සිංගප්පූරු වැසියන්ට එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 30, 2020

සිංගප්පූරු වැසියන්ට එන්නත ලැබේ


මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ ආසියාවේ පළමු රට බවට පත්වෙමින් සිංගප්පූරුව එරට වැසියන්ට එන්නත ලබාදීම අද (30) ආරම්භ කළේය. 

සිංගප්පූරු රජය, එරට සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබාදීම ආරම්භ කළ අතර, ඔවුන් ලබා දෙන්නේ ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතය. 

පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූයේ යැයි සැක කෙරෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ගෝලීයව මියගොස් ඇති ගණන මිලියන 1.7 ඉක්මවා තිබේ. 

සිංගප්පූරුව එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරමින් සාරා ලිම් (46) නමැති හෙදියට සහ කලිස්වාර් මාරිමුතු (43) නමැති බෝවන රෝග සම්බන්ධ වෛද්‍යවරයකුට මුලින්ම එන්නත ලබාදුන්නේය. ඔවුහු දෙදෙනාම සිංගප්පූරුවේ බෝවන රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ සෞඛ්‍ය සේවකයෝ වෙති. 

ඔවුන් දෙදෙනාට අමතරව එහි සේවය කරන 30 දෙනකුට මුලින්ම එන්නත දුන් බව ද සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඔවුන් සියලු දෙනාට එන්නතේ දෙවැනි මාත්‍රාව ජනවාරි 20 වැනිදා ලබාදීමට නියමිත ය. 

ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නතට අවසර දුන් පළමු ආසියානු රට වන්නේ සිංගප්පූරුවයි. ඊට අමතරව සිංගප්පූරුව මොඩර්නා සහ සිනෝවැක් සමාගම් සමඟ ද එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර එන්නත් මිලදී ගැනීම සඳහා තවත් සමාගම් කිහිපයකට පූර්ව ඇණවුම් ද යොමු කර තිබේ. 

ලබන (2021) වසරේ  තෙවැනි කාර්තුව අවසන් වනවිට සිංගප්පූරුවේ සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට එරට රජය බලාපොරොත්තු වෙයි. 

සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7කි. සිංගප්පූරුව යනු ලොව අඩුම නව කොරෝනා වයිරස මරණ අනුපාතයක් ඇති රටවල් අතරින් එකක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 29කි. 

නව කොරෝනා වයිරස එන්නතේ ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා තමන් ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් එන්නත ලබා ගන්නා බව සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් පැවැසීය. හෙතෙම 68 හැවිරිදි වියේ පසුවෙයි. 

සිංගප්පූරු වැසියන්ට එන්නත ලබාදෙන්නේ නොමිලේ වන අතර අකැමැති නම් එන්නත ලබා නොගෙන සිටිය හැක. කෙසේ නමුත් වෛද්‍ය විද්‍යාත්මක එන්නත ලබාගැනීමට සුදුසු සියලු දෙනාට එන්නත ලබාගන්නැයි සිංගප්පූරු රජය එරට වැසියන් දිරිගන්වයි.

‘‘එන්නත ලබාදීම ආරම්භ කිරීම වසංගතයට එරෙහි සටනේ නව පරිච්ඡේදයක්’’ යැයි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ෆේස්බුක් සටහනක් යොදමින් අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සඳහන් කර තිබේ.

‘‘කොවිඩ්-19 වසංගතය තිබෙන ලෝකයක ජීවත් වීමට තිබෙන එකම පිළිතුර මේ එන්නතයි. කෙසේ නමුත් මේ කුණාටුව පහව යන්න තවත් කාලයක් යාවි’’ යැයි හෙතෙම පවසා තිබේ.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom