟිති දියණිය ද සමඟ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූයේ 1972 වසරේ දීය.

ඒ, පුතුන් දෙදෙනා වන බෝ සහ හන්ටර් දෙදෙනා සමඟ ජෝ තනිකරමින්ය. බයිඩන් ගුරුවරියක වන ජිල් සමඟ විවාහ වූයේ ඉන්පසු 1977 දීය. 

බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දී, ජිල් ඇමෙරිකාවේ ජනාධිපති ආර්යාව ලෙස පිළිගැනෙයි. 

මුණුපුරු මිණිපිරියන්ගේ සීයා කෙනකු ද වන 78 හැවිරිදි ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වන වයස්ගතම ජනාධිපතිවරයාය. 

දිවුරුම්දීමේ උත්සවයට කොංග්‍රස් මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ගණන 1,000 ක් සහභාගී වනු ඇති බව දිවුරුම්දීමේ උළෙල සංවිධානය කළ සංවිධායකයෝ කියති. 

ඇමෙරිකාවේ සම්ප්‍රදායට අනුව, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරියේ ජනපතිවරයාගේ දිවුරුම්දීම පැවැත්වෙන්නේ ජනතාව ඉදිරියේය. 

කෙසේ නමුත් ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැමිණෙන ජනතාව සීමා කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත. 

ඊට අමතරව, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට ද සැමට උපදෙස් ලැබී ඇත. 

දිවුරුම්දීමේ උත්සවය ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර වේලාවෙන් 11.30 ට පමණ පැවැත් වීමට නියමිත නමුත්, වොෂින්ටන් වේලාවෙන් උදෑසන 8.30 සිට දිවුරුම් දීමේ උත්සවයට අදාල සජීවී විකාශය ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත්, සමාජ මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය ඔස්සේත් විකාශය කිරීමට නියමිතය. 

උදෑසන 8.30 සිට ආරම්භ වන දිවුරුම්දීමේ විශේෂ සජීවී විකාශය මෙහෙයවීම සිදු කරනු ලබනු ඇත්තේ හොලිවුඩ් ජනප්‍රිය නළු ටොම් හෑන්ක්ස් විසිනි. දිවුරුම්දීමේ උත්සව සංගීත ප්‍රසංගයකින් ද හැඩ ගැන්වෙයි. 

ජනප්‍රිය ගායිකාවන් වන ජෙනිෆර් ලෝපේස් සහ ලේඩි ගාගා ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එය වර්ණවත් කරනු ඇත. 

දිවුරුම්දීමේ උත්සවයේ ජාතික ගීය ගායනා කරනු ඇත්තේ ද ලේඩි ගාගා ය. මිනිත්තු 90 ක කාලයක් එය පැවැත්වෙයි. 

දිවුරුම්දීමෙන් පසු ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් ජාතිය ඇමැතීමට නියමිතය.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ඇමෙරිකානුවන් පීඩාවට පත් වීම සහ ඇමෙරිකන් දේශපාලනයේ සිදුවුණු බෙදීමට විසඳුම් සෙවීම ජාතිය අමතමින් කරන දේශනයේ ප්‍රධාන මාතෘකාව වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

ඇමෙරිකාවේ සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. 

දිවුරුම් දී ජාතිය ඇමැතීමෙන් පසු බයිඩන්, සේනාධිනායකයා ලෙස හමුදා උත්තමාචාර පිළිගැනීම ද සම්ප්‍රදායකි. 

හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් පසු ජනපති බයිඩන් සහ උප ජනපතිනිය හැරිස්, ආලින්ටන් සුසාන භූමියට ගොස් රණවිරු ස්මාරකයට උපහාර දැක්වීමට ද නියමිතය.

 ආලින්ටන් රණවිරු සුසාන භූමියට යෑම ජනපති බයිඩන්ට සංවේදී අවස්ථාවක් වනු ඇතැයි පැවැසෙයි. ඔහුගේ එක් පුතකු වූ බෝ ඇමෙරිකන් සොල්දාදුවකු වන අතර ඔහු ඉරාකයේ හමුදා සේවයට ගිය අයෙකි. 

බෝ අද ජීවතුන් අතර නැත. 

2015 දී ඔහු මොළයේ පිළිකා තත්ත්වයකින් මියගියේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 46 කි. දියණියකගේත් පුතකුගේත් පියකු වූ බෝ බයිඩන්, පියා ජෝ බයිඩන් මෙන්ම නීතීඥවරයකු ලෙස කටයුතු කර තිබේ. 

එම අවස්ථාවට, හිටපු ජනාධිපතිවරුන් සහ ජනපති ආර්යාවන් ද එක් වීමට නියමිතය. 

ඉන්පසු ආලින්ටන් සුසාන භූමියේ සිට ඇමෙරිකාවේ නව ජනාධිපති බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් හමුදා පෙළපාළියකින් ධවල මන්දිරයට පැමිණීම සිදුවෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom