බාධක අතරෙත් තිරගතවන චිත්‍රපට – WW84

Avatar Nisanka Weheraduwa | December 31, 2020 370 Views 0 Likes 0 Ratings

370 Views 0 Ratings Rate it

කොරෝනා වසංගතය ලෝක මට්ටමින් දැඩි ව්‍යසනයක් බවට පත්වීමත් සමග විනෝදාස්වාදන කර්මාන්තය අර්බුධයට ලක්වුණා. දැන් මාස 10කට ආසන්න හෝ ඊට වැඩි කාලයක් තිස්සේ ලෝකය පුරාම සිනමාව, නාට්‍ය ආදියේ තත්වය එහෙමයි. නමුත් මේ ව්‍යසන අවදියේ වුනත් ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් සමහර චිත්‍රපට විවිධ මාධ්‍ය ඔස්සේ මුදාහරුනා. මේ එවැනි ළඟදීම මුදාහැරුණු චිත්‍රපටයක්. Wonder Women 1984 (WW84) ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුනු Wonder Women චිත්‍රපට මාලාවේ තවත් පියවරක් විදිහට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙන්නේ. 2017 වසරේ තිරගත කෙරුණු Wonder Women චිත්‍රපටයට පසුව මේ චිත්‍රපටය ගැන මූලික සාකච්චා ආරම්භ කෙරුණු බව හොලිවුඩ් මාධ්‍ය වාර්තා කොට තිබුනා. මුලික සැලසුම් කිරීම් වලින් පස්සේ පිටපත සහ නිෂ්පාදන සැලසුම් අවසන් කරල, 2018 ජුනි 13 වැනිදා පළමුවැනි පියවරේ රූගත කිරීම් ආරම්භ කෙරුණු බව ඒ වාර්තා වලින් කියවුනා. 2018 දෙසැම්බර් මාසය වනතුරු මාස 06ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකළ බවත් සඳහන්. ඉතිරි රුගත කිරීම් 2019 ජූලි මාසයේදී සිදුකිරීමෙන් පස්සේ චිත්‍රපටය සම්පූර්ණ කොට තිබෙනවා.

2020 වසරේ ලෝකයටම බලපෑ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ චිත්‍රපටයේ තිරගත කිරීම් වෙනුවෙන් තිබුන සැළසුම සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුනා වුනත්, දෙසැම්බර් 15 වැනිදා සිට Virtual platforms හරහා චිත්‍රපටය මුදාහැරීමට නිෂ්පාදන සමාගම තීරණය කොට තිබුනා. අවසානයේ ඉඩපහසුකම් ලැබෙන ආකාරය අනුව දෙසැම්බර් 25 වැනිදා සිට සිනමාහල් වල චිත්‍රපටය තිරගත කිරීමට ඔවුන් කටයුතු කළා. දැන් තෝරාගත් සිනමාහල් වලදී මේ සිනමාපටය තිරගත කෙරෙනවා.

Patty Jenkins අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට Geoff Johns සහ Dave Callaham තිර රචනයෙන් දායකත්වය ලබා දුන්නා. Gal Gadot, Chris Pine, Kristen Wiig, Redro Pascal, Robin Wright, Connie Nielsen ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබාදී ඇති මේ චිත්‍රපටයට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පිරිවැයක් දරා ඇති බවත් සඳහන් වනවා. ලංකාවේත් මෙතෙක් වසාදමා තිබූ සිනමාහල් 2021 ජනවාරි 01 වැනිදා සිට විවෘත කිරීමට අවසර ලබාදෙන බව රජය නිවේදනය කොට තිබුනා. එලෙස විවෘත වීමෙන් පසු Wonder Women චිත්‍රපටය මෙරටදීත් තිරගත කෙරෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව හොලිවුඩ් සිනමාව ප්‍රියකරන Super hero චරිත වලට ආදරය කරන සිනමා රසිකයින්ට WW84 චිත්‍රපටය පුළුල් තිරයේ නැරඹීමේ අවස්ථාව උදාවනු ඇති.

Share

370 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.