ජාතික මලල ක්‍රීඩා ශූරතාවය කල්යයි

166

මෙරට තුළ නැවත වරක් හිස ඔසවා ඇති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අවලංගු කිරීමටත්, 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය වසර අවසානය තෙක් කල් දැමීමටත් ජාතික මලල ක්‍රීඩා සංගමය අද (31) තීරණය කරන ලදි.

Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් අද උදෑසන 10ට ආරම්භ වූ ජාතික මලල ක්‍රීඩා සංගමයේ විධායක කමිටු රැස්වීමේ දී සිදු වූ සාකච්ඡාවලින් අනතුරුව ප්‍රථමයෙන් නොවැම්බර් මස 21, 22 සහ 28 යන දිනයන්හී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අවලංගු කිරීමට තීරණය කළේය.

එම තීරණයෙන් පසු මෙම වසරේ දෙසැම්බර් මස 5 සහ 6 දිනවල දී පැවැත්වීමට නියමිතව ඇති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සති තුනකින් කල් දැමීමට තීරණය කරමින් තරගාවලිය දෙසැම්බර් මස 26, 27, 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට තීරණය කරන ලදි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එනමුත් දිනෙන් දින ඉතා ශීඝ්‍රයෙන් මෙම වයිරසය ආසාදනය වූ පිරිස ඉහළ යෑම සහ රෝගය පෙර වතාවට වඩා වේගයෙන් ව්‍යාප්ත වීම නිසාවෙන් මෙම තරගාවලිය ද නිල වශයෙන් පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිතතාවක් ඇති අතර එම කාලසීමාවේ දී පවතින සෞඛ්‍ය වටපිටාව සමඟ මෙම දිනයන් වෙනස් වීමට බොහෝ ඉඩකඩක් පවතී.

නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දස්කම් මැනගැනීමට හෝ කිසිදු අවස්ථාවක් නොලැබුණු අතර මාර්තු මාසයේ සිට බලපෑ මෙම කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසර තුළ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි බොහොමයක් අවලංගු කිරීමට හා කල් දැමීමට ද සිදු විය.

පසුව එම තත්වය තරමක පහව යෑමෙන් අනතුරුව මෙම මාසයේ දී ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නැවතත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් එම තරගාවලිය කල්දමා ජාතික සංචිතයේ සහ සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කාලගණන තරගාවලියක් පැවැත්වීමට තීරණය කළත්, පසුව එම තරගාවලිය ද අවලංගු කිරීමට කටයුතු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<