තරගාවලිය වෙනුවෙන් මාස 10ක් ලංකාවේ රැඳී සිටි එංගලන්ත ක්‍රිකට් ලෝලියා

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

462

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනු දැක බලා ගැනීමේ බලාපොරොත්තුවෙන් මාස 10ක කාලයක් මෙරට රැඳී සිටි එංගලන්ත ක්‍රිකට් ලෝලියෙකු වන Rob Lewis හට හෙට (14) දිනයේ දී බොහෝ දුරට එම අවස්ථාව උදා වනු ඇත. 

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නැරඹීම සඳහා එරට Sunbury-on-Thames නගරයේ 37 හැවිරිදි වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වන Rob Lewis එම මස 13 වන දින ශ්‍රී ලංකාව බලා ළඟා වන්නට වුනත් ඔහු මෙරටට පැමිණෙන අතරතුර නිවේදනය කර සිටින්නට වූයේ COVID-19 වසංගත තත්වය හේතුවෙන් එම තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමෙන බවයි. 

කෙසේ නමුත් නැවතත් එංගලන්තය බලා පිටත්ව යනවා වෙනුවට නැවතත් කෙදිනක හෝ එංගලන්ත කණ්ඩායම එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව බලා පැමිණෙන තුරු Rob ද මෙරට තුළ රැඳී සිටීමට තීරණය කරනු ලැබීය. 

ඔහු මේ වන විට මාස 10ක කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිට ඇති අතර ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනු දැකීමේ ඔහුගේ බලාපොරොත්තුව හෙට දිනයේ දී බොහෝ දුරට සාක්ෂාත් වනු ඇත. මෙතරම් කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“මම මේ කාලය පුරාවට ශ්‍රී ලංකාවේ හිටියේ යාච්ඤා කර කර හරියට අන්ධ විශ්වාසයකින් වගේ. මම හිතුවේ මේ ‘Coronavirus’ වසංගත තත්වය මාසයකින් වගේ ඉවර වෙයි කියලා. ඉතින් ඒ මාසේ මෙහේ ඉඳලා මොකද වෙන්නේ කියලා බලන්න තමයි මම තීරණය කළේ. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඒක දිගින් දිගටම පැවතුනා. ඒත් කිසිම අවස්ථාවක මට හිතුනේ නැහැ මම දැන් ගෙදර යන්න ඕනේ කියලා.”

කෙසේ නමුත් Rob දිවයිනේ ගත කළ මාස 10 තුළ වෙරළ තීරයේ ජීවත් වන අතරතුර සුනඛයෙකු හදාවඩා ගනිමින්, DJ Randy Caddick යන අන්වර්ථ නාමයෙන් DJ කටයුතු සිදුකරමින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ මිතුරුකම් ද ගොඩනඟා ගනිමින් ඉතා විනෝදකාමීව ගතකරනු ලැබීය.

Rob ඔහු හදාවඩා ගත් සුනඛයා සමඟින් (ඡායාරූපය: www.newsandstar.co.uk)

COVID-19 සීමා කිරීම් වලට යටත්ව තරගය පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩාංගණය තුළට ඇතුළු වීමට ඔහුට අවසරයක් හිමි නොවුනත් ඔහුට ගාලු කොටුවේ සිට තරගය නැරඹීමට බොහෝ දුරට අවස්ථාව හිමි වනු ඇත. 

“වාසනාවට වගේ තරගය පැවැත්වෙන්නේ ගාල්ලේ. ඒ නිසා මට ඒ අලංකාර ගාලු කොටුවට වෙලා තරගය බලන්න පුළුවන් වෙයි. මම හිතන් ඉන්නේ ගීතිකා පත්‍ර ටිකකුත් අරන් ගිහින් පුළුවන් තරම් කට්ටිය එකතු කරගෙන ‘Jeruselam’ ගීතය ගායනා කරන්න.”

කෙසේ නමුත් සාමාන්‍ය තතත්වයක් යටතේ වුවද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයක් නැරඹීමට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ගාලු කොටුව මතට එක්රැස්වන අතර එවන් තත්වයක් වැළැක්වීම උදෙසා තරගය අතරතුර ගාලු කොටුව වසා තැබෙනු ඇතැයි යනුවෙන් පැතිර යන ආරංචි පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ; 

“ඒක නම් අසුබ ආරංචියක් තමයි. එහෙම වුනොත් නම් මම දන්නේ නැහැ මම මොනවා කරන්න ද කියලා. ඉනිමඟක් අරන් ගිහින් වැටට උඩින් ඔලුව දාලා තරගය බලන්න පවා මම හිතුවා. 

ඉතින් මම මෙච්චර මහන්සි වුන එකේ මම ඉල්ලන්නේ තරගය නරඹන්න පොඩි අවස්ථාවක් විතරයි. මම මාස 10ක් ම මෙහේ හිටපු එකේ මම හිතනවා ඒක බොහෝම පොඩි ඉල්ලීමක් කියලා.”

Robගේ මෙම කතා පුවත එංගලන්ත ක්‍රීඩකයින් හට ද ආරංචි වී ඇති අතර ඒ අනුව ඔහුව දුරකථන ඇමතුමක් ඔස්සේ හෝ මුණගැසී කතාබහ කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක Joe Root පවසා සිටියේ;

“අපිට ආරංචි වුනා DJ Randy Caddick ගැන. ඉදිරි සති දෙකක කාලය තුළ ඔහුව මුණගැහෙන්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ‘Zoom’ හරි නැත්නම් දුරකථන ඇමතුමක් හරහා වුනත් කමක් නෑ. කොහොමහරි ඔහු සමඟ සම්බන්ධ වෙන්න ලැබුණොත් ඒක අපිට ලොකු සතුටක්. 

ඒක ඇත්තටම ගොඩක් විශ්මය ජනක කතාවක්. පසුගිය අවුරුද්ද ඔහුට ගොඩක් හොඳ අවුරුද්දක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක ඔහුගේ මුහුණට සිනහවක් දීලා අවසන් කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

Rootගේ එම පණිවිඩයට හාස්‍යජනකව ප්‍රතිචාර දක්වමින් Rob පවසා සිටියේ;

“මම නම් ගොඩක්ම කැමති ‘werewolf filter’ එකත් දාගෙන ඔහු සමඟ ‘Facebook Messenger’ හරහා කතා කරන්න. ඒත් ඔවුන්ට පහසු ඕනම විදිහකට මම කැමතියි.”

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පවත්වනු ලබන පළමු ටෙස්ට් තරගය හෙට (14) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත. මෙය COVID-19 වසංගත තත්වයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය යි. 

www.newsandstar.co.uk සහ wisden.com වෙබ් අඩවිවල පළවූ ලිපි දෙකක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<