අළුත් අවි සමඟින් Kandy Tuskers සටනට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

6975

විදෙස් ක්‍රීඩකයන්ගේ අහිමි වීමෙන් පසුබෑමකට ලක්ව සිටින Kandy Tuskers කණ්ඩායමේ ඉදිරි තරග සූදානම පිළිබඳව එම කණ්ඩායම අදහස් දක්වා තිබූ අතර හෙට (30) දින පැවැත්වීමට නියමිත තරගය සඳහා Brendon Taylor සහ Munaf Patel සහභාගී වනු ඇති බවත් ඔවුන් සඳහන් කර තිබේ. 

වසර 8කට පසු ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් මග බලා සිටි ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලිය පසුගිය සතියේ දී ආරම්භ විය. ආරම්භයේ පටන් පුවත් මැවීමට සමත්වූ මෙම තරගාවලියේ තරග 4ක් මේ වන විට පවත්වා තිබේ. 

Colombo Kings, Kandy Tuskers සහ Galle Gladiators කණ්ඩායම් මේ වන විට තරග දෙකකට සහභාගී වී ඇති අතර ඉන් Kandy Tuskers කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග ද්විත්වයම පරාජය වූ අතර Colombo Kings කණ්ඩායම තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඊට අමතරව Dambulla Viikings කණ්ඩායම සහ Jaffna Stallions කණ්ඩායම ද පළමු සතියේ ජයග්‍රහණ වාර්තා කළේය. 

තරගාවලිය ආරම්භයට පෙර සිටම විවිධ බාධක එල්ල වූ අතර ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම තරගාවලියට සහභාගී නොවන බව ද දන්වා තිබිනි. එලෙස ක්‍රීඩකයන් අහිමි වූ කණ්ඩායම් එම ක්‍රීඩකයන් සඳහා ආදේශක ක්‍රීඩකයන් ද පසුව එක්කර ගෙන තිබිනි. කෙසේවෙතත් තරගාවලිය පවත්වනු ලබන දැඩි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුව එලෙස තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් දින 7ක නිරෝධායනයකට ලක්විය යුතුය. මේ නිසා ක්‍රිඩකයන් කිහිපදෙනෙකුටම තරගාවලියේ මුල් තරග කිහිපයක් අහිමි වීම දක්නට ලැබිනි. 

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වූ Kandy Tuskers කණ්ඩායම මේ වන විට තරමක පසුබෑමකට ලක්ව තිබේ. Chris Gayle, Wahab Riaz වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගේ සේවය කණ්ඩායමට අහිමි වීම එයට ප්‍රධාන හේතුව විය හැක. කෙසේවෙතත් එම ක්‍රීඩකයන්ගෙන් හිස් වූ ස්ථාන සඳහා සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු වන Brendon Taylor, හිටපු ඉන්දීය ක්‍රීඩකයන් වන Munaf Patel සහ Irfan Pathan, පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Sohail Thanvir මෙන්ම ප්‍රබල දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙකු වන Dale Steyn ද කණ්ඩායමට එක්වන බව Kandy Tuskers කණ්ඩායම පසුව තහවුරු කළේය. 

තරගාවලිය සඳහා සහභාගී වීමට Irfan Pathan සහ Sohail Thanvir මෙරටට පැමිණ සිටියේය. නමුත් පළමු තරගය අතරතුර Irfan Pathan ආබාධයකට ලක්වූ අතර තරගාවලියට පෙර Sohail Thanvir හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු විය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මේ අතර තරගාවලිය සඳහා සහභාගී වීමට Brendon Taylor සහ Munaf Patel මෙරටට පැමිණි නමුත් නිරෝධායන කාලසීමාව නිසා ඔවුන්ට තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී වීමට අවස්ථාවක් හිමි වූයේ නැත. මේ හේතූන් නිසා Kandy Tuskers කණ්ඩායම සිය දෙවන තරගය සඳහා විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණක් එක්කර තිබීම විශේෂත්වයකි. 

තම කණ්ඩායමේ ඉදිරි තරග සූදානම පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායම අද (29) දින සිය නිල twitter ගිණුමේ පණිවුඩ කිහිපයක් තබා තිබිනි. 

ඒ අනුව මෙරටට පැමිණ සිටින Brendon Taylor සහ Munaf Patel ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් කර ඇති බවත්, ඔවුන් මීළඟ තරගය සඳහා සහභාගී වනු ඇති බවත් කණ්ඩායම සඳහන් කර තිබේ. 

එමෙන්ම බොහොදෙනා බලාපොරොත්තුවෙන් සිටි Dale Steyn හෙට (30) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත බවත් කණ්ඩායම පවසා තිබිනි. 

මේ වන විට ආබාධයකට ලක්ව සිටින Irfan Pathan ශාරීරික යෝග්‍යතාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරමින් සිටින බවත්, ඔහුගේ ආබාධය සුව අතර හැරුනු වහාම ඔහු කණ්ඩායම සමඟින් එක්වීමට සූදානම් බවත් කණ්ඩායම දන්වා තිබේ. 

කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගත කර සිටින Sohail Thanvir තවමත් ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, ඔහු සුව වූ විට තරගාවලිය සඳහා සහභාගී කරගැනීමට හැකි වනු ඇති බවට තම කණ්ඩායමේ කළමනාකාරීත්වය විශ්වාස කරන බවත් Kandy Tuskers කණ්ඩායමේ නිල twitter ගිණුමේ සඳහන් කර තිබිනි. 

Kandy Tuskers කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය Galle Gladiators කණ්ඩායම සමඟින් හෙට (30) දින පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගයට අමතරව Dambulla Viikings කණ්ඩායම සහ Jaffna Stallions කණ්ඩායම අතර තරගය ද හෙට දින පැවැත්වේ. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටී. රැඳී සිටින්න, Thepapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<