ඒ දවස්

ජීවිතය හරිම පුදුමයි , ඒ දවස් හරිම ලස්සනයි. මේ චිත්‍රපටියේ රගපාපු ප්‍රධාන නළුවත් මේ ලෝකේ අතැරලා ගිහින් ඉවරයි, එයාටත් තියෙන්න ඇති ඒ වගේ සුන්දර කාලයක් හරියට මේ ගීතයෙන් කියනවා වගේ. කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම කාලේ මොකක්ද කියල ඇහුවොත් ගොඩක් අයගේ උත්තරේ වෙන්නේ පාසල් හෝ උසස් අද්‍යාපනය ලබපු කාලය. කරන්න ඕනේ හැම වැඩක්ම කරලා බලන, නරකයි තහනම් කියල කියල තියන දේවල් කරන්න හිතෙන, කරන ඒ ලස්සන කාලය ගැන කියන ලස්සන අපුරු ගීතයක් මේක. ආදරේ හැගීම් ඉස්සල්ලම හිතට දැනෙන, ඒ හැගීම් එක්ක ජිවත් වෙන ඒ කාලේ ගැන කියවෙන මේ ගීතයේ තේරුම ත් හරිම ලස්සනයි.

ඒ ලස්සන මතක අපි මතකයේ තියන පරණ ඇල්බමයේ හංගගෙන තියාගෙන ඉන්නවා, (ඔව් අපි හැමෝම ඒ මතකයන් හංගගෙන ඉන්නවා, කාටවත් කියල නැති ඒ මතක අපේ මතකයේ ගැබුරුම තැනක තියනවා). ඒ මතකයන් අපි ඉතුරු කරගෙන තියාගත්තා හරියට පොඩි ළමයෙක් කැටයකට සල්ලි ඉතුරු කරනවා වගේ. (ඔව් ඒ තරම ආසාවෙන්). අපිට කිසිම දෙයක් ගැන බයක් තිබුනේ නෑ , කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැතුව අපි ජිවත් උනා හරියට සමනල්ලු වගේ. අපිට හිටපු හොදම යාළුවො හිටියේ ඒ දවස් වල, අපි ගොඩක් දේවල් බෙදාගත්ත, යාළුකම, ආදරය, දුක, සැප, පොත් පැන් පැන්සල්, ඇදුම් පැළදුම් පවා. ඒ දවස් තමා හොදම දවස් අපේ .

අපිව හැමෝම දැක්කේ නරක ළමයි විදිහට, ඒ තරම් නරක විදිහට අපි හැසිරෙන්න ඇති. (ඒක නම් ඇත්ත, අපි පාරේ යනකොට අනික් අයට යන්න අමාරුයි, විශේෂයෙන් කෙල්ලොන්ට, ගැහැණු ඉස්කෝලේ ඇතුලටම ගිහින් කෙල්ලොන්ට කතා කරන්න හයියක් තිබුණ අපිට, කවුරුහරි යාලුවෙක්ට මොනවා හරි කිව්වොත් කවදාවත් දෙකක් අනින්නේ නැතුව අතාරින්නෙ නෑ ). ඒ හැමදේම කරේ යාලුවොත් එක්ක, පන වගේ යාලුවොත් එක්ක, මොන දේ උනත් යාළුවො පාවල දුන්නේ නෑ අපි, ඒ වගේම යාළුවො තමා අපිට හිටියේ. ඒ දවස් වල තමා අනික් ඉස්කෝලේ හිටපු කෙල්ලොන්ගේ ඇස් දිහා බලාගෙන හිටියේ. ඒ ඇස් දිහා බලාගෙනම එයා ගියපු බස් එක පිටිපස්සේ දිව්වේ. ඔව් ඒ තමා ආදරේ ගැන දැනුන මුල් දවස්, නිදා ගන්නේ නැතුව එයා ගැන හීන මවපු මුල් දවස්. එයා එනකල් පැය ගනන් බස් හෝල්ට් එකට වෙලා බලාගෙන හිටපු , එහෙම ඉදල එයා ආව ගමන් අහක බලාගෙන හිටපු, එයා එක්ක ෆෝන් එකෙන් පැය ගනන් කතා කර කර හිටපු, එයා ඉස්කෝලේ අරන් එන බෑග් එක, එයා කොන්ඩේ බදින විදිහ, එයා ඇවිදින විදිහ, එයා බලන විදිහ හරිම ලස්සනයි කියල කිව්ව ඒ කාලේ. ඒ තමා ආදරේ මුල් දවස්.

කරන්න නරකයි කියල තිබුන හැම වැඩක්ම අපිට කරන්න ඕනේ උනා, ඒ හැම එකක්ම අපි කරා, අපි ඔක්කොම එකට කරා ඒවා. ඉස්කෝලෙන් පැනල කදු නගින්න ගියා, කොහෙද අපි නොගියේ ? මතකද මුල්ම බියර් වීදුරුව බිලා අපි පිස්සෝ වගේ කියෙව්වා, ඉස්කෝලේ එහා පැත්තේ බාර් එකෙන් රා බෝතල් උස්සගෙන ඇවිල්ල හැංගිලා බිව්වා මතකද? අවසර දුන්නේ නැති හැම වැඩකටම අපි එකතු උනා මතකයි නේද? ඒ හැමදේම මතකයේ තියනවා. අපි හැම සීමාවක්ම ඉක්මවා ගියා, කරපු සමහර දේවල් වල කිසිම තේරුමක් තිබුනේ නෑ , එත් අපි එකතු වෙලා ඒ හැම එකම කරා.

අපිට හම්බුනේ අපිටම ගැලපෙන යාළුවො ටිකක්, මතකද සහෝදරයා අපි ඔක්කොටම එකම කෙල්ලව ඕනේ උනා. අපිටම හරියන පිස්සු යාළුවො ටිකක්, අපි ඔක්කොටම ඕනේ උනේ එකම විදිහේ ඇදුම් අදින්න. ඒ තමා අපේ ජිවිත ලස්සන පාට වලින් පාට වෙලා තිබුන දවස්, හරියට එහා පැත්තේ තිබුන ලස්සන මල් පාර වගේ. තාමත් මතකයි R D Burman ගේ සින්දු ටික ඒ පරණ චිත්‍රපටියේ . අපි කොච්චර නම් කියන්න ඇතිද ඒවා යාලුවොත් එක්ක, සංගීත භාණ්ඩ අරගෙන ඒ සින්දු වාදනය කරා මතකද අනික් අයට ඇහෙන්න. ඒ තමා අපි සංගීතයට, ගිටාරයට ආදරේ කරන්න පටන් ගත්ත දවස්, ඒ තමා අපි සින්දු කියන්න ඉගෙන ගත්ත දවස්, හරිම ලස්සන දවස්.

ඉතින් ඔන්න ඔහොම තමා ඒ සින්දුවේ තේරුම යන්නේ, Sushanth Singh Rajputh ටත් තියෙන්න ඇති මේ වගේ ලස්සන කාලයක් හරියට ඔයාට මට තිබුන වගේ, ඒ නිසාම එයාගේ රගපෑම හරිම තාත්විකයි මේ චිත්‍රපටියේ, එත් එයා මේ ලෝකෙනුත් ගිහින් ඉවරයි, ඉතින් ඒ තමා ජිවිතේ, ලස්සන කාලේ විතරක් නෙවේ, අමාරු කාලෙකුත් තියනවා. ඉතින් මේක හරිම ලස්සන ගීතයක් ලස්සන තේරුමක් තියන. සංගීතය Pritam : චිත්‍රපටිය : Chichchore

Leave a comment