RSS

කොච්චර වෙනස් වෙලාද?

31 මාර්තු

අපි දවසින් දවස වයසට යනවා.ඒත් එක්කම හිතන පතන හැටි, අඳින පළඳින හැටි , බලාපොරොත්තු ඔක්කෝම වෙනස් වෙනවා.පුංචි කාලේ සමහර දේවල් ගැන හිතපු හැටි මතක් වෙන කොට දැන් නම් හිනාත් යනවා. ඒත් හෙමිහිට කල්පනා කරලා බලනකොට ඒ කාලේ මොනතරම් සුන්දර මතක වලින් පිරිලා තියෙනවද?

අපි පුංචිම කාලේ හිටියේ හරිම ලස්සන දුෂ්කර ගමක.දුෂ්කර වෙන්න වෙන්නනේ ගමක් ලස්සන වෙන්නේ. දැන් තමයි ඒක ලස්සනට පේන්නේ. ඉස්සර නම් කෙඳිරි ගගා තමයි හිටියේ.ඒ දවස් වල අපි කල්පනා කලේ වෙනස්ම විදියට.

අපි ටවුන් එකට තමයි ආදරේ කලේ. ඉඳලා හිටලා ටවුන් ගිහින් එහේ තියෙන එක එක ජාතියේ කඩ වලට යන්න,ගමේ අයට වඩා ලස්සනට අරුමෝසම් කරගෙන යන අයව බලන්න අපි හිටියේ ගොඩාක් ආසාවෙන්, එහෙම දවසක් එනකම් ඇඟිලි ගැන ගැන. අපි හිතුවේ ටවුන් එකේ තමයි ඔක්කෝම සැප සම්පත් තියෙන්නේ කියලා.

ඊටත් කාලෙකට පස්සේ තමයි අපි අග නගරෙට එන්නේ ඉගෙන ගන්නයි රස්සාවටයි දෙකටම.එතනින් පස්සේ ගමේ යන්න වුනේ ඉස්සර ටවුන් ගියා වගේ තමයි, කාලෙකට පස්සේ.

පොඩි කාලේ අපිට ලොකුවට පෙනුනු ටවුම දැන් පේන්නේ පොඩියට.මට හොඳට මතකයි ටවුන් එකේ ඒ දවස් වල fancy බඩු කඩයක් තිබුනා, එක එක ජාතියේ අරුමෝසම් බඩු පිරිලා.මට ඒ දවස් වල හිතුනේ ඒකෙ නැති දේයක් නෑනේ කියලා.

පස්සෙ කාලෙක හදිස්සියේ ඒකට යන්න වුනාම මට පුදුම හිතුනා. මට කඩේ පෙනුනේ ඇත්තටම ගොඩාක් පොඩියට. බඩු ටිකක් තියෙන පොඩිකඩයක්.පුංචි කාලේ ඒක කොච්චර ගාම්භීර විදියට ලොකුවට පෙනුනද කියලා මතක් වෙලා පොඩි දුකකුත් දැනුනා.

තවත් කාලෙකට පස්සේ රට රට වල යන්න ලැබෙනකොට කොළඹ තියෙන ගොඩනැඟිලි, පාරවල් වලට වඩා කොච්චර ලොකු ගොඩනැඟිලි, පාරවල් තියෙනවද කියලා පුදුම හිතුනා.

ඒ වගේම තමයි අපේ බලාපොරොත්තුත්. ඒ කාලේ තිබුනු බලාපොරොත්තු වලට වඩා ගොඩාක් සංකීර්ණයි.ළඟා කරගන්න අමාරුයි. ඇත්තටම ගමට වෙලාම ඉන්න තිබුනම් හොඳයිද කියන එක මම සමහර වෙලාවට කල්පනා කරනවා. එහෙම වුනා නම් මම මේ වෙනකොට මොනව කරනවා ඇතිද?

ඒත් හැමදාම මට හිතෙන්නේ මම දැන් තමයි සතුටින්ම ඉන්නේ කියලා.ගම කොච්චර සුන්දර වුනත් ආපහු ගමේ ගිහින් ජීවිතේ ආයෙත් පටන් ගන්න බැරි නිසාත් මෙහේ තියෙන කලබල කාරි බවෙත් සුන්දර බවක් දකින්න දැන් පුරුදු වෙලා නිසාත් ටවුමෙම ඉන්න දැන් හිත හදාගෙන ඉවරයි.

ඒත් සමහර වෙලා වට අපේ පුංචි කාලේ ගැන , ගම ගැන හිතට එන සිතුවිලි වල අතරමං වෙලා විනාඩියක් දෙකක් පැනලා යන්නේ මටත් නොදැනීම.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න