නාකි තිරිහන් කරන නිල් පාට පෙත්ත : ව්‍යාඝ්‍රා

අරුණිගේ ගිණි නිවන හමුදාවේ බෙල්ලෝ උත්සවයෙන් බොහෝ දෙනාගේ අවධානය පොඩ්ඩක් “අර පැත්තට“ හැරිච්ච නිසා, ඒ පැත්තට සම්බන්ධ ලිපියකින් ඔබට දැනුවත්කරන්න හිතුවා. සමාජයේ හැම වයස් මට්ටමකම අය බලන නිසා මේ ලිපිය ඉතින් බර අඩු කරලා තමයි දාන්න වෙන්නේ… ඒ විතරක්ම නෙවෙයි, දැන් දැන් ඇල්කෙමියාගේ රසායනාගාරය ටිකක් රසායන විද්‍යාවට සම්බන්ධ එහෙත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගන්න පහසු ලිපි දාන්න හිතුවා. ආයමත් කියනවා, ඔබේ ඉල්ලීම් තියෙනවා නම්, අනේ ලියලා එවන්න… දන්න විදියට කියලා දෙන්නම්.

ව්‍යාඝ්‍රාවල ඉතිහාසය.

ව්‍යාඝ්‍රා වෙළඳ නමින් මෙසේ හැඳින්වුනත්, එහි නියම නාමය සිල්ඩෙනෆිල් සිට්‍රේට් (Sildenafil Citrate). මෙය මුලින්ම ෆයිසර් (Pfizer) නම් ඖෂධ සමාගමේ රසායන විද්‍යාඥයන් විසින් තැනුවේ අධික රුධිර පීඩනය සහ උරස් සම්බාධය (Angina Pectoris) යන රෝගී තත්ත්‍ව සඳහා ඖෂධයක් ලෙසයි. මුල් සායනික පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු අනුව මේ ඖෂධය හෘද රෝගවලට පෙන්වා ඇත්තේ අඩු ප්‍රතිචාරයක්, නමුත් එය පුරුෂ ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා හොඳ ඔසුවක් බවට පෙනී ගියා. මේ නිසා ෆයිසර් සමාගම ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා ඖෂධයක් ලෙස 1996 වසරේදී ව්‍යාඝ්‍රා නමින් පේටන්ට්ගත කළා. මුලින් මෙය වෛද්‍ය නියමයෙන් පමණක් මිලදීගත හැකි ඖෂධයක් වුවත්, දැන් දැන් සුළු ප්‍රශ්නාවලියකින් අනතුරුව අන්තර්ජාලයෙන් මිලදී ගත හැකි දෙයක් බවට පත් වී තිබෙනවා.  දැන් දැන් මේ සඳහා විවිධ නම් වලින් යුත් තරඟකාරී ඖෂධ වෙළඳපොලේ ඇතත් 1999-2001 වසර කීපය ඇතුලත පමණක් ව්‍යාඝ්‍රා අලෙවිය ඩොලර් බිලියනය ඉක්මවා තිබෙනවා.

ව්‍යාඝ්‍රාවල රසායනය.

ව්‍යාඝ්‍රා රසායනිකව සිල්ඩෙනෆිල් සිට්‍රේට් (Sildenafil Citrate) නමින් හැඳින්වෙනවා. මෙය නිෂ්පාදනයෙහිලා ප්‍රධාන වශයෙන් පියවර 9 ක් වෙනවා. රසායනිකව මේ පියවර වනුයේ.

ව්‍යාඝ්‍රා සංයෝගයේ ත්‍රිමාණ රසායනික ව්‍යුහය
  1. 3-ප්‍රොපිල් පිරසෝල්-5- කාබොක්සිලික් මෙතිල් එස්ටරයට මෙතිල් කාණ්ඩ එකතු කිරීම (Methylation)
  2. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ජලවිච්ඡේදනය (Hydrolysis)
  3. නයිට්‍රික් අම්ලය මගින් නයිට්‍රීකරණය (Nitration)
  4. තයොනයිල් ක්ලෝරයිඩ් (SOCl2) සහ ආමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කාබොක්සැමයිඩ් තැනීම (Carboxamide formation)
  5. නයිට්‍රො කාණ්ඩය ඇමීනෝ කාණ්ඩයක් බවට ඔක්සිහරණය (Reduction)
  6. 2-එතොක්සිබෙන්සොයිල් ක්ලෝරයිඩ් මගින් ඇසිල් කාණ්ඩයක් එක් කිරීම (Acylation)
  7. දිගු දාම සංයෝග චක්‍රීය සංයෝග බවට පරිවර්තනය (Cyclization)
  8. ක්ලෝරොසල්ෆොනයිල් ව්‍යුත්පන්න බවට සල්ෆොනීකරණය (Sulfonation)
  9. 1-මෙතිල් පිපෙරසීන් සමඟ ඝණ කිරීම (Condensation)

බැලූ බැල්මට සරළ ප්‍රතික්‍රියා දාමයක් ලෙස පෙනුනත්, මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මෙවැනි ප්‍රතික්‍රියා දාමයක් සිදුවන විට එම ඵලයන්හි ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක පවත්වාගත යුතු වෙනවා, නැතිනම් එය ආර්ථිකව අවාසිදායකයි. මේ නිසාම මෙවැනි විශාල පියවර සංඛ්‍යාවක් ඇති ප්‍රතික්‍රියා උපරිම ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට වසර ගණනාවක් ගත වෙනවා. එසේම ඒ නිෂ්පාදනය වෙළඳපොලට ගෙන ඒම දක්වා වැයවන මිනිස් පැය ප්‍රමාණය අති විශාලයි. මේ නිසායි ඖෂධ සමාගම් නව ඖෂධයක් වෙළඳපොලට නිකුත් කරනවිට විශාල මුදලක් අය කරන්නේ. ඔවුන් ඒ ගණන් බලන්නේ සිය නිෂ්පාදනය සිතිවිල්ලක සිට වෙළඳපොලට යනතාක් කල් සිදු වූ දේවලට වටිනාකමක් දීමෙන්. එසේම වසර ගණනක් යනවිට එකම නිෂ්පාදනයේ වුවත් මිල අඩු වන්නේ ඒ සමාගමට අවශ්‍ය ලාභය  උපදවා ගත් පසුවයි.

ව්‍යාඝ්‍රා නිපදවීම එසේ වුවත්, එහි ක්‍රියාකාරීත්‍වය ජෛව රසායනිකව සිදු වන්නක්. මෙහිදී සිදු වන්නේ පුරුෂ ලිංගයේ ඇති චක්‍රීය ගුවැනොසීන් මොනොපොස්ෆේට් (Cyclic  Guanosine Moniophosphateල cGMP) නම් රසායනිකය හායනය (Degradation) වැලැක්වීමයි. රුධිරයේ ඇති නයිට්‍රික් ඔක්සයිඩ් (NO) ගුවැනිලේට් සයික්ලේස් (Guanylate Cyclase) නම් වූ එන්සයිමයේ ග්‍රාහකයන්ට (receptors) බැඳීමෙන් cGMP ප්‍රමාණය ඉහල යයි. මෙය පුරුෂ ලිංගයට සැපයෙන රුධිරය ප්‍රමාණය ඉහළ දැමීමට හේතු වෙයි.  එවිට වැඩි කාලයක් දැඩි ලෙස එය ප්‍රාණවත්ව තබා ගැනීමට උපකාරී වෙයි. විවිධ රෝග තත්ත්‍ව නිසා හෝ අධික මත්පැන් පානය වැනි හේතු නිසා ඇතිවන ලිංගික ආබාධ ඇති අයට වෛද්‍ය උපදේශ මත මෙම ඖෂධය ලබා දුන්නත්, දැන් දැන් වෙළඳ පොලේ විවෘතව මිලදීගත හැකි මට්ටමට මෙය පැමිණ තිබේ.

ව්‍යාඝ්‍රා භාවිතය.

ව්‍යාඝ්‍රා විවිධ සෞඛ්‍ය තත්ත්‍ව සඳහා භාවිතා කරයි. දැන් ප්‍රධාන වශයෙන් ලිංගික අප්‍රාණිකත්‍වය නැති කිරීම පිණිස භාවිතා වුවත් මූලිකව පුප්ඵුසීය ධමනි ආශ්‍රිතව ඇතිවන අධික රුධිර පීඩනය නැති කිරීම පිණිස භාවිතා කරන ලද්දක්. එසේම කඳු නගින්නන් වැනි උස් ප්‍රදේශ හෝ උස් ස්ථානවලට ගමන් කිරීමේදී ඇතිවන පෙනහළුවල දියර එකතුවීමේ රෝග තත්ත්‍වයට ප්‍රතිකාරයක් ලෙස ද මෙය භාවිතා කර ඇත.

මෙය ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා භාවිතා කිරීමේදී මිලි ග්‍රෑම් 25 සිට 100 දක්වා ප්‍රමාණයක් ලිංගික එක්වීමටපෙර  විනාඩි 30 ත් පැය 4ත් අතර කාළයකදී  ලබාගැනීම සිදු කළ යුතුයි.

පුප්ඵුසීය ධමනි ආශ්‍රිතව ඇතිවන අධික රුධිර පීඩනය නැති කිරීම පිණිස භාවිතා කරන අවස්ථාවලදී මිලිග්‍රෑම් 20ක පෙත්තක් දිනකට තුන්වරක් ලබාගැනීම සිදු කළ යුතුයි.

අධික රුධිර පීඩනය ඇති අය වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙය ගැනීම නුසුදුසුයි. එසේම රුධිර පීඩනය පාලනයට නයිට්‍රේට් අඩංගු ඖෂධ ගන්නා අය විශේෂයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. එසේම ලිංගික ප්‍රාණවත් බව පැය හතරකට වඩා වැඩිපුර පැවතිය හොත්, ලජ්ජාව පැත්තකින් තබා වෛද්‍ය උපදෙස් පැතීම යහපත් වන්නේ එය  දුරදිග ගියහොත් එසේ වන අවසාන අවස්ථාව එය වියහැකි නිසායි.

ඕනෑම ඖෂධයක හොඳ පැත්ත මෙන්ම නරක පැත්තක්ද ඇත… මේ නිසා ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති බව සිත්හි තබා ගන්න…

ලංකාවේ ඇති පෙනෙල කොළ කැඳක් සති පතා බීමෙන් මෙම ඖෂධයෙන්ම ලැබෙන ගුණාගුණ ලැබිය හැකි බව පැරැන්නෝ පැවසූ බව පුරාතණයේ පොත්පත්වල සඳහන් වී ඇත…

11 thoughts on “නාකි තිරිහන් කරන නිල් පාට පෙත්ත : ව්‍යාඝ්‍රා

    1. ඔයා ව්‍යාජ අනුකරණයකට රැවටිලා වෙන්න ඇති….
      අනෙක තමයි බීලා නිකම් හිටියට Effect එක එන්නෙ නෑ… වැඩේට බහින්නත් ඕන…… එතකොටයි Effect එක තේරෙන්නේ….

  1. උච්චාරණය හා සිංහල පරිවර්තනය ව්‍යාඝ්‍රා නොව වයෑග්‍රා යනුවෙන් සිද්ධ විය යුතුයි. මෙතැනින් බලන්න: http://www.merriam-webster.com/cgi-bin/audio.pl?viagr01m.wav=Viagra

    සත්‍යයෙන් රෝගී බවක් ඇති අයෙකුට වඩා අද පුද්ගලයෝ හැම දෙයකට ම බෙහෙත් ගැනීම විලාසිතාවක් කරගෙන.

    වයසට යනකොට ඉන්ද්‍රීයයන් තරුණ කාලේ විදියට ම වැඩ නොකිරීම ලෝක ස්වභාවය. නමුත් අද වයසට යන්නත් කළින් පිටින් උදව් ගන්න කම්මැලි මිනිස්සු හුරු වෙනවා.

    කවුදෝ මට කිව්වා මගේ තාත්තට වයස 72 දී හාට් ඇටෑක් හැදුනෙත් ලංකාවෙන් ගත්ත වයෑග්‍රා පෙති බීලා කියලා!!!!

    පිටින් දා ගන්න බේත් වලට වඩා බෙල්ලො නම් වැඩිය අගෙයි!!!

    1. අරුණි කියපු දේවල ගොඩක්ම ඇත්ත….
      බොහොම ස්තූතියි නිවැරදි වචනය කිවුවට…

      කිවුවත් වගේ අපේ සීයලා ආච්චිලා ළමයි දහ දොලොස් දෙනා හැදුවේ ඔය පෙති බීලායෑ… ආච්චි හදලා දෙන කැඳ බීලනේ….

    2. මෙහි බ්‍රිතාන්‍ය උච්චාර්නය විය්‍යාග්‍රා නේද? ලංකාවේ බොහොවිට භාවිතා වන්නේ බ්‍රිතාන්‍ය උච්චාර්නය බව අරුනිට අමතකද.දෙවිදියටම උච්චාර්නය මෙතන ඇත.http://www.thefreedictionary.com/Viagra

  2. මේකට නං කමෙන්ට් වැහිවහී නේද?

    හදන සූත්තරේ දැම්ම හන්ද කසිප්පු පෙරන්නව වගේ අපේ උන්දැල ගේ පිටිපස්සෙ පෙති හදන්න පටන්ගනී දැං.

    මේ දවස් වල අපේ ගෙදර උන්දැ වැඩිපුරම උයන්නෙ අළු කෙහෙල්. මොකද මංද…..

    1. දැනටම සෑහෙන ගානක් මේක බලලා…
      හදන්න ලේසි වෙන්නේ නෑ.. සෑහෙන ප්‍රතික්‍රියා තත්ත්‍ව තියෙනවා….

      අළුකෙහෙල් හොයන්නේ නවම්ට විසේ වැඩි නිසා….
      ආදරේ උලක් වගේ ඇණෙනව ඇති….

      දන්නෙ නැත්තං මෙන්න කතන්දරේ… තාර බර අඩු කරලා…
      අවවාදයයි… අතිශයින්ම 18 පැනපු අයට පමණයි..

      අළුත බැඳපු ජෝඩ්වක් හනිමූන් ගියාලු… කොල්ලට හදිස්සියට බොහොම වේගෙන් වැඩේට බැහැලා කරගෙන කරගෙන ගියාලු…. කෙල්ල සද්දයක් දානකොට ඇහුවලු ඩාලිං මගෙ ආදරේ කොහොමද කියලා…

      කෙල්ල කිවුවලු ආදරේ උලක් වගේ ඇණෙනව කියලා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න