0

ජාතික ගුවන්විදුලියේ 95 වැනි සංවත්සරය වෙනුවෙන් බ්ලොග් අඩවියක්

  • December 12, 2020

ලබන 16 වැනිදාට ජාතික ගුවන්විදුලිය ආරම්භ කර වසර 95 ක් සපිරෙයි. එනම් 1925 වසරේ නිල වශයෙන් සන්නිවේදන කටයුතු ඇරඹි ජාතික ගුවන්විදුලිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නාලිකා ගණනාවකින් ශ්‍රාවකයින්ට දැනුම, තොරතුරු හා වින්දනය සපයමින් ප්‍රමුඛතම රාජ්‍ය ගුවන්විදුලි මාධ්‍ය ආයතනය ලෙස සිය ජාතික වගකීම ඉටුකරමින් සිටියි.

සිය 95 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත. ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ විවිධ මතක සටහන් ද සමාජ මාධ්‍ය අවකාශය තුළ මේ දිනවල හුවමාරු වෙමින් පවතින අතර අනාගත පරපුරට මෙම තොරතුරු ගෙනයාම කාලීන අවශ්‍යතාවකි.

මේ අනුව ජාතික ගුවන්විදුලියේ සංවත්සරය වෙනුවෙන් ලියවෙන ලිපි බ්ලොග් අඩවියකට එක් කිරීමේ අදහස මා තුළ ඇති වන්නේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා වන ඉන්දික ජයරත්න මහතා ජාතික ගුවන්විදුලිය ගැන ෆේස්බුක්හි ලියූ ලිපි පෙළේ වැදගත්කම හේතුවෙනි. බ්ලොග් අඩවියක ඒවා පළකිරීමේ අවශ්‍යතාව මා පෙන්වාදුන් පසු ඔහු ඒ පිළිබඳ සතුට ප්‍රකාශ කළ බැවින් ඔහුගේ ලිපි පළකරමින් මෙම බ්ලොග් අඩවිය ඇරඹුවෙමි. මේ වන විට එම ලිපි මෙන්ම ජාතික ගුවන්විදුලිය පිළිබඳ ලියවුණු තවත් ලිපි එම රචකයින්ගේ නමින් ඔවුන්ගේ පූර්ණ අවසරය සහිතව පළකර ඇත.

ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත නිල වෙබ් සන්නාමයක් වන මාගේ Iranga.lk වෙබ් අඩවියේ උපවෙබ් ලිපිනයක් මෙම බ්ලොග් අඩවිය සදහා භාවිත කර ඇත. ඒ අනුව ජාතික ගුවන්විදුලියේ් 95 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වූ එම බ්⁣⁣ලොග් අඩවියට  https:\\slbc95.iranga.lk  ලිපිනයෙන් දැන් පිවිසිය හැකිය.

 1,561 total views,  1 views today

Comments

comments