RSS

ගරු කිරීම

09 අප්‍රේල්

අපේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන බලාගෙන හිටපු මගේ විදේශීය මිත්‍රයෙක් කිව්වේ ලංකාවේ මිනිස්සු අනිත් අයට කිසිම ගරු කිරීමක් නැහැ කියලා.එයා මෙහේ project එකකට ඇවිල්ලා අවුරුදු දෙක තුනක් ඉඳලා එකතු කර ගත්ත අත්දැකීම් වලින් තමයි එහෙම කිව්වේ.

අපි දෙන්නා ඕක ගැන ගොඩාක් කතා කලා. මම ඉතින් දන්න නොදන්න ඔක්කෝම තර්ක දැම්මා. අපි දෙමව්පියන්ට සලකන්නේ මෙහෙමයි. ගුරුවරුන්ට පන්සලට සලකන්නේ මෙහෙමයි කියලා. අපේ ආගමෙන් උගන්නන්නේ මෙහෙමයි කියලා.

ඒත් එයා පිළිගත්තෙම නෑ. එයා කියන එකෙත් යම් ප්‍රමාණෙකට ඇත්තක් තියෙන බව මටත් අන්තිමට පිළිගන්න වුනා. බණ කිය කියා අනිත් මිනිස්සු හදන්න යන අයට නම් මම කොහොමත්ම කැමති නෑ.ඒත් සුද්දා කියපු දේවල් නම්  ආයෙත්හිතලා බලන්න වටිනවා.

ඇත්තටම සුද්දා කියපු දේවල් වලට අනුව මෙහේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව කවුරුත් කාටවත් ගරු කරන්නේ නැති එක. ගරු කරනවා කියන එකෙන් සුද්දා අදහස් කලේ රස්සාවටවත්, ඇඳුමටවත් සල්ලි වලටවත් සලකනවා කියන එක නෙමෙයි. මනුස්සයෙක් විදියට පුද්ගලයෙකුට සලකන එකටයි.

උදාහරණයක් විදියට බස් එකක කොන්දොස්තර කෙනෙක් මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ.බස් එක නවත්තන්න කලින් එලියට ඇදලා දානවා. එහෙම නැත්තම් බාගෙට නගින කොට බෙල් එක ගහනවා.

Office එකකට වැඩක් කර ගන්න ගියාමත් එහෙමයි. තමන් ඉස්සරහා කෙනෙක් ඉන්න බව දැනගෙනම අහක බලාගෙන වෙන වැඩක්.

වාහන එළවන්නේ හෝන් එකෙන්. කොහොමහරි අනිත් එක්කෙනාව පහු කරන්න බලන්නේ. ඉස්සර කරන්න බැරි තැන් වලත් හෝන් ගහ ගහ අනිත් මනුස්සයාට වද දෙනවා.

Three wheeler ඔක්කෝටම එහා. එහෙන් මෙහෙන් යන්නේ මනුස්සයෝ ගැන කිසිම හැඟීමක් නැතුව.

එහෙම බැලුවොත් ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. මනුස්සයෙකුට සලකන හැටි දන්නවා නම් කවදාවත් කොන්දොස්තර කෙනෙක් අතින් තල්ලු කර කර මිනිස්සුන්ට වද දෙන්නේ නෑ.

වැඩේ තියෙන්නේ කාටවත්ම මේවා හදන්න වුවමනාවක් නැති එකයි.ඔහේ යන්න ඇරලා බලන් ඉන්න හැමෝම පුරුදු වෙලා.අනිත් අතට ඔය කොන්දොස්තරලාගෙන් three wheel driverලගෙන් කුණුහරප අහගන්න තියෙන අකමැත්ත. මොනවහරි වැරැද්දක් පෙන්නලා දුන්නාම පිලිගන්නත් මොළයක් තියෙන්න එපායැ. ඇත්තටම ඉස්කෝල වල උගන්නනේ මොනවද කියලා හිතෙනවා පාරට බැස්සාම.

කාගෙද වැරැද්ද? මම හිතන්නේ ඔක්කෝම මිනිස්සු එහෙම වෙන්න ඔනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම හිතට අමාරුවකුත් නැහැ. තමනුත් කරන්නේ එහෙමනේ.ඒක තමයි මේකට තියෙන විසඳුම.

මට දුක සුද්දෙකුගෙන් මේක අහගන්න වුනු එක.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න