ධනංජය ලක්ෂාන්ට T10 ඉල්ලමක්

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

1813

ශ්‍රී ලංකා නැගී එන යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් හට අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Northern Warriors නියෝජනය කිරීම සඳහා වරම් ලැබී තිබෙනවා.

වයස අවුරුදු 22ක් වන තුන් ඉරියව් දස්කම් දක්වන ධනංජය ලක්ෂාන් නිමා වූ`LPL ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා බවට පත්වෙමින් Galle Gladiators අවසන් මහා තරගය දක්වා රැගෙන ආවේ සමස්ත තරගාවලියේ අනුශූරතාව සිය කණ්ඩායමට හිමිකර දෙමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධනංජය ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන ලබා ගත්තේ තරග 8කට මුහුණ දෙමින් ඉනිම් 7ක දී පන්දුවාර 26ක් යවමින් ලකුණු 225කට කඩුලු 13ක් දවා ගනිමිනි. එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 36කට කඩුලු 3යි. ඒ අවසන් මහා තරගයේ දී යාපනය කණ්ඩායමට එරෙහිව පෑ දක්ෂතාවයි.

පිතිකරුවෙක් ලෙසින් ධනංජය ඉනිම් 5ක දී පිටියට පිවිසෙමින් ලකුණු 77ක් ලබා ගන්නේ නොදැවි සිටි ඉනිම් 3ක් ද ඊට එක් කර ගනිමිනි. ඔහුගේ හොඳම ඉනිම වන්නේ අවසන් පූර්ව තරගයේ දී කොළඹ කණ්ඩායමට එරෙහිව නොදැවි ලබා ගත් ලකුණු 31යි.

Colombo Kings කණ්ඩායමට එරෙහිව පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී පන්දු යවමින් දිනේෂ් චන්දිමාල්ගේ සහ තික්ෂිල ද සිල්වාගේ කඩුලු දවා ගනිමින් අනතුරුව පන්දුවට පහර දෙමින් පන්දු 23ක දී ඉවසිලිවන්ත මෙන්ම තීරණාත්මක ලකුණු 31ක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය තහවුරු දීමට ද සමත් විය.

2020 වසරේ නොවැම්බර් මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසාවෙන් පෙර සැලසුම් කර ගත් පරිදි පැවැත්වීමට නොහැකි විය. 

කෙසේ නමුත් නව සැලසුම්වලට අනුව 2021 වසරේ ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම පසුගිය දෙසැම්බර් 23 වැනිදා රාත්‍රියේ දී සිදුවුණු අතර එහි දී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු (අද එක්වූ ධනංජය ලක්ෂාන් ද ඇතුළුව 13) මිල දී ගැනීමට එම කණ්ඩායම්වල අයිතිකරුවන් තීරණය කළේය. එම ක්‍රීඩකයින් පහත පරිදි ඒ ඒ කණ්ඩායම් විසින් මිල දී ගන්නා ලදි.

  • Bangla Tigers – ඉසුරු උදාන
  • Delhi Bulls – දසුන් ශානක, දුෂ්මන්ත චමීර
  • Deccan Gladiators – භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ලහිරු කුමාර
  • Pune Devils – තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස්
  • Team Abu Dhabi – අවිශ්ක ප්‍රනාන්දු
  • Northern Warriors – නුවන් ප්‍රදීප්, මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<