දෝෂාභියෝග ක්‍රියාවලිය ඇරඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 14, 2021

දෝෂාභියෝග ක්‍රියාවලිය ඇරඹේ

අද ලොව කාගේත් කතාබහට ලක්වී සිටින්නේ ධුරයෙන් සමුගැනීමට නියමිත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මේ වනවිට ට්‍රම්ප් ඉතිහාසගත වී සිටී. ඒ, දෝෂාභියෝග දෙකකට මුහුණ දෙන පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසය.

කවුරුත් පුදුම කරමින්, 2016 ජනාධිපතිවරණය ජයගත් ට්‍රම්ප්, එදා සිට මේ දක්වා 'පිස්සු නැටුවැයි' යමෙකු චෝදනා කරන්නේ නම්, ඒ 'නටපු පිස්සුවේ' ලොකුම පිස්සුව දකින්න ලැබුණේ පසුගිය 6 වැනිදාය. දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු සාධක වූයේ එයයි.

පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට ජය හිමිවිය. ඒ, ට්‍රම්ප්ගේ විරෝධය මැදය. 

පරාජය බාර ගැනීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරද්දී,  බයිඩන්ගේ ජය තහවුරු කිරීමට කොංග්‍රසය, වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට රැස්වූයේ 6 වැනිදාය. 

ඇමෙරිකන් කොංග්‍රසය යනු ඇමෙරිකන් පාර්ලිමේන්තුව වන අතර, කැපිටල් හිල් යනු කොංග්‍රසය රැස්වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලය.

බයිඩන්ගේ ජය තහවුරු කිරීමට කොංග්‍රසය රැස්වෙද්දී, ට්‍රම්ප්ගේ ඇරැයුම පරිදි වොෂින්ටන් අගනුවරට රැස්වුණු සුදු ඇමෙරිකානුවෝ (වැඩිදෙනා සුදු අන්තවාදීන්) ට්‍රම්ප්ගේ 'උසි ගැන්වීම්' මැද කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදදී එහි බලය අත්පත් කර ගත්හ. 

එය ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම විය.

විරෝධතාවරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලේ බලය අත්පත් කර ගත්තේ බයිඩන්ගේ ජය තහවුරු කිරීමේ ඡන්ද විමසුමට බාධා කරමිනි. 

එම අවස්ථාවේ ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් ද කොංග්‍රස් සැසියට සහභාගී වෙමින් සිටියේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය ලබන අඟහරුවාදා එනම් 19 වැනිදායින් අවසන් වන අතර, නව ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන් ලබන 20 වැනිදා ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය. 

ධුරයෙන් ඉවත්ව ගියත්, ඩොනල්ඩ් ට්‍රම්ප් දිගටම ඇමෙරිකානු දේශපාලනයට තර්ජනයක් බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසිගේ අදහස වී තිබේ. 

විරෝධතාකරුවන් 'උසි ගැන්වීම' සහ කොංග්‍රසයට එරෙහිව 'කැරැලි ගැසීම' යන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂිකයන්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හරහා ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළේ ඒ අනුවය.

විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ, කතා නායිකා නැන්සි පෙලෝසි ප්‍රමුඛ ඩිමොක්‍රටික්වරුන් පළමුවෙන් උත්සාහ ගත්තේ උප ජනාධිපති මයික් පෙන්ස් ලවා 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමටය. 

එහෙත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පාවා දීමට තමන් අකමැති බව පෙන්ස් අවධාරණය කළේය. සෙසු රිපබ්ලිකන්වරු ද 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න වූහ. දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ ඉන් අනතුරුවය.

25 වැනි සංශෝධනය යටතේ, උප ජනාධිපතිට කොංග්‍රසයේ සහාය ලැබෙනවා නම්, ධුරයේ රැදී සිටින ජනාධිපති ඉවත් කළ හැකිය. එසේ කිරීමට නම්, ධුරයේ සිටින ජනාධිපතිවරයාට කායික සහ මානසික වශයෙන් ඔහුගේ රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය යුතුය. 

විරෝධතාකරුවන් උසි ගැන්වූ 'ට්‍රම්ප්ට පිස්සු' යැයි ඩිමොක්‍රටික්වරු චෝදනා නගති.

ට්‍රම්ප් පළමු වරට දෝෂාභියෝගයකට මුහුණ දුන්නේ පසුගිය 2019 දෙසැම්බරයේය. ඒ, කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) සහ අධිකරණයට බලපෑම් කළේ යැයි එල්ල වුණු චෝදනා සම්බන්ධයෙනි. එම දෝෂාභියොගය පරාජය කිරීමට ට්‍රම්ප් සමත් විය. 

ඇමෙරිකන් කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. 

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගය ඡන්ද විමසුමකින් පසු සෙනට් මණ්ඩලයට යොමු කෙරන අතර එහිදී, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙයි. තීන්දුවක් ලැබෙන්නේ ඉන්පසු පැවැත්වෙන ඡන්ද විවිමසුමකින් අනතුරුවය. 

ඒ අනුව, ට්‍රම්ප්ගේ ඉරණම තීරණය කරන්නේ සෙනෙට් මණ්ඩලයයි.පසුගිය 6 වැනිදා කොංග්‍රසයට බාධා කළ කලහකාරී විරෝධතාකරුවන් උසි ගැන්වීමට සහ ඔවුන්ට අනුබලදීමට ට්‍රම්ප් පියවර ගැනීම‍ ට්‍රම්ප්ට හිතවත්, ඔහුගේ සමීපතම රිපබ්ලිකන් සෙනෙට් සාමාජිකයන්ගේ පවා අප්‍රසාදයට හේතුවක් වී ඇත. 

දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් සිදුවෙද්දී, එය ට්‍රම්ප්ට අවාසියක් වීමට ඉඩ ඇති බව පැවැසෙයි.ජනපතිවරණය පරාජය වී ධුරයෙනක් සමුගන්නා ජනාධිපති මෙන් නොව, දෝෂාභියෝගයකින් පරාජය වී ධුරයෙන් ඉවත් වන ජනාධිපති වුවහොත් එය ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශාල අපකීර්තියක් වනු ඇත. ඉදිරියේ දී ඔහුට යළි කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් වීමට නොහැකි වනු ඇත. 

තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් අප්‍රසාදය පළ කර ඇත. ට්‍රම්ප් සිය ආධාරකරුවන් කුපිත කළේත් උසි ගැන්වූයේත් සමාජ මාධ්‍ය හරහාය. 

ට්විටර් සහ ෆේස්බුක් තීරණය කර ඇත්තේ ට්‍රම්ප්ගේ ගිණුම් දිගටම තහනම් කර තැබීමටය. 

එලැඹෙන අඟහරුවාදා බයිඩන්ගේ දිවුරුම්දීමට ට්‍රම්ප් සහභාගී නොවන බව ද වාර්තා වේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom