0

ජාතික ගුවන්විදුලියේ 95 වැනි සංවත්සරය හා ඩිජිටල් මාධ්‍ය අභියෝගය

  • December 16, 2020

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අද සිය 95 වැනි සංවත්සරය සමරයි. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය ගුවන්විදුලි ආයතනය ලෙස වසර 95 ක් ශ්‍රාවකයින්ගේ තොරතුරු හා වින්දන අවශ්‍යතාව සැපිරූ ජාතික ගුවන්විදුලිය එක් එක් අවධිවල මුහුණදීමට සිදුවූ විවිධ අභියෝග හමුවේ වුව ද සිය ජාතික වගකීම නොපිරිහෙලා ඉටුකරමින් සිටියි. එම අභියෝග අතර වර්තමානයේ ජයගැනීමට සිදුවී ඇති ප්‍රමුඛතම අභියෝගය ඩිජිටල් මාධ්‍ය අභියෝගය බව පැවසිය හැකිය. විවිධ මාධ්‍ය ප්‍රවණතා කලින් කලට ඉස්මතු ⁣වන විට සිය අනන්‍යතාව ද රැකගනිමින් ඒවාට සාර්ථකව මුහුණදීම අනිවාර්ය අවශ්‍යතාවකි. මෙම ලිපිය ඒ පිළිබඳවයි.

නූතන ඩිජිටල් මාධ්‍ය ප්‍රවණතා හමුවේ කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයකට හුදෙකලා පැවැත්මක් නොමැත. එබැවින් එම සෑම ජනමාධ්‍ය ප්‍රවර්ගයක්ම සිය අනාගත භූමිකාව තහවුරු කරගැනීම උදෙසා අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් මාධ්‍ය උපයෝගී කර ගත යුතුය. ජාතික ගුවන්විදුලියට ද මෙම තත්ත්වය එසේමය. ගුවන්විදුලි මාධ්‍යයේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඩිජිටල් මාධ්‍ය ශක්‍යතා එහි සංවර්ධනය සඳහා උපයෝගී කර ගත යුතුවේ. ජාතික ගුවන්විදුලිය මේ වන විටත් ඊට සාධනීය ප්‍රවේශයක් ලබා ඇත.

ඒ අනුව සිය ගුවන්විදුලි නාලිකා ජංගම දුරකථන යෙදවුම් මගින් ශ්‍රවණයට පහසුකම් සැලසීම එහි සැලකිය යුතු ඉදිරි පියවරකි. මීට මාස කිහිපයකට පෙර එය එළිදැක්වීමට කටයුතු කළ අතර සුහුරු ජංගම දුරකථන පරිශීලකයන්ට එමගින් ජාතික ගුවන්විදුලියට සවන්දිය හැකිය. මීට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ඇතුළු වැඩසටහන් සජීවීව දෘශ්‍ය මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමට ද ජාතික ගුවන්විදුලිය පියවර ගෙන ඇත. මෙම සියලු ප්‍රවණතා ඩිජිටල් මාධ්‍ය අභියෝගය ජයගැනීමට ගෙන ඇති මූලික පියවර ලෙස හැදින්විය හැකිය.

කෙසේ වුවත් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ වඩාත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව මාගේ අදහසයි. එනම් ගුවන්විදුලි වැඩසටහන් පමණක් ඩිජිටල් මාධ්‍යයට ගෙන ඒම වෙනුවට ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ ගුවන්විදුලියෙන් ඔබ්බට ගිය අනන්‍යතාවක් ගොඩනඟා ගත යුතුය. ලංකාදීප වැනි මෙරට ඇතැම් ජාතික පුවත්පත් දැනටමත් මෙම අභියෝගය විවිධ මට්ටමින් ආමන්ත්‍රණය කරමින් සිටියි. විවිධ පාර්ශ්ව සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා වීඩියෝ මාධ්‍යයෙන් අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම ඊට එක් නිදසුනකි. QR කේත මඟින් පුවත්පතේ අන්තර්ගතයන් තවදුරටත් අන්තර්ජාලයෙන් ලබාගැනීමට ලබා දී ඇති පහසුකම ද මෙරට පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පියවරකි. ගුවන්විදුලි මාධ්‍යය ද ඩිජිටල් මාධ්‍ය වෙළෙඳපොළ අත්කර ගැනීමට හා එහි පරිශීලකයන් ආකර්ෂණය කර ගැනීමට මෙවැනි නව අත්හදාබැලීම් සිදුකළ යුතුය.

සෑම විටම උපරිම වගකීමෙන් යුතුව තොරතුරු ගෙනඑන ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය ද ඩිජිටල් මාධ්‍යයට අනුරූපව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් පවතී. එනම් ඩිජිටල් මාධ්‍ය භාවිත කරන ශ්‍රාවක අවශ්‍යතා සහ ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත හැකි පරිදි ඩිජිටල් මාධ්‍ය ප්‍රවෘත්ති ආකෘතියක් ගොඩනැඟීම වැදගත්ය. එය මෙරට සාමාන්‍ය ගුවන්විදුලි ශ්‍රාවකයින්ගේ අවශ්‍යතාවලින් මුළුමනින්ම වෙනස් විය යුතුය.

දීර්ඝ කාලීන අතීතයක් ඇති බීබීසී වැනි මාධ්‍ය සන්නාම ජාත්‍යන්තර මට්ටමින් සිය පැවැත්ම කාලයත් සමඟ නොබිඳිය හැකි ලෙස පවත්වාගෙන එනු ලැබුවේ මෙරට ජනමාධ්‍යවලට වඩා බොහෝ කලකට පෙර නව ජනමාධ්‍ය ප්‍රවණතාවලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරවල සාර්ථකත්වය හේතුවෙනි. ඩිජිටල් මාධ්‍ය අභියෝගය ද ඔවුන් ජයගත්තේ එලෙසිනි. එබැවින් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මෙම ඩිජිටල් මාධ්‍ය අභියෝගය ජයගත යුතුය. ජාතික ගුවන්විදුලියට ද එම අභියෝගය ජයගැනීම අපහසු නැත. විය යුත්තේ නිසි සැලැස්මකින් එය ක්‍රියාවට නැංවීමයි. තව වසර 5 කින් එළඹෙන 100 වැනි සංවත්සරය පිළිබඳ සටහනක් තබන මොහොතේ ජාතික ගුවන්විදුලිය ඩිජිටල් මාධ්‍ය අවකාශයේ අනන්‍යතාව ගොඩනඟාගෙන තිබීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් බව මාගේ අදහසයි.

 1,361 total views,  1 views today

Comments

comments