2021 පාපන්දු උණුසුම හම්බන්තොටෙන් ඇරඹේ!

හම්බන්තොට පාපන්දු ලීග් 2021 තරගාවලිය

375

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම විසින් සංවිධානය කරනු ලබන “හම්බන්තොට පාපන්දු ලීග් 2021 තරගාවලිය” ජනවාරි 17 වැනිදා ප.ව.3.00ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වනු ලබන මෙම පාපන්දු ලීග් තරගාවලිය සඳහා දිස්ත්‍රික්කයේ දක්ෂතම පාපන්දු කණ්ඩායම් 05ක් සහභාගී වීමට නියමිතයි. එම කණ්ඩායම් 5 නම්,

  • තංගල්ල ලා ටැංගෝලියන්ස්
  • බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය
  • අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය
  • හම්බන්තොට වයිට් ටයිගර්ස්
  • කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය

තරගාවලිය පුරා මාස එකහමාරකට ආසන්න කාලසීමාවක් තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණය සහ හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

තවත් පාපන්දු පුවත්:

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි මස 28 වැනිදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සවස 6:00 සිට පැවැත්වීමට නියමිතව තිබෙන්නේ විදුලි ආලෝක මධ්‍යයේයි.

තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම සඳහා ශූරතා කුසලානයක් සහ මුදලින් ත්‍යාග පිරිනැමීමට නියමිත අතර අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ද මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

සෑම තරගයකම දක්ෂතම ක්‍රීඩකයාට කුසලානයක් පිරිනමන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, තරගාවලියේ වැඩිම ගෝල රකින්නා, තරගාවලියේ වැඩිම ගෝල ලබා ගන්නා ක්‍රීඩකයා මෙන්ම අවසාන මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ගෝල රකින්නාට ද කුසලාන පිරිනැමීමට සංවිධායකයින් සූදානම්.

තවද, මෙම තරගාවලියේ ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා දිස්ත්‍රික් පුහුණු සංචිතයක් සකස් කිරීමට බලධාරීන් අපේක්ෂාවෙන් පසුවෙයි.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය <<

ප්‍රථම වරට සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (15) තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, ලේකම් ජස්වර් උමාර් ඇතුළු හම්බන්තොට ක්‍රීඩා සංවර්ධන පදනමේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.