Home Sinhala තිසරගේ සුපිරි පිතිකරණයෙන් Jaffna Stallions ජය මාවතට

තිසරගේ සුපිරි පිතිකරණයෙන් Jaffna Stallions ජය මාවතට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

351

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස අද (30) සවස හම්බන්තොට දී ආරම්භ වූ Dambulla Viiking සහ Jaffna Stallions අතර තරගයෙන් ලකුණු 66ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Jaffna Stallions සමත් විය. ඒ තවත් පන්දු 5ක ඉතිරිව තිබිය දී ය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවි ලකුණු 218ක් ලබා ගත් අතර එය මෙම තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන තෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව විය. පිළිතුරු ඉනිමේ දී දඹුල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 152ක් පමණි.

අද තරගයේ දී යාපනය වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ Kyle Abbott වෙනුවට Usman Shinwari ද, දඹුල්ල වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කරද්දී ආබාධයට පත් ඕෂද ප්‍රනාන්දු වෙනුවට මිනෝද් භානුක සහ Sudeep Tyagi වෙනුවට Paul Stirling කැඳවමින් තරගයේ කාසියේ වාසිය උරගා බැලුණි.

ඒ අනුව පිටිය මැද දී කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස යාපනය නායක තිසර පෙරේරාට ආරාධනා කළේය. දසුන්ගේ එම තීරණය පළමු පන්දුවාර කිහිපයේ දී සාර්ථක ඵල නෙලා ගනිමින් වාසියක් ගෙන දුන්නේ ය. ඔවුන් ප්‍රතිවාදීන්ගේ ඉනිමේ ආරම්භක පන්දුවාර 5 දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූහ.

තරගයේ පළමු පන්දුවේ දී ම අවිශ්ක ප්‍රනාන්දු (4) හතරේ පහරක් එල්ල කරමින් සුපුරුදු පිති ප්‍රහාරය ආරම්භ කළ ද, තෙවැනි පන්දුවේ දී ඔහුගේ ඉනිම අවසන් කිරීමට ලහිරු පෙරේරා සමත් විය. ඒ කඩුල්ල පිටුපස සිටි නිරෝෂන් දික්වැල්ල පහසු උඩ පන්දුවක් ලබා ගැනීමත් සමඟිනි.

අනතුරුව දෙවැනි පන්දුවාරය යැවූ රමේෂ් මෙන්ඩිස් Tom Moors (5) දවා ගත්තේ ය. එහි දී ද කඩුල්ල පිටුපස සිට දික්වැල්ල ක්‍රියාත්මක විය. ආරම්භක පිතිකරු මිනෝද් භානුක (6) සිව්වැනි පන්දුවාරයේ දී දැවී ගියේ Anwar Aliගේ පන්දුවකට Paul Stirling වෙතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී යාපනය ඉනිම කියැවුණේ ලකුණු 24ක් ලෙසිනි.

ලකුණු 36ක් වෙද්දී ධනංජය ද සිල්වා ඊළඟ කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ Samit Patelගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ඒ වෙද්දී ධනංජය පන්දු 12කට ලකුණු 16ක් ලබා සිටියේ ය. 5 වැනි කඩුල්ල ලෙසින් Shoaib Malik ද ලකුණු 23කට දැවී ගිය පසු යාපනය ක්‍රීඩකයෝ හිස එසවීම ආරම්භ කළ හ.

ඒ වෙද්දී ඉනිමේ හරි අඩක්ම අවසන්ව තිබුණ අතර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5ක් දැවි ලකුණු 71ක් ලෙසිනි. අවසන් පන්දුවාර 10 දී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 147ක් ලබා ගත්තේ තරගය ආරම්භයේ තමන් වෙත එල්ල කළ පීඩනයට වාඩුව ගැනීමක් ලෙසිනි.

ඔවුන්ගේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් චතුරංග ද සිල්වා සහ නායක තිසර පෙරේරා එක්ව පන්දු 32ක දී ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගූහ. චතුරංග දුවද්දී දැවී යන විට පන්දු 24කට හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියේ ය. අනතුරුව කඩුල්ලේ දී ද එවැනිම සබඳතාවක් ගොඩනැගීමට තිසර පෙරේරා සමඟ එක් වු වනිඳු හසරංග සමත් විය.

තිසර – වනිඳු සුසංයෝගය පන්දු 22ක දී ලකුණු 55කි. එම සබඳතාව බිඳී ගියේ වනිඳුගේ හිසටත් ඉහළින් නැගි පන්දුවකට අසාර්ථක පහරක් එල්ල කරමින් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී වනිඳු පන්දු 10කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියේ ය.

ඉනිම අවසන් වන විට තිසර පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 97ක් ලබා ගත්තේ ඉනිමේ 19 වැනි පන්දුවාරය යැවූ ලහිරු කුමාරට එරෙහිව ලකුණු 30ක් ද රැස්කර ගනිමිනි.

තිසරගේ මෙම ඉනිම තරගාවලියේ ක්‍රීඩකයෙක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය විය. අනෙක් අන්තයෙන් නොදැවි ක්‍රීඩා කළ බිනුර ප්‍රනාන්දු හයේ පහරක් සමඟින් නොදැවි ලකුණු 8ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී Samit Patel ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත් අතර ලහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, Anwar Ali  සහ Aftab Alam කඩුල්ල බැගින් දවා ගත්තේ ය.

තවත් LPL පුවත්:

ලකුණු 219ක හඹායන ඉලක්කයක වෙනුවෙන් පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සහ Paul Stirling ය. ඔවුන්ට ද ප්‍රතිවාදීන් සේ ම ඉනිම ලෙහෙසියෙන් ඇරඹීමට ඉඩ ලැබුණේ නැත. ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී පළමු කඩුල්ලේ සබඳතාවට නතර කෙරුණේ ලකුණු 24ක් වෙද්දී ය. ඉන් ලකුණු 20ක ම හිමිකාරිත්වය දික්වැල්ල සතු වූ අතර ඔහු ඒ වෙනුවෙන් පන්දු 11ක් වැය කරමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඊට ඇතුළත් කර තිබුණි.

අනතුරුව දෙවැනි කඩුල්ල ලෙසින් අනෙක් ආරම්භක පිතිකරු ලකුණු 2ක් තිබිය දී දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් විය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සහ Samit Patel ලකුණු 24ක සබඳතාවක් එක් කළේ පන්දු 15ක් වැය කරමිනි. උපුල් තරංගට ද අද තරගයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි. ඒ වෙනුවෙන් ඔහුට පන්දු19ක් වැය කිරීමට සිදු විය.

සිව්වැනි කඩුල්ලේ දී නායකයා අනෙක් අන්තයේ රඳවා ගනිමින් දැවැන්ත පහරවල් කිහිපයක් සමඟින් ලකුණු පුවරුව ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට Samit Patel උත්සාහ කළ ද ඔහුගේ ගමන වැළැක්වීමට වනිඳු හසරංග සමත් විය. වනිඳුගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Samit Patel දැවී යන විට පන්දු 22ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියේ ය.

එතැන් සිට තරගයේ පාලනය සියතට ගැනීමට දසුන් උත්සාහ කරන අයුරක් දක්නට තිබුණි. නමුත් ඒ විගසම Anwar Ali ද පන්දු 13කට හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් සීමාව මායිමේ සිටි චතුරංග ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 21ක දී දැවී ගියේ ය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

අනතුරුව පිට පිට පන්දුවාර දෙකක දී දසුන් ශානකගේ සහ ලහිරු මධුශංකගේ කඩුලු ලබා ගත් යාපනය ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය පෙනෙන දුරකට ගෙන එන ලදි. දසුන් පන්දු 21ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී බිනුරට දැවී ගිය අතර ලහිරු කිසිදු ලකුණක් නොලබා තිසරට දැවී ගියේ ය.

පසු පෙළින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් (10), Aftab Alam (0*), මාලින්ද පුෂ්පකුමාර (0) සහ ලහිරු කුමාර (0) අසාර්ථක කිරීමට යාපනය ක්‍රීඩකයෝ වැය කළේ පන්දු 8ක් පමණි.

පන්දු යැවීමේ දී වේගපන්දු යැවූ Usman Shinwari ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව බිනුර ප්‍රනාන්දු සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත් අතර Duanne Olivier සහ වනිඳු හසරංග ද කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ Jaffna Stallions කණ්ඩායමේ නායක තිසර පෙරේරා ය.

අද තරගයේ දී දඹුලු කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් ලෙසින් අයර්ලන්තයේ Paul Stirling, එංගලන්තයේ Samit Patel, ඇෆ්ගනිස්තානයේ Aftab Alam සහ පාකිස්තානයේ Anwar Ali ද යාපනය කණ්ඩායම වෙනුවෙන් පකිස්තානයේ Shoaib Malik සහ Usman Shinwari, එංගලන්තයේ Tom Moors සහ දකුණු අප්‍රිකාවේ Duanne Olivier ද සහභාගි වූහ.

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

Team M W L T PT
Jaffna Stallions 2 2 0 0 4
Dambulla Viiking 2 1 1 0 2

Result


Dambulla Aura
152/10 (19.1)

Jaffna Kings
218/7 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Niroshan Dickwella b Lahiru Kumara 4 3 1 0 133.33
Minod Bhanuka c Paul Stirling b Anwar Ali 6 7 1 0 85.71
Tom Moores c Niroshan Dickwella b Ramesh Mendis 5 3 1 0 166.67
Dhananjaya de Silva b Samit Patel 16 12 2 0 133.33
Shoaib Malik c Niroshan Dickwella b Samit Patel 23 13 2 1 176.92
Chathuranga de Sliva run out (Upul Tharanga) 29 24 0 2 120.83
Thisara Perera not out 97 44 8 7 220.45
Wanindu Hasaranga c Niroshan Dickwella b Aftab Alam 24 10 3 1 240.00
Binura Fernando not out 8 4 0 1 200.00


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 218/7 (20 Overs, RR: 10.9)
Did not bat Duanne Olivier, Usman Shinwari,

Bowling O M R W Econ
Lahiru Kumara 4 0 63 1 15.75
Ramesh Mendis 4 0 25 1 6.25
Anwar Ali 4 0 46 1 11.50
Samit Patel 3 0 26 2 8.67
Aftab Alam 3 0 22 1 7.33
Dasun Shanaka 1 0 14 0 14.00
Lahiru Madushanka 1 0 21 0 21.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Shoaib Malik b Usman Shinwari 20 11 1 2 181.82
Paul Stirling c Tom Moores b Binura Fernando 2 9 0 0 22.22
Upul Tharanga c Minod Bhanuka b Thisara Perera 15 19 2 0 78.95
Samit Patel b Wanindu Hasaranga 41 22 1 4 186.36
Dasun Shanaka c Chathuranga de Sliva b Binura Fernando 35 21 3 2 166.67
Anwar Ali c Chathuranga de Sliva b Usman Shinwari 21 13 2 1 161.54
Lahiru Madushanka c Usman Shinwari b Thisara Perera 0 1 0 0 0.00
Ramesh Mendis c Tom Moores b Duanne Olivier 10 8 0 1 125.00
Aftab Alam not out 1 6 0 0 16.67
Malinda Pushpakumara c Tom Moores b Usman Shinwari 0 2 0 0 0.00
Lahiru Kumara run out () 0 2 0 0 0.00


Extras 7 (b 0 , lb 6 , nb 0, w 1, pen 0)
Total 152/10 (19.1 Overs, RR: 7.93)
Bowling O M R W Econ
Usman Shinwari 4 0 16 3 4.00
Binura Fernando 4 0 41 2 10.25
Duanne Olivier 4 0 42 1 10.50
Thisara Perera 3 0 23 2 7.67
Wanindu Hasaranga 4 0 24 1 6.00
Chathuranga de Sliva 0.1 0 0 0 0.00



තරගාවලිය හෙට (01) 5 වැනි දිනටත් ක්‍රියාත්මක අතර එහි දී සවස 3.30ට Dambulla Viiking සහ Colombo Kings අතර තරගයත්, රාත්‍රී 8.00ට Jaffna Stallions සහ Kandy Tuskers අතර පැවැත්වීමට නියමිත ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<