du Plessis අලුත් කළ Club 199

740

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ Centurion, Super Sport Park හී පැවැත්වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තා ඉතිහාසයේ අවාසනාවන්ත ලැයිස්තුවක් ගැන නැවත කතාබහට ලක්වෙමිනි. ඒ ලකුණු 199න් අවසන් වූ අවාසනාවන්ත පිතිකරු සමාජය හෙවත් “Club 199” වෙත තවත් එක් සාමාජිකයෙක් එක් කරමිනි.

ඒ දකුණු අප්‍රිකාවේ Faf du Plessis ය. වනිඳු හසරංගගේ පන්දුවකට දිමුත් කරුණාරත්න වෙත උඩ පන්දුවක් ලබා දෙමින් du Plessis ලකුණු 199කට දැවී ගියේ එම ලැයිස්තුවේ 11 වැනියා ලෙස ය. ඒ වෙද්දී ඔහු පන්දු 276කට මුහුණ දී සිටි අතර ඊට හතරේ 24ක් ඊට ඇතුළත්ව තිබුණි. මේ ඉරණමට ගොදුරු වූ දකුණු අප්‍රිකා දෙවැනි ක්‍රීඩකයා වන්නේ du Plessis වන අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් විය. 

පහත සටහන් තැබෙන්නේ 199 සමාජයට ක්‍රීඩකයන් එක් වූ ආකාරය ය. 

Mudassar Nazar

පාකිස්තානයේ  Mudassar Nazar මේ ලැයිස්තුවේ පළමුවැනියා වන්නේ ලෝක ටෙස්ට් තරග ඉතිහාසය ආරම්භ වී ගෙවුණු 108 වැනි වසරේ දී ය. 1984 ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වූ මෙම තරගය ලොව පැවති 996 වැනි ටෙස්ට් තරගය වූ අතර ප්‍රතිවාදීන් වූයේ Sunil Gavaskarගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවයි. පාකිස්තානයේ නායකත්වය Zaheer Abbas සතු විය.

පාකිස්තානයේ Faisalabad හි Iqbal ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය, තරග තුනකින් යුත් තරගාවලියේ දෙවැනි තරගය විය. තරගයේ තෙවැනි දිනය අවසන් වන විට Nazar නොදැවී ලකුණු 112ක් ලබා සිටියේ Qasim Umar (35) ද සමඟින් එක්වෙමිනි. 

ඊට පසුදින තරගයේ විවේක දිනයයි. තරගයේ සිව්වැනි දිනයේ දි Nazar පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ තමන් මුහුණ දුන් 408 වැනි පන්දුවේ දී ය. Shivlal Yadavගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක Syed Kirmani අතට උඩ පන්දුවක් දෙමින් Nazar දැවී යද්දී තම ඉනිමට හතරේ පහර 27ක් ඇතුළත් කරගෙන සිටියේය. ඔහු සහ Umar අතර දෙවැනි කඩුල්ලට එක්ව තිබූ ලකුණු සබඳතාව 250කි. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන අතර තරගයේ වීරයා වූයේ පාකිස්තානය වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ Qasim Umar ය.

Mohamed Azharuddin

මේ ලැයිස්තුවේ දෙවැනියා මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි මේ ලැයිස්තුවට එක් වූ පළමුවැනියා වන්නේත්  ඉන්දියාවේ Mohamed Azharuddin ය. 

ටෙස්ට් තරග 3ක තරගාවලියකට දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් එරට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුහුණ දුන් පළමු තරගය මෙයයි. ඉන්දියාවේ Kanpur හී Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී Azharuddin තම ඉනිම ක්‍රියාත්මක කරන්නේ සිව්වැනි සහ අවසන් දිනයේ දී ය. 

තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවට පහර දෙන අතර දෙවැනි දිනය සම්පූර්ණයෙන් ම වර්ෂාවට බිළි විය. එබැවින් සිව්වැනි දිනයේ දී ගැනීමට නියමිතව තිබූ විවේක දිනය තෙවැනි දිනයේ ගැනීමට කණ්ඩායම් දෙකේ එකඟතාවය විය. 

තරගය අවසන් වෙන්නේ රවී රත්නායකගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ Azharuddinගේ දැවී යෑමත් සමගිනි. ඒ වෙද්දී ඔහුගේ ඉනිමේ හතරේ පහර 16ක් සහ හයේ පහරක් තිබූ අතර ඔහු සහ නායක Kapil Dev අතර 6 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 272කි. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙම ඉනිම Azharuddinගේ ටෙස්ට් තරග 99ක ඉනිම් 147ක හොඳම ඉනිම ද වන්නේ ය. 

Matthew Elliott

මෙම ලැයිස්තුවේ තෙවැනියා බවට මෙන්ම ආසියාවෙන් පිටතින් එක් වූ පළමුවැනියා බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආරම්භක වමත් පිතිකරු Matthew Elliott ය. 

එංගලන්තය සමඔඟ Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ මෙම ඉනිම පන්දු 351කින් සමන්විත වූ අතර හතරේ පහර 26ක් සහ හයේ පහර 3ක් ඊට අයත් විය. 

Elliottගේ ටෙස්ට් තරග 21ක හොඳම ඉනිම බවට පත් වෙන්නේ ද එයය. Elliottගේ මෙම ඉනිම ඊට පෙර සාමාජිකයා එක් වී වසර 11කට පසුව වාර්තා වීම කැපී පෙණුනි.

සනත් ජයසූරිය 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ ලැයිස්තුවේ සිටින එකම ක්‍රීඩකයා වන්නේ සනත් ජයසූරිය ය. ඉන්දීය කණ්ඩායම ඉදිරියේ ජයසූරිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නේ එස්. එස්. සී. පිටියේ දී 1997 අගෝස්තුවේ දෙරට අතර පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී ය. 

Abey Kuruvillaගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ජයසූරියගේ ඉනිම නිමා වන විට ඔහු පන්දු 226කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කරගෙන සිටියේ ය. මෙම ඉනිම මේ ලැයිස්තුවේ වේගවත් ඉනිම ලෙසින් ද ඉතිහාසයට එක්ව ඇත. 

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මේ ආකාරයෙන් දැවි ගිය ක්‍රීඩකයන් අතුරින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ පළමුවැන්නා වූයේ ජයසූරිය ය. 

පෙර සඳහන් Elliott මෙම ලැයිස්තුවට එක් වීමෙන් පසුව ගෙවී ගිය 16 වැනි දිනයේ දී ජයසූරිය ද ඊට එක් වූයේ 199 සමාජයට පෙර ක්‍රීඩකයා එක් වූ පසු ඉතාම ඉක්මනින් මේ ලැයිස්තුවට පැමිණි ක්‍රීඩකයා ද ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙමිනි.   

තවත් විශේෂාංග ලිපි:

Steve Waugh

ඕස්ට්‍රේලියා කණ්ඩායම 1999 මාර්තුවේ දී කළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිව්වැනි තරගයේ දී Steve Waughගේ මෙම ඉනිම වාර්තා විය. Barbados හි Kensington Oval පිටියේ පැවති මෙම තරගයේ දී Nehemiah Perryගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නිමා වූ Waughගේ ඉනිම පන්දු 376කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 20ක් සහ හයේ පහරක් ඇතුළත් විය. 

නායකත්වයේ සිටිය දී මෙම ලැයිස්තුවට එක් වූ පළමුවැනියා වූයේ Waugh ය. එමෙන්ම මෙවැනි ඉනිම් වාර්තා වූ තරගවල දී ප්‍රතිවාදීන් ජය ගත් පළමු තරගය ද මෙය ය. 

Younis Khan

මෙම ලැයිස්තුව ආරම්භ වී වසර 22කට පසුව නැවතත් පාකිස්තානය ක්‍රීඩකයෙක් මෙම අකරතැබ්බයට මුහුණ දුන්නේය. ඒ Younis Khan ය. පුදුමයකට මෙන් නැවතත් ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව ය. 

අවාසනාවන්ත මේ ලැයිස්තුවේ Younis Khan කෙතරම් අවාසනාවන්ත වී ද යත් ලැයිස්තුවේ දුවද්දී දැවී ගිය පළමු ක්‍රීඩකයා වූයේ ඔහු ය. ඒ වෙද්දී ඔහු පන්දු 336කට මුහුණ දී සිටි අතර හතරේ පහර 26ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. 

Ian Bell

ඓතිහාසික Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණය ද මේ ලැයිස්තුවට ඈඳා ගත් එංගලන්තයේ Ian Bell දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 199කට දැවි ගියේ Paul Harris විසින් යැවුණ පන්දුවකට දුන් උඩ පන්දුවක් පෙරලා ඔහු විසින් ම රැක ගැනීම හේතුවෙනි. 

ඒ වෙද්දී ඔහු පන්දු 336කට මුහුණ දී සිටි අතර හතරේ පහර 20ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් කරගෙන සිටියේය. 

Steven Smith

මෙම ලැයිස්තුවට එක් වූ ඕස්ට්‍රේලියානු තෙවැනි ක්‍රීඩකයා වන්නේ Steven Smith ය. ඒ දෙවැනියා වූ Steve Waughගේ දැවී යෑමෙන් අනතුරුව ගෙවී ගිය හය වැනි වසරේ දී ය. මෙවර ද ප්‍රතිවාදීන් බටහිර ඉන්දීය කොදෙව්වන් වීම දෛවෝපගතය. 

තරගය පැවතියේ Kingston හි Sabina Park ය. Smith තම ඉනිම අවාසනාවන්ත ලෙසින් අවසන් කර ගන්නා විට පන්දු 361කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කරගෙන සිටියේය.  

KL Rahul

ඉන්දියාව නියෝජනය කරමින් මේ ලැයිස්තුවට එක් වූ දෙවැනියා වන්නේ ආරම්භක දකුණත් පිතිකරු KL Rahul ය. ඉන්දීය පළමුවැනියා වූ Mohamed Azharuddin  

2016 වසරේ දී එංගලන්තයට එරෙහිව පැවති තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ඔහුගේ මෙම ඉනිම වාර්තා විය. 

Chennai හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ මෙම ඉනිම පන්දු 311කින් සමන්විත වූ හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. Rahulගේ ටෙස්ට් තරග 36ක ඉනිම් 60ක මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද විය. 

Dean Elger

දකුණු අප්‍රිකා කණ්ඩායම ද මෙම ලැයිස්තුවට එක්කළ වමත් ආරම්භක පිතිකරු Dean Elger බංග්ලාදේශය හමුවේ මෙම අවාසනාවන්ත ඉනිම වාර්තා කළේය. Potchefstroom හි Senwes Park පැවති මෙම තරගයේ Elgerගේ ඉනිම පන්දු 388කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. 

Elgerගේ තරග 63ක ඉනිම් 110ක දී වාර්තා වූ හොඳම ද ඉනිම ද මෙය වන්නේ ය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<