0

සමාජ මාධ්‍ය ගැන ගාමින්දගෙන් වැදගත් අදහසක්

හරි ටීවී යූටියුබ් නාලිකාවෙි ලහිරු මුදලිගේ මෙහෙයවන වැඩසටහනකට එක්වෙමින් ගාමින්ද ප්‍රියවිරාජ් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ලෙස ඉස්මතු වෙමින් පවතින සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ අවධානය යොමුකළ යුතු අදහසක් ඉදිරිපත් කරනවා. මෙරට විනෝදාත්මක වැඩසටහන් කලාවේ පුරෝගාමියෙකු ලෙස මෙන්ම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සැලකිය යුතු භූමිකාවක නිරතව සිටින පුද්ගලයෙකු ලෙස ද ගාමින්දගේ මෙම අදහස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදයට බඳුන් කළ යුතු නිරීක්ෂණයක් බව මාගේ අදහසයි.

ඔහු පවසන්නේ ආණ්ඩු පෙරළීම වැනි මෑත කාලීන සමාජ මාධ්‍ය ප්‍රවණතා සත්‍යයක් නොවන බවයි. එමෙන්ම කොපමණ නැරඹුම් වාර (Views) දක්න⁣ට ලැබුණ ද යූටියුබ් වැනි සමාජ මාධ්‍යවලින් ඇතිකළ හැකි බලපෑම රූපවාහිනිය වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සාපේක්ෂව තවමත් පසුගාමී තත්ත්වයක පසුවන බවයි.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය මගින් ඇතිකෙරෙන බලපෑම පර්යේෂණවලින් පවා තහවුරු කර ඇති නමුත් රූපවාහිනිය මගින් මෙරට සමාජයට ඇතිකරන බලපෑම සමාජ මාධ්‍ය සමග සැසඳීමේදී තවමත් ප්‍රමුඛස්ථානයේ පසුවන බව පවසන ගාමින්දගේ අදහස බැහැර කළ නොහැකියි. දැන්වීම් නිර්මාණකරුවෙකු ලෙස ඔහු සමාජ මාධ්‍ය දෙස බලන මානය ද ඉතා වැදගත් වේ. එනම් ඒ ඒ මාධ්‍ය ප්‍රවර්ගවලට ගැළපෙන දැන්වීම් වර්ග හදුනාගැනීමයි. ඔහු පෙන්වාදෙන පරිදි මෙරට රූපවාහිනී දැන්වීම් බහුතරයක් ආමන්ත්‍රණය කරන්නේ ගෘහණියන්ගේ අවශ්‍යතාවන් වේ. එම දැන්වීම් සමාජ මාධ්‍යවලට ගැළපෙන්නේ නැත. ඩේටා පැකේජ වැනි දැන්වීම් සමාජ මාධ්‍යවල පළකිරීම ඵලදායී වේ. එහි සංයුක්ත අදහස වන්නේ මෙරට සමාජ මාධ්‍ය පරිශිලකයින්ගේ අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ වියදම් කිරීමේ හැකියාව පිළිබඳව ද මනා අවබෝධයකින් දැන්වීම් නිර්මාණය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයි.

යූටියුබ්වල කෙතරම් නැරඹුම් වාර සංඛ්‍යාවක් තිබුණ ද ගීතයක් ජනප්‍රිය වීමට එය බලපෑම් සහගත සාධකයක් නොවන බව ද ගාමින්ද පවසයි. එය ද යම්තාක් දුරකට සාධනීය නිරීක්ෂණයකි. නැරඹුම් වාර මිලියනය ඉක්ම වුව ද ජනප්‍රිය නොමැති ගීත සොයාගැනීම අපහසු නැත. මෙය යූටියුබ් සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය අදහසට සමපාත නොවන අදහසක් ලෙස දක්නට ලැබුණ ද ගාමින්දගේ මෙම නිරීක්ෂණය මෙරට සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ අදහස වෙනස් දිශාවකට යොමුකරන්නක් බව මාගේ අදහසයි.

මේ අනුව පැවසිය යුතු වන්නේ මෙරට සමාජ මාධ්‍ය ප්‍රවණතා පිළිබඳ පවත්නා පොදු සහ ජනප්‍රිය තලයේ අදහස් තවදුරටත් පුළුල් මානයකින් විග්‍රහයට හා විශ්ලේෂණයට බදුන්කිරීමේ අවශ්‍යතාවයි. මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව නියැලෙන අත්දැකීම් බහුල පුද්ගලයෙකු ලෙස ගාමින්ද ඉදිරිපත් කරන මෙම අදහස් ඊට නව මාවතක් විවර කර ඇති බව මාගේ අදහසයි.

 1,790 total views,  1 views today

Comments

comments