පසුගිය වසරේ (2019) පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල නිමා වූයේ මෙරට මලල ක්‍රීඩාවට දශකයකට පමණ පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා පිටියේ ලැබූ ඉහළම ජයග්‍රහණය ලබමින් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ශූරයන් ලෙස අභිෂේක ලබමිනි.

ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට නේපාලය බලා පිටත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අසනීපවලට ගොදුරු වීම, ශීත කාලගුණය වැනි අභියෝගවලට මුහුණ දීමට සිදු වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ පදක්කම බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයකටම තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු විය.

එනමුත් එම ක්‍රීඩිකාවන්ගේ ඉවත් වීම නිසාවෙන් ඉසව්වන්ට ආදේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොසිතූ ලෙස ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් අගාධයට යමින් තිබූ මෙරට මලල ක්‍රීඩාවට නව ජීවයක් එක් කරමින් ඉතිහාසගත ජයක් ලබා දීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රනින් දිනූ අවස්ථාවන්හි දී කැමරා කාචයේ සටහන් වූ සේයා රූ කිහිපයක් වෙනුවෙනි.

1. 800m රනින් දිනූ ඉඳුනිල් හේරත් 

මීටර් 800 ඉසව්වේ ඉහළ දස්කම් දක්වන ජාතික ශූර ඉඳුනිල් හේරත් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්ව මිනිත්තු 1:50.52ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

2. කඩුලු පැනීමේ ගෞරවය රැකගත් ලක්ෂිකා 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි තරගය තත්පර 13.68ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අවස්ථාව.

3. ජාතික ශූරිය පරදවා දිනූ තුන් පිම්ම පදක්කම 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කල හශිනි පබෝධා එම ඉසව්වේ මීටර් 13.21ක දස්කමක් දක්වමින් දකුණු ආසියානු ශූරිය වීමට සමත් වූ අතර මීටර් 13.14ක දස්කමක් දැක්වූ එම ඉසව්වේ ජාතික ශූරිය වන විදූෂා ලක්ෂානි රිදී පදක්කම දිනා ගත්තා ය.

4. තැබූ විශ්වාසයට සාධාරණයක් ඉටු කළ දුරපැනීමේ ශූරිය

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමෙ ඉසව්ව නියෝජනය කිරීමට සිටි විදූෂා ලක්ෂානි ආබාධයකට ලක් වීම නිසාවෙන් ඇයගේ ස්ථානයට ආදේශ කෙරූ දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා එම ඉසව්වේ මීටර් 6.38ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

5. දකුණු ආසියානු සිහිනය ජය ගත් අරුණ 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන එම ඉසව්ව තත්පර 46.69 ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු ශූරයා බවට පත්වීමට සමත් වූ අවස්ථාව.

6. සහය දිවීමෙන් රන් දිනූ දිරිය දියණියන් 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100X4 සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වූ අමාෂා ද සිල්වා, සාරංගි ද සිල්වා, ලක්ෂිකා සුගන්ධි සහ සදීපා හෙන්ඩර්සන් යන ක්‍රීඩිකාවන් එම තරගය තත්පර 44.89 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

තවත් Photo Stories:

7. 400X4 ඉසව්වේ ගෞරවය රැකගත් ලාංකික ශූරයන් 

දකුණු ආසියානු තලයේ බොහෝ විට ශ්‍රී ලංකාව රජ කල ඉසව්වක් වන 400X4 සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගි වූ අරුණ දර්ශන, ලක්මාල් ප්‍රියන්ත, සෙනීර ගුණරත්න සහ රාජිත රාජකරුණා යන ක්‍රීඩකයන් එම ඉසව්ව මිනිත්තු 3:08.04 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

8. නිමාලිගේ හිඩැස පිරවූ නිලානි 

ශ්‍රී ලංකා මීටර් 1500 ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දිනක් තිබිය දී රිය අනතුරකට ලක්වීම නිසාවෙන් එම ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක මීටර් 1500 ඉසව්ව 4:34.34ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

9. හිරුණිගේ විශ්වාසය රකිමින් දිනූ රන් පදක්කම

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ඉසව්ව නියෝජනය කිරීමට සිටි හිරුණි විජයරත්න එම අවස්ථාව නිලානි රත්නායක වෙත ලබා දීමට තීරණය කළා ය. එම තීරණයට සාධාරණයක් ඉටු කෙරූ නිලානි තරගය මිනිත්තු 16:55.18ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

10. දකුණු ආසියාව ජය ගත් මැරතන් ශූරිය 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව නියෝජනය ළෙ හිරුණි විජයරත්න එම තරගය පැය 2:41:27ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම ජය ගත් අවස්ථාව.

11. දකුණු ආසියාව හෙල්ලූ රන් ආදේශකය 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් රැසක් අසනීප වීම නිසාවෙන් කාන්තා මීටර් 400 සහ 800 ඉසව් නියෝජනයට යොවුන් ක්‍රීඩිකා දිල්ෂි කුමාරසිංහ හට අවස්ථාව ලබා දීමට තීරණය කරන ලදි.

ඒ අනුව තරගාවලියේ එම ඉසව් නියෝජනය කළ දිල්ෂි මීටර් 400 ඉසව්ව තත්පර 53.40කින් සහ මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:06.18ක කාලයකින් ද අවසන් කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

12. තරගාවලි වාර්තාවක් පිහිටවූ කෙටිදුර ශූරයන් 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ හිමාෂ ඒෂාන්, යුපුන් අබේකෝන්, විනෝජ් සුරන්ජය සහ චනුක සංදීප් ඇතුළු කණ්ඩායම තරගය තත්පර 39.14ක කාලයකින් අවසන් කරමින් ක්‍රීඩා උළෙල වාර්තාවක් ද සමඟින් ජය ගැනීමට සමත් වූ අවස්ථාව.

13. නොසිතූ ජයක් ගෙන ආ 400X4 කාන්තා තරගය 

ලොවපුරා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් යොවුන් ක්‍රීඩිකා දිල්ෂි කුමාරසිංහ දැක්වූ දස්කම් නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා 400X4 සහය දිවීමේ තරගය මිනිත්තු 3:41.40ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රන් පදක්කම ජය ගත් අවස්ථාව.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව නැවත වරක් ජාත්‍යන්තර තලයේ ඔසවා තැබූ මෙන්ම මෙරට මලල ක්‍රීඩාවට සුබවාදී බලාපොරොත්තු ගෙන එ්මට සමත් වූ තරගාවලියක් ලෙස ද හැදින්විය හැක.

නමුත් මෙම තරගාවලියෙන් පසු කොරෝනා වසංගත තත්වය නිසාවෙන් යුපුන් අබේකෝන් සහ හිරුණි විජයරත්න හැරුණු කොට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තරගාවලියක් සඳහා එක්වීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<